වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

ඒ මිනිහා තමන්ගේ සීමාව දන්නවා

'ගෑණියෙක්ගේ හෙලුවැලි පින්තූරයක් දැක්කම ඒකත් එක්ක සෙල්ලම් කරන මිනිස්සු ගෑණිත් එක්ක හිටිය මිනිහව කිරි වතුරෙන් දොවලා ගෙට ගන්න හදනවා'

සුජිත් නිසෙල්මනේ අසා සිටියේය. මේ ගැහැනිය කවරාකාරයෙන් තේරුම් ගත හැකිදැයි ඔහු මඳක් කල්පනා කළේය. විටෙක සීතල හදවතක් ඇති මානවී තවත් මොහොතකදී සැපින්නක් වැන්න. තමාට ජීවිතයත් මරණයත් අතරට යොමු වන අන්දමට පහර දුන්නේ ඇයගේ වුවමනාවට ද? සුජිත් සිතන්නට වූයේය. එකවරම ඔහුගේ සියොළඟ දහඩියෙන් නැහැ වී ගියේය.

සොයුරියගේ මංගල්‍යයට ඔහුට වියදමක් දරන්නට සිදු විය. පසුගිය කාලය ඇතුළත උපයා සිටි සියළු ධනයද වැයව ඇත්තේය.

මානවී නැඟිට ගෙතුළට ගියාය. ඔහු ඇය ගෙතුළට යන අයුරු බලා සිටියාය. ඇය වෙනදාට වඩා පිරිපුන්ය. හීන්සීරුවේ ඇගේ රූසිරි විඳගන්නට ඔහුගේ සිත බල කළේය. මානවී ආපසු අවේ පොතක් රැගෙනය.

'මේ දවස්වල සල්ලි අඩු පාඩුයිලු නේද? මෙන්න ස්ක්‍රිප්ට් එක. කියවලා බලලා කිව්වා නම්'

පොත දැවැන්ත එකකි.

'කවුද ස්ක්‍රිප්ට් එක ලිව්වේ'

'දන්න කෙනෙක්. කියවලා බලන්න. ආටිස්ට්ලා ඔක්කොම ලෑස්ති කරන්න'

සුජිත් හිස වැනුවේය. මානවී කතාව නතර කොට ඇත. ඇය දැන් වෙනදාට වඩා පැහැපත්ය. තමාට තවදුරටත් එය රැඳී සිටීමට නොහැකි යයි ඔහුට හැඟිණි. ඇය කතා කරන්නේ කෙළින්ම තම මුහුණ බලමිනි. එම බැල්ම තමා පුලුස්සා දමන සුළුය. සුජිත් ඇගේ ඇස්වලින් ඉවත් වන්නට මාන බැලුවේය.

'සල්ලි ඕන නම් කියන එකයි'

ඔහු කිසිත් නොකියා නැඟී සිටියේය. මානවී බලා සිටියාය. ඔහු දොර ළඟට ගියේය.

'එකම දේ මට ඉක්මනින් වචනයක් ඕනෑ'

එය අණ කිරීමකි.

'මං කියන්නම්

ඔහු යන්නට ගියේ දොර හඬ නොනැඟෙන සේ වසාගෙනය.

සෝපානය ඔස්සේ පහත මාලයට ගිය සුජිත්ගේ රුව යළි මතු වූයේ මහ පාරේදීය. මානවී ඔහු යන අයුරු බලා සිටියාය. ඔහු වෙනදා මෙන් වේගයෙන් ගමන් කළේ නැත. සිතට නැඟෙන අනුකම්පාව වහා අවුරාලන්නට මානවී තීන්දු කළාය.

තම ඡායාරූප පෙළ අන්තර්ජාලයේ දුටු දවස මානවීට සිහි විය. ලෝකයම උඩු යටිකුරු වන වගත් ඇයට හැඟිණ. නොදන්නා කොහේ හෝ තැනක සැඟ වෙන්නට නැතිනම් දිවි නසා ගන්නට ඇය තීරණ්‍ය කළාය.

රාත්‍රියේ ඈ පිබිදුණේ සියොළඟම දහදියෙන් පෙඟී ගොසිනි. අම්මා ඒ කිසිවක් නොදන්නී සුව නින්දකය. කෑගසා හඬන්නට ඇති වූ හැගීම ඈය වලකා ගත්තේ මුහුණ කොට්ටය මත ඔබා ඉකිය පිටතට යා නොදීමටය.

ඉන් එහා කොපමණ ජිවිතය වෙනස් විනිද? දුරකතන ඇමතුම් නිනව් නැති විය. ඒ සියල්ලට වඩා එක වහල යට ජීවත් වන අම්මාගෙන් එය සඟවා ගත යුතු විය. ඇයට එය දිව ඇද කා නසින්නට හේතුවක් වනු ඇත. එපමණක් නොව ඉන් එහා ලෝකයක් ඇත්තේය. ඔවුන් කවරාකාරයෙන් තමන්ට සලකනු ඇතිද? ඈ බිය වූවාය. දුරකතන ඇමතුම්වලට උත්තර දීගත නොහැකි තැන මානවී හඬා වැටුණාය. අනතුරුව ඇමතුම විසන්ධි කළාය. ඉන් අනතුරුව ඈ අලුත් අංකයක් ලබා ගත්තාය. එය දැන සිටියේ දෙතුන් දෙනෙකි.

වේදනාව, බිය තමන් වෙත තබා ගනිමින් කාලය ගෙවිණ. මිනිසුනට අලුත් මාතෘකා පහළ විණි.

මානවී සති කිහිපයක්ම ගත කළේ සිත් තැවුලෙනි. රහසක් ලෙස තමා තබා ගත් කාරණය පිටස්තර ලෝකයා දැන ගැනීම අභාග්‍යයක් වූයේය. එහිදී ද ඇයගේ පිහිටට ආවේ වීරප්පෙරුමය.

'මේ ලෝකේ තමන්ට කරදරයක් වුණාම හැම වෙලාවෙම හිතන්න ඕනෑ තමන්ට වඩා කරදර වැඩි මිනිස්සු ගැන. ඒ මිනිස්සු ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. එතකොට තමන්ටත් වඩා ප්‍රශ්න මිනිසුන්ට තියෙන බව දැනුණම තමන්ගේ ප්‍රශ්නේ සුළු එකක් කියලා දැනෙයි'

වීරප්පරුම මානවිට පැවසුවේය.

'මං එහෙම උත්සාහ කරල බලන්නං'

මානවී පිළිතුරු දුන්නේ බලාපොරොත්තු බිඳ ගත් ආකාරයටය.

'මං කොහෙමත් ඉන්ටනෙට් එකෙන් ඒ පින්තූර අයින් කරවන්නං'

විරප්පෙරුම බලාපොරොත්තුවක් දුන්නේය. සිතු පරිදිම මිනිසුනට මානවීගේ නිරුවත් රූප අමතකව ගියාසේය. කඳු කඩා වැටීම්, නායයෑම්, ප්‍රසිද්ධ මිනිසුන්ගේ ආදර කතා මානවීගේ රූප වලට වඩා ඕපාදූප සඳහා ඉඩ ගත්තේය. මානවීගේ රූප අතීතයට ගොසිනි.

'දැන් කොහොමද ප්‍රඩක්ෂන් එකේ වැඩ'

නිරන්ජන් විමසා සිටියේය.

'අයියා කිව්ව විධියට ඔක්කොම සූදානම්. ලබන 15 වැනිදා ෂූටිං පටන් ගන්න පුළුවන්'

මානවී පැවසුවාය.

'මම මානවීගේ එකවුන්ට් එකට සල්ලි යැව්වා. බැලුවද? එකෙන් වැඩ කරගෙන යන්න'

කිසිදු ගිවිසුමක් හෝ නැතුව මුදල් තම ගිණුමට බැර වී ඇත.

'ඒ වගේම ඔයා තව වැඩක් කරන්න ඕනෑ. චැනල් එකට මං කතා කරලා තියෙන්නේ. ඔයා ඉලංගසිංහ මහත්තයා හම්බ වෙන්න. වැඩි ගාණක් ඔෆර් කරගන්න පුළුවන්'.

මානවී හිස වැනුවාය. ධනුෂ්ක ඉලංගසිංහ විෂන් නාළිකා ප්‍රධානියාය. උසය, හැඩය. ඔහු කතා කරන විට ගෙන එන්නේ මනමාල බැල්මකි. දෙතුන් වතාවක්ම මානවීට ඔහු මුණ ගැසිණ.

'මානවී ඉතින් අපිව හම්බු වෙන්නේ නෑනේ'

ඔහු පැවසුවේ නෝක්කාඩු ස්වරුපයෙනි. ඔහුගේ රූමත් භාර්යාව ද කලකට ඉහත ටෙලි නාට්‍ය රැසක රඟපෑවාය.

'හම්බු වෙන්නම් අයියා'

'ඔයාව අපේ ටෙලි නාට්‍යයකට ගන්න කියලා මං එක් කෙනෙකුට කියන්නම්'

ධනුෂ්ක ඉලංගසිංහ පවසන්නේ භාර්යාව ඉදිරිපිටදීය. දැන් ඈ වෙනකෙකු හා සමඟ කතාබහකය.

'ඔයගොල්ලො ඉතින් මිනිස්ටර්ස්ලාත් එක්කනේ ආස්සරේ'

ඔහු එය පැවසුවේ භාර්යාවගේ අවධානය වෙනතක යොමු වුණ මොහොතේය.

'මං අයියාට කොල් එකක් දෙන්නං'

මානවී දුරකතන ඇනවුම අනාගතයට තබා ගත්තාය. දැන් ඇනවුම වර්තමානට එක්ව තිබේ. ධනුෂ්ක ඉලංගසිංහගේ එක් වචනයකට ටෙලි නාට්‍යයේ මිළ ඉහළ යා හැක්කේය. ඔහු ගැන බොහෝ කට කතා එමටය. නාළිකාවට කැමරා ශිල්පියෙකු ලෙස පැමිණි ඔහු ඉක්මනින් හාම්පුතුන්ගේ හිත දිනා ගත්තේ හැකියාවෙනි. කාලය අපතේ නොයවා ඔහු ඉක්මනින්ම ඉහළ තලයට පැමිණියේය. කඩවසම් ඉලන්දාරියකු ලෙස ඔහු කැපී පෙනිණ. නාළිකාවේ හිමිකරුවන් වූ රංගනාදන්ට ඉලන්දාරියා අල්ලලා ගියේය. ඒ සමඟ ඔහුගේ ගමන ඉක්මන් විය. රංගනාදන්ගේ ව්‍යාපාර පිහිටියේ මැලේසියාවේය. රංගනාදන්ගේ භාර්යාව සිටියේ ලංකාවේය. ධනුෂ්ක ටෙලිවිෂන් නාළිකාවේ වැඩ කටයුතු බලා ගත්තේය.

'මං මේ චැනල් එකට ආවෙ 'තනියම. අද මං මීට වඩා අලුත් බෙන්ස් එකක් ගන්නේ නැත්තේ මිස්ටර් රෙංගනාදන්ට හොඳ නැති හින්දා. මං හැම වෙලාවෙම එයාට දෙවැනි වෙන්න ඕන නිසා'

වතාවක් ඉලංගසිංහ කියා තිබුණි. ඒ ඔහුගේ අලුත්ම මෝටර් රථය පදවමිනි. ඒ ගැන මානවීට කලකට පෙර පැවසුවේ සුජිත්ය.

'ඒ මිනිහා තමන්ගේ සීමාව දන්නවා'

එම කතාව වීරප්පෙරුමට පැවසුවේ මානවීය. ඔහු මානවීට දුන්නේ එම අවවාදයයි. දීමෙන් හොඳ දීම දුගියන්ට දන් දීම. මානවී ඉලංගසිංහට දුරකතන ඇමතුමක් දෙන ගමන් සිතුවාය.

'ඒක හොඳයි. ඔය නවල් එකත් මං කියවලා තියෙනවා. අපි වෙලාවක හම්බ වෙමු'

ඉලංගසිංහ ආරාධනා කළේය.

අලුත් වලව්ව තනන්නට සැලසුම් කරන්නට සැරසුණේ මානවී රඟපෑ අනිත් ටෙලි නාට්‍යයත් රූ ගැන්වීම් අවසන් වන විටය.

'ඔක්කොම දොඩම් ගෙඩි වගේ බදාගෙන වැඩ කරලා බෑ'

වීරප්පෙරුම පැවසුවේය. වැඩ කටයුත්ත ආරම්භ කරන්නට කලින් කතරගමට බාරයක් වෙන්න යැයි නිරන්ජන් මානවීට පැවසුවාය.

'වැඩ කටයුත්ත ඉවර වුණ ගමන් එනවා කියලා බාර වෙන්න'

ඔහු උපදෙස් දුන්නේය. අවුරුද්දකට වතාවක් කතරගම යාම නිරන්ජන්ගේ සිරිතකි.

ටෙලි නාට්‍යයක් නිපදවීම සිතූ තරම් පහසු නොවන බව මානවීට වැටහිණ. මෙතුවක් ඇය කළේ රූ ගැන්වීම පමණි. එහෙත් එය සංවිධානය කිරිම පහසු නොවීය. ඇය ටෙලි නාට්‍ය නිෂ්පාදනයට සූදානම් වෙද්දී චාමර ඇයගේ උදව්කරු විය.

'සුජිත් මේ වැඩේ ඩිරෙක්ට් කළේ නැත්නම් අපි වෙන කාව හරි ගමු'

ඈ චාමරට පැවසුවාය.

'අක්කේ මෙහෙමයි. සල්ලි තිබ්බට මේ වැඩේ ලේසි නෑ. සුජිත් අයියා වචනයක් කිව්වොත් හා. කොහොම හරි මේක හදන්නත් ඕනෑ.' චාමර පැවසුවේ දිග සැලැස්මක් හදමිනි.

'චැනල් එකට කොච්චර හදල පෙන්වන්න ඕනැද?'

ඔහු අනතුරුව ඇසුවේය.

'පහලොවක් මුලින් ඕනෑ. ඊට පස්සේ ඉතුරු ටික දෙතෑකි'

'කොහොම උණත් කොලිටියට තියෙන්න ඕනෑ'

'මට ඕනෑ ඇත්තටම හොඳ එකක් කරන්න. ඒකමයි මං සුජිත්ව තෝර ගත්තේ'

චාමරගේ මුහුණේ සෝපාහාසාත්මක සිනහවක් නැඟිණ,

'මොකද උඹ හිනාවුණේ'

මානවී චාමරගෙන් අසුවේ මවා ගත් කෝපයෙන් යුතුවය.

'නෑ නෑ නිකං'

'මොකෝ මම ආයෙ ඌත් එක්ක යයි කියලද? නෑ චාමර මම ඌ වගේ බලු වැඩ කරන්නේ නැහැ. හැබැයි බලපං මං මේක ඌ ලව්ව කරව ගන්න විධිය. එතනිං එහාට මගෙ සම්බන්ධයක් නෑ'

'එතකොට එයාව තෝරා ගත්තේ'

'මං දන්නවා සුජිත්ගේ ටැලන්ට්ස්. පහුගිය කාලේ අපි වැඩ කරපු ඒවායින් කවුද ඇත්තටම ෂූට් කළේ කියලා මං දන්නවා'

චාමර හිස වැනුවේ ඇය හා එකඟ වන්නටය.

'මං ඒක හින්දයි සුජිත් ගත්තේ. එයාට මං නොදුන්නත් කවුරු හරි වැඩක් අරන් දෙයි. හැබැයි මුළු ජීවිත කාලයටම මුලින් වැඩක් බාරදුන්නේ මං කියලා අමතක කරන එකක් නෑ'

චාමර හිස කැසුවේ පරාජය බාර ගන්නටය. මානවී සමඟ තර්ක කරනවාට වඩා නිෂ්පාදනයෙන් ලබා ගත හැකි ආදායම ඔහු ඉදිරියේ මැවී පෙනිණ.

'අනුන්ගේ කොට ඇද ඇද ඉන්න එක හැමදාම සුජිත් අයියට කරන්න බෑ'

චාමර පැවසුවේ මානවී හා එකඟ වන්නේ යැයි පෙන්වීමටය. කොහොමටත් මේ කටයුත්ත වෙනත් නිර්මාණවලට වඩා තමන්ට මහන්සි වන්නට සිදු වනු ඇත.

'පුතා ඔය ලොකු වැඩේ කරන්න කලින් අත්තම්මලාට කියලා ආව නම් හොඳයි නේද?'

නිර්මලා මානවීගෙන් විමසුවාය. මේ දිනවල ඇය ඕනෑවටත් වඩා මහන්සි වන්නීය.

'හොඳයි අපි ගිහින් එමු'

'ඔය වැඩේට කොච්චර යනවද?'

නිර්මාල ඇසුවාය. මානවී නමින් ටෙලි නාට්‍යයක් නිපදවන බව ඇසුණ ද, එයට දියණිය සතුව මුදල් තිබේදැයි විමසන්නට ඈ බිය වූවාය. පසුගිය වකවානුව තුළ ඈ අඩුපාඩුවක් නැතුව ජීවත් වූ වග නම් පැහැදිලිය.

'දැන් ඔය වැඩේට සල්ලි ගොඩක් යයි නේද?'

අම්මා නැවත ඇසුවාය. ගරා වැටෙමින් තිබුණ මහ ගෙදරට ද මානවී මුදලක් වැය කළාය.

'ඔව් අම්මා, ඒ ගැන බය වෙන්න එපා'

'මට බයයි පුතේ අපි අහිංසක මිනිස්සුනේ'

'ඇයි අම්මා'

'මට තේරෙන්නේ නෑ. හැබැයි මොකද්ද අමුත්තක් මට දැනෙනවා'