වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




පැය පහක් විරහ ගී අසා චිත්රූ තෝන්තු වෙලා

පැය පහක් විරහ ගී අසා චිත්රූ තෝන්තු වෙලා

චිත්රූගේ සුන්දරයි ආදරේ

ගීතයේ පදමාලාව

සුන්දරයි ආදරේ මිහිරි ගීයක් වාගේ
රළ පෙළක් සේ සාගරේ
නිමක් නෑ ආදරේ

වරෙක රුදුරුයි චණ්ඩ මාරුතයක් වාගේ
වරෙක සිසිලයි හමන පවනැල්ලක් වගේ
විටෙක කැලඹෙයි ගලන ගඟුලක් වගේ
හිතට දැනුණත් ඇසට නොපෙනෙන

විශ්මයි ආදරේ
සුන්දරයි ආදරේ

විටෙක හඬවයි නෙතඟ රැඳි කඳුළක් වගේ
විටෙක සනසයි මුවඟ හසරැල්ලක් වගේ
උමතු කරවයි ලොවම මායාවක් වගේ
විටෙක හඬවන විටක නලවන

විශ්මයයි ආදරේ

සුන්දරයි ආදරේ

පද - චන්ද්‍රදාස ප්‍රනාන්දු

සංගීතය - ජිප්සීස්

දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය තුළදි කැපී පෙනුණ දස්කම් දැක් වූ චිත්රූ පාඨලී සිය ගැඹුරු කටහඬින් සමස්ත සංගීත ලෝලීන් තම වසඟයට ගත්තීය. ඕනෑම ගීතයක් තමන්ගේම කරගනිමින් වේදිකාව තුළ සොඳුරු අණසක පැතිරූ ඇය වර්තමානය වන විට වැඩි දෙනකුගේ අවධානයට පාත්‍ර වී සිටින්නීය. ඒ ජිප්සීස් සංගීත කණ්ඩායම සමඟ ගැයූ සුන්දයි ආදරෙයි ගීතය නිසාය. එය චිත්රූගේ දෙවැනි ස්ව නිර්මාණය ද විය. සුන්දරයි ආදරෙයි ගැන කතා කිරිමට චිත්රූ අප හා එක් වූවාය. ඒ සමගම ඇය ආගිය තොරතුරු ද මෙසේ හුවමාරු කර ගත්තාය.

චිත්රූ කොහොමද මේ දිනවල ඔබේ ජිවිතය ගෙවෙන්නේ? සුන්දරයි ආදරෙයි ගැන ගොඩක් දෙනෙකු කතා වෙනවා ඇති?

පසුගිය අප්‍රේල් මාසයේ තමයි සුන්දරයි ආදරෙයි එළි දැක්වූයේ. මේ වන විට ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මේ ගීතය මට හිමිවීම පිටුපස කතාවකුත් තිියෙනවා. ඒක කියන්නද?

ඔව් කියන්න...?

ඔය ගීතය නිර්මාණය කළේ ජිප්සීස් සංගීත කණ්ඩායම. එයාලගේ කොත්තමල්ලි සංයුක්ත තැටියට අඩංගු කරන්නයි ඔවුන් හිතාගෙන ඉඳලා තියෙන්නේ. එය අතරේ ජිප්්සීස් නායක සුනිල් පෙරේරා මහත්මයා මම ගී ගයනවා දැකලා තියෙනවා ඩ්‍රීම්ස්ටාර් තරගාවලියේදී. ඔහුට හිතුණලු මේ ගීතය මට දෙන්න. ඔහු මට කතා කරලා සුබපතලා මේ ගීතය දුන්නම මට හිතාගන්න බැරි වුණා. මං මගේ උපරිම ශක්තියෙන් එයට සාධාරණයක් ඉටු කළා.

ඔබ වරෙක ජිප්සීස්ලාගේ ගීතයක් පවා ගැයුවා ඩ්‍රීම්ස්ටාර් වේදිකාවේ?

ඔව්. එයත් සුනිල් මහත්මයා දැකලා තිබුණා. විශේෂයෙන්ම ඔහු මගේ හඬට කැමැති වෙලා ගීතය දෙන්නට අදහස් කළේ ඒක අහලා වෙන්න ඇති.

කොහොමද ඔබේ අධ්‍යාපන කටයුතු?

කරගෙන යනවා. මං සබරගමුව විශ්වවිද්‍යාලයේ සාමාජීය විද්‍යා ෆැකල්ටියේ තෙවන වසරේ ශිෂ්‍යාවක්. තව අවුරුද්දයි තියෙන්නේ ඩිග්රියට.

ස්ටාර් සිටි වැඩ සටහන නිසා ඔබට නිතර කොළඹ එන්න වෙනවා?

මං එහි රෙකෝඩිං දාගෙන තියෙන්නේ අධ්‍යාපන කටයුතුවලට හානි නොවන ලෙසටයි. මං ඉන්න රොෂාන් රණවනගේ කණ්ඩායමට ජයගෙන එන්නයි මහන්සි වෙන්නේ. ඒක හරිම සොඳුරු වැඩ සටහනක්. කලාකරුවන් වන අපට ඒ වගේ තරගාවලියක් ආරම්භ කිරීම ගැන මා දෙරණට ස්තුතිවන්ත වෙනවා.

සංගීතය සඳහා ඔබේ ජීවිතයේ ලබා දී ඇත්තේ කිනම් ස්ථානයද?

අධ්‍යාපනයට සහ සංගීතයට මම සම තැන දීලා තියෙන්නේ. දෙකම සමබරව කරගෙන යනවා.

ඔබේ පරපුරේ ගායක ගායිකාවන් ඇයි විරහ ගීත විතරක්ම වැඩිපුර කියන්නේ?

අනේ මන්දා මම නම් චුට්ටක්වත් ආස නැහැ විරහ ගීත රැල්ලට. මට එපා වෙලා තියන්නේ ඒ ගීතම අහලා. මං කැම්පස් එකට එන්න කොළඹින් බදුල්ලේ බස් එකට නගිනවා. පැය පහක් විතර යනවා කැම්පස් එක ගාවට එන්න. එක දවසක් මං ආව බස් එකේ එක දිගටම දාලා තිබුණේ විරහ ගීතම විතරයි. පැය පහක් මං එදා විරහා ගීතම ඇහැව්වා. තෝන්තු වෙලා වගේ කැම්පස් එක ළඟට එද්දී.

ඔබ විරහ ගීත ගායන්නේ නැති ප්‍රතිපත්තියකද ඉන්නේ?

නැහැ. සාමාන්‍යයෙන් ගායිකාවක් විරහ ගීතයක් දෙකක් ගැයිය යුතුමයි. විරහව කියන්නේ ජිවිතයට අතිශයින්ම සමීප දෙයක්නේ. නමුත් සමහරු හිතාගෙන ඉන්නේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය වෙන්න නම් විරහ ගීතම ගැයිය යුතුයි කියලා. නමුත් මේ ගීතවල තියෙන්නේ ගෑනු මිනිස්සු දාලා ගිය කතන්දර විතරමයි.

චිත්රූ පාඨලී කියන මේ නමේ තේරුම මොකක්ද කියලා වැඩි දෙනෙක් දන්නේ නැහැ?

චිත්රූ කියන්නේ සිතේ ඇදුන රුව. පාඨලී කියන්නේ පලොල් ගස. ඒ ගස කිසිම සුළි සුළඟකින් වැටුණේ නැහැ.

ඔබත් ඒ වගේද?

අනිවාර්යයෙන්ම.

ඔබේ රුව සංගීත ලෝලීන්ගේ සිතෙහි වඩාත් ඇඳුණේ ඩ්‍රීම්ස්ටාර් තරගාවලිය නිසා යැයි මා කිව්වොත් එය නිවැරිදද?

ඔව්. මගේ නම ජනතාව අතරට ගියේ ඩ්‍රීම්ස්ටාර් නිසා. නැත්නම් මම තවත් එතනමයි.

ඔබ ලැබූ ඒ ජනප්‍රියත්වය තවමත් එහෙම්මමද?

මට කියන්න බැහැනෙ මං කොච්චර ජනප්‍රිය ද කියලා. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. මං කොහෙ ගියත් මාව හඳුන ගන්න එක් කෙනෙක් හරි ඉන්නවා. ඒක මගේ වාසනාවක්. එහෙම වෙන්නේ මං ජනප්‍රිය නිසානෙ.

ඔබට රසිකයෙක් හෝ රසිකාවක් නිසා විඳින්නට ලැබුණු අමතක නොවන අත්දැකීම මොකක්ද?

ඔන්න දවසක් මං පොළකට ගිය වෙලාවක එතන බඩු විකුණ විකුණ හිටපු අම්මෙකුයි දුවෙකුයි මං දිහා බලබල කතා වෙනවා මට ඇහුණා. දුව මගේ නම කිය කිය අම්මට ඒ මමම කියලා තහවුරු කරනවා. අම්මා නෑ කියනවා. මට ඉතින් ගිහිල්ලා මාව හඳුන්වා දෙන්න බැහැනෙ. අන්තිමේ ඔවුන්ම මාව හඳුනා ගත්තා.

ඔබ ඔබේ හඬ ගැන ආඩම්බරයෙන්ද ඉන්නේ?

මං හිතනවා මට වෙනස්ම හඬක් තියෙනවා කියලා. හරියට සෙලීන් ඩියෝන් වගේ. ඇයටත් තියෙන්නේ ගැඹුරු හඬක්. ඒ හඬත් එක්ක මට ගායකයන්ගේ ගීතත් කියන්නට හැකියාව ලැබුණා. මට මගේ කටහඬ ආභරණයක්.

ඔබගේ පියා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නමගිය අයෙක්. හැබැයි කවදාවත් ඔබ ඒ නම හෙළි කරලා නැහැ?

ඒක නම් එහෙම තමයි. ඔහුගේ නම ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා. තාත්තා වෘත්තීමය ඡායාරූප ශිල්පියෙක්, දක්ෂ ලේඛකයෙක්, පරිවර්තකයෙක්. ලංකාවේ ජනප්‍රිය පුද්ගලයින් රැසකගේම ඔහු ඡයාරූප ගෙන තිබෙනවා. ගොඩක් දෙනෙක් දන්නේ නැහැ ඔහු මගේ පියා කියලා.

චිත්රූගේ හඬට මෙන්ම රුවට ද පෙම් බඳින බොහෝ දෙනෙක් ඔබෙන් ආදරය ඉල්ලලා ඇති?

ඒ ගැන නම් කියන්න වචන නැහැ. අනන්තවත් දෙනා මගෙන් ආදරය ඉල්ලලා තියෙනවා. ගෙදරට පවා යෝජනා එනවා.

නමුත් චිත්රූගේ හිත වෙනමම කෙනකු ගාව නැවතිලා නේද?

ඔව්. හැබැයි වැඩි විස්තර කියන්න නම් බැහැ.

ආදරය කරන අය වැඩි නිසා ඔබට කරදර වූ අවස්ථා නැතිද?

එහෙම නම් නැහැ. නමුත් සමහරු මහ පාන්දර කෝල් කරනවා. අන්න එතකොට නම් අවුල්.

අවසන් කොට ඔබට මොකද කියන්නට තියෙන්නේ?

මගේ අම්මා, තාත්තා, ගුරුවරු වන විශාරද නන්දා මාලනී සහ ඔන්ඩේ ඩේවිඩ් සහ මගේ ගමේ ප්‍රේක්ෂකයන් සියලු දෙනාට නැවත නැවතත් තුති පුදනවා.