වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ජනවාර්ගික ගැටලුව වේදිකාවට ගෙන ආ ජී. ඩී. එල්. පෙරේරා

ජනවාර්ගික ගැටලුව වේදිකාවට ගෙන ආ ජී. ඩී. එල්. පෙරේරා

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 7

ජී. ඩී. එල්. පෙරේරා පසු කලෙක වඩාත් කීර්තිමත් වූයේ සිනමාකරුවකු වශයෙන් වුවත් ඔහු පනහ - හැට දෙදශකයේ කැපී පෙනුණේ වේදිකා නාට්‍යකරුවකු ලෙසිනි. ඔහු නාට්‍ය ගණනාවක් ලියා නිෂ්පාදනය කර ඇත. එම නාට්‍ය ඔස්සේ ඔහු කලා ලොවට අලුත් පරම්පරාවක් ද හඳුන්වා දීම විශේෂත්වයකි.

සාමා

ජී. ඩී. එල් ගේ ගමනක ආරම්භය 1955 දී පිහිටු ගැනුණ අගනුවර කලා පෙළ නාට්‍ය සංගමය යැයි කිව හැකිය. පසුව මෙය 'කලා පෙළ' යන තනි නාමයෙන් හැඳින්විණි. කලා පෙළ තරුණයක් 9 දෙනකුගේ සාමුහික එකතුවකි. වෝල්ටර් විමලරත්න, බන්දු මුණසිංහ, ඩී. එච්. පෙරේරා, ඒ. එස්. ජයවර්ධන, ඩී. ඒ. උදයකාන්ත, බඩී මුණසිංහ, ඩී. ජයසිංහ, ටෙරන්ස් මුණසිංහ හා ජී. ඩී. එල්. පෙරේරා එම තරුණයෝ නව දෙනා වූහ. අනුශාසක වූයේ එවක ගුරුවරයකු වූ එඩ්වින් හේවාකපුගේය. එක් අයකුගෙන් රුපියල් පහක සමාජික ගාස්තුක් අය කෙරිණි.

'කඳුළු' (1956) කලා පෙළ ඉදිරිපත් කළ මුල්ම වේදිකා නාට්‍යය විය. එය වට්ටෝරු චිත්‍රපටයක් සිහිගන්වන කතා පුවතකින් යුක්ත විය. මෙම නාට්‍යයේ දක්නා ලැබුණේ ද චිත්‍රපටයකට උචිත ස්වරූපයකි. දෙනවක හාමිනේ රංගන ශිල්පිනියක ලෙස දොරට වැඩියේ 'කඳුළු' නාට්‍යයෙනි.

'කඳුළු නාට්‍යය නිපදවීමේ පසුබිම් කතාව ද අපූර්ව එකකි. මෙම නාට්‍යයට උපදෙස් පැතීම සඳහා ජී. ඩී. එල්. වරක් තොටළඟ තුංගසේන මාස්ටර් හමුවන්ට ගියේය. ඔහු කිවේ මෙවැන්නකි.

'ඕවා හුඟක් වියදම් යන වැඩ ළමයා. පොතට ගෙවන්න ඕනෑ. මාස්ටර්ලට ගෙවන්න ඕනෑ. ඇක්ටර්ස්ලට ගෙවන්න ඕනෑ'.

එවිට ජී. ඩී. එල්. මෙසේ ප්‍රශ්න කළේය.

තොටුපළ

'හොඳයි අපි කතාව ලියනව නං, අපිම පුරුදු වෙනවා නං, අපිම ඇට් කරනවා නං වෙන මොකටද ගෙවන්නේ?'

ජී. ඩී. එල්. දෙස දෑස් ලොකු කර බැලූ තුංගසේන මාස්ටර් මෙසේ කීවේය.

'ඒත් ඕක අන්තිමට පෙන්වන්න හෝල් එකක් එපායැ. ඒවට සල්ලි'

'අපි යාළුවන්ට ටිකට් විකුණනවා. අම්මලට තාත්තලට ටිකට් විකුණනවා. ඒ සල්ලිවලින් හෝල් එකට බඳිනවා. එතකොටත් බැරිද?'

තුංගසේන මාස්ටර්ගේ මුහුණ නොරිස්සුම් සහගත බවක් ගත්තේය.

'එහෙම කරනවා නං ඕනෑ කෙනකුට බැරියැ ටීටර් කොරන්න'

ජී. ඩී. එල්. 'කඳුළු' තැනුවේ මෙබඳු අධෛර්ය කිරීම් මැදය.

'අපවාදය' (1957) කලා පෙළ නිපැයුමක් නොවේ. එය ජී. ඩී. එල්. දෙහිවල තරුණ සංගමයක් වෙනුවෙන් නිෂ්පාදනය කර දුන් නාට්‍යයකි. පිටපත අයිවන් පීරිස්ගෙනි.

'මනමාලකම' (1957) කලා පෙළ ඊළඟ නිෂ්පාදනයයි. රහස් පරික්ෂක කතාවක් වූ මෙය ද 'කඳුළු' මෙන්ම චිත්‍රපටයක ආකෘතිය ප්‍රකට කළ නාට්‍යයක් වූයේය. මෙය නිෂ්පාදනයක් වශයෙන් ගත් කල දැවැන්ත නිපැයුමක් විය. නළු නිළියන් 17 දෙනෙක් පසුතල 8 ක් පසුබිම් ගී 4 ක් වේදිකා පරිපාලනයට 10 දෙනෙක් යොදා ගැනුණු බැවිනි. ඒ බරපතළකම නිසාදෝ එවක ආධුනිකයකු වූ ජී. ඩී. එල්.ට මෙය දිගටම පවත්වාගෙන යන්ට නොහැකි වූයේය.

අශෝක පීරිස්ගේ පිටපතකට අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ සාහිත්‍ය සංගමය වෙනුවෙන් ජී. ඩී. එල්. කවි නාඩගමක් නිෂ්පාදනය කළේය. ඒ 'තම්මැන්නා'ය (1959).

ජී. ඩී. එල්. ගේ නාට්‍ය අතරින් විචාරක අවධානයට යොමු වූ පළමු නාට්‍යය 'සාමා'ය. (1960) 'අන්ඩර් ද එවර් ග්‍රීන් ෆර්ස්' නම් වූ පැරැණි චීන ජන කවියක් මෙයට මූලාශ්‍රය වූයේය. මියගිය හෝ මියයමින් පවතින ගතානුගතික සමාජයත් ඉපදුණ හෝ උපදින්ට දඟලන නවීන සමාජයත් අතර ගැටුම 'සාමා' වෙතින් නිරූපණය වෙයි. ප්‍රකට කලා විචාරකයකු වූ රෙජී සිරිවර්ධන 'සාමා' ගැන අදහස් දක්වමින් නාට්‍ය නිර්මාණය ගැන ඇති අඩු අවබෝධය නිසා ලේසියෙන්ම මඟහරවා ගත හැකි අඩුපාඩු ගණනාවක්ම මෙහි වූ බව සඳහන් කර සිටියේය. 'සාමා' පසු කලෙක ජී. ඩී. එල්. අතින්ම සිනමාවට නැඟිණි.

'සක්කර වට්ටම්' (1961) සමාජ පුවතක් ශෛලිගත සම්ප්‍රදායෙන් කීමට ගත් උත්සාහයකි. මෙබඳු උත්සාහයන් එකල ජී. ඩී. එල්.ට සමකාලීනව සිටි හෙන්රි ජයසේන ද දැරූ බව ඔහුගේ 'ජනේලය' වැනි නාට්‍යවලින් පෙනේ. 'සක්කර වට්ටම්', ඇලෙක්සි අර්බුසෝව්ගේ ' ඉට් හැපන්ඩ් ඉන් ඉර්කුට්ස්' නාට්‍යයේ ඡායානුවාදයක් යැයි මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර කියයි. පසුව 'අන්ගාරා ගඟ ගලා බසී' නමින් රන්ජිත් ධර්මකීර්ති නිෂ්පාදනය කළේ මෙම නාට්‍යයයි.

'මෙහෙව් ලෝකෙක' (1962) ජී. ඩී. එල්. ගේ තවත් නාට්‍යයකි. වතු කම්කරු අරගලයක් ගැන මෙයින් කියැවිණි. 1962 ජාතික නාට්‍ය උලෙළට 'මෙහෙව් ලෝකෙක' තරග වැදුණේය. සුගතපාල ද සිල්වාගේ 'බෝඩිංකාරයෝ' හොඳම නාට්‍යය වූයේ ඒ වසරේදීය. චරිත නිරූපණය, ප්‍රාණවත් සංවාද, නාට්‍යමය අවස්ථා සුගතපාලගේ නාට්‍යවල සාර්ථකත්වයට හේතු වූයේය. ඒ අනුව ජී. ඩී. එල්. ගේ මේ මුල්කාලීන නාට්‍ය දුර්වල නිෂ්පාදන විය.

ජී. ඩී. එල්. නිපද වූ එකම පරිවර්තන නාට්‍යය 'රතු රෝස'ය. එය විලියම් ශෙක්ෂ්පියර්ගේ 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' නාට්‍යයේ පරිවර්තනයකි. ශේක්ෂ්පියර් 400 වැනි අනුස්මරණය නිමිත්තෙන් මෙය වේදිකාවට නැංවුණේය.

'මඟුල් මතේ' (1963) කෝලම් සම්ප්‍රදායට අනුරූපව තැනූ කෙටි නාට්‍යයකි. මෙය ගුවන් විදුලියෙන් ද ප්‍රචාරය වී කිසියම් ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබුණේය.

'මෙහෙව් ලෝකෙක' නාට්‍යයත් සමඟ එය වේදිකාගත වූයේය. 'මඟුල් මතේ' ඉංග්‍රීසි නාට්‍යයක අනුවර්තනයක් බව කියැවෙයි. ජී. ඩී. එල්. සඳහන් කරන ආකාරයට රූපවාහිනියක් මඟින් මෙරටදී විකාශය වූ මුල්ම නාට්‍යය 'මඟුල් මතේ'ය. 1968 දී කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වුණු කර්මාන්ත ප්‍රදර්ශනයේදී වීඩියෝ තාක්ෂණය හඳුන්වා දීම සඳහා කෙරුණු වැඩසටහන් මාලාවකට මෙය ඇතුළත් කර ගැනිණි.

සමස්තයක් වශයෙන් ගත් කල ජී. ඩී. එල්. ගේ හොඳම නාට්‍යය 'තොටුපළ' යැයි කිව හැකිය. ජනවාර්ගික ප්‍රශ්නය අලළා තැනුණු මුල්ම නාට්‍යය මෙයයි. ජාතික සමගිය පාදක කරගෙන 'මාෂා හා ශේන්' වැනි නාට්‍ය බිහි වූයේ පසු කලෙකය. ('මාෂා හා ශේන්' නාට්‍යයේ පිටපත එඩ්වින් පීරිස්ගෙනි).

'තොටුපළ' ලියද්දී තමා නැරඹූ විදෙස් චිත්‍රපටයක ආභාසය තමන්ට ලැබුණ බව ජී. ඩී. එල්. කියා ඇත. එම චිත්‍රපටය නම් 'මිල්ක් ඔෆ් හියුමන් කයින්ඩ්නස්'ය. එය පෝලන්ත සිනමාපටයකි.

'තොටුපළ' විචාරක ප්‍රශංසාව දිනූ වේදිකා නාට්‍යයකි. කුෂ්වාන්ත් සිංගේ සංස්කාරකත්වයෙන් ඉන්දියවේ පළ වූ 'ඉලස්්ට්‍රේටඩ් වීක්ලි ඔෆ් ඉන්ඩියා' සඟරාවට තීරු ලිපියක් ලියූ ප්‍රවීණ පුවත්පත් කාලවේදී ඩෙන්සිල් පීරිස් 1964 ජාතික නාට්‍ය උලෙළ ගැන කළ සඳහනකදී 'තොටුපළ' ගැන ද අදහස් දක්වා සිටියේය. මෙම නාට්‍යයේ වඩාත් සතුට දනවන දේ එහි තේමාව ප්‍රේක්ෂකයන් අවඥාවෙන් බැහැර නොකර සිහි බුද්ධියෙන් වැළඳ ගැනීම බව කියන ඔහු එයින් පෙනී යන්නේ දේශපාලනඥයන් තම වාසිය උදෙසා මවා පෙන්වීමට තැත් කරන තරමේ භයානක ප්‍රතිඵල මෙවන් ප්‍රශ්නවලින් තමන් හට අත්විඳින්ට සිදුවේද යන මතය ජනමතයේ උඩු දුවන්නේ නැති බව යැයි සඳහන් කරයි.

තොටුපල වේදිකා ගත කරද්දී රහස් පොලීසිය වරින්වර රඟහල්වලට කඩා වැදිණි. එහෙත් තහනම් කරන්ට තරම් දෙයක් ඔවුන්ට නාට්‍යයෙන් සොයා ගත නොහැකි වූයේය. ඒ මනුෂ්‍යත්වයෙන් බැහැර කිසිම දෙයක් මෙහි නොතිබුණු නිසාය.

1964 ජාතික නාට්‍ය උලෙළේ හොඳම නාට්‍යය වූයේ 'තොටුපළ'ය. 'තොටුපළ' 2008 දී ප්‍රති නිෂ්පාදනය වූයේය.

'තොටුපළ' වැනි සාර්ගර්භ නාට්‍යයකින් පසු ජී. ඩී. එල්. සරල හාස්‍යොත්පාදක කතාවක් වේදිකාවට ගෙන අවේය. ඒ 'අන්දරේ' (1965) ය. මෙහි අන්ද්රේ ලෙස රඟපෑවේ පසුකලෙක සම්මානනීය සිනමාකරුවකු වූ සුගතපාල සෙනරත් යාපාය. 'අන්දරේ' නාට්‍යයත් සමඟ 'මඟුල් මතේ' නම් වූ කෙටි නාට්‍යය ද එකට වේදිකා ගත කර ඇත.

අවුරුදු ගණනාවක්ම එංගලන්තයේ පදිංචිව සිට ලංකාවට ආ ජී. ඩී. එල්. මහනුවර පිහිටුවා ගත් 'කලාගාරය' නම් වූ සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් 'සුරාසුර' නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළේය. සේරි වාණිජ ජාතක ඊට පාදක වූයේය. ජී. ඩී. ඒල්. විසින්ම පුරුදු පුහුණු කරන ලද මහනුවර කරලියැද්ද ප්‍රදේශයේ තරුණ නළු නිළි පිරිසක් මෙම නාට්‍යයේ රඟපෑහ.

ජී. ඩී. එල්. ලියූ කෙටි නාට්‍ය ද කීපයකි. 'මඟුල් මතේ', 'ගැටේ', 'කම්බ හොරු', 'කැකිල්ලේ' ඉන් කීපයකි.

තමාගේම 'සාමා' නාට්‍යය චිත්‍රපටගත කරමින් ජී. ඩී. එල්. සිනමාකරණයට පිවිසියේය. මෙම චිත්‍රපටය ආරම්භ කරන විට ඔහු අත තිබුණේ රුපියල් 250 ක් වැනි සුළු මුදලකි. එහෙත් ඉන් පසුබට නොවූ ඔහු කෙසේ හෝ චිත්‍රපටය නිම කර ගත්තේය.

දක්ෂ නිළු නිළියන් රැසක් කලා ලොවට හඳුන්වා දිමෙන් ජී. ඩී. එල්. කළ සේවය පැසසුම් කටයුතුය. බුද්ධි වික්‍රම, ලියෝනි කොතලාවල, ධම්ම වන්නිආරච්චි, සුගතපාල සෙනරත් යාපා, එල්සන් දිවිතුරගම, දෙනවක හාමිනේ, ගාමිණී වික්‍රමසූරිය, නිලන්ති විජේසිංහ ඉන් කීප දෙනෙකි.

නළු නිළියන්ට අමතරව ගත්විට ජයතිස්ස අලහකෝන්, මල්ලිකා පෙරේරා, දේවානන්ද වෛද්‍යසේකර යන අය කලා ලොවට අවතිර්ණ වූයේ ජී. ඩී. එල්. ගේ නිර්මාණ ඔස්සේය.