වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




මහා හිම යුගය පිටසක්වල හැදෙයි

මහා හිම යුගය පිටසක්වල හැදෙයි

“මහා හිම යුගය” ළඟ ළඟම එන බව වැටහෙන සියලු සතුන් ලෝකයේ දකුණු දෙසට ඇදෙද්දී මැනී, උතුරට ඇදෙන විශාල ‘මැමත්’ අලියෙකි. ඔහු හා එක්වන වාචාල කුඩා වලසෙකි, සීඩ්. මොවුන් දෙදෙනාට එක්වන තවත් සගයෙකි, දියෙගෝ නම් විශාල බිළාලයා ය. මාපියන්ගෙන් මඟහැරුණු කුඩා මිනිස් දරුවෙක් මිනිසුන්ට භාර කිරීම මැනී සහ සීඩ් ගේ එකම අභිප්‍රාය වෙයි. මොවුන් තිදෙනා තම වර්ගයාට අහර පිණිස ලබාදීම දියෙගෝ ගේ අරමුණ වෙයි. කෙසේ නමුත් අවසාන අවස්ථාවේදී සිය ජීවිතයද පරදුවට තබා දියේගෝ තම රංචුවෙන් සිය සගයින් බේර ගන්නා අතර, මැනීට සහ සීඩ් ට කුඩා දරුවා සිය මාපියන්ට භාර කිරීමට හැකි වෙයි. මේ 2002 වසරේ තිරගත වූ, ට්වෙටියත් සෙන්චුරි ෆොක්ස් සහ බ්ලූ ස්කයි ස්ටුඩියෝස් යන සමාගම් විසින් නිෂ්පාදනය කෙරුණු පරිගණක සජීවීකරණ චිත්‍රපටයක් වූ ‘Ice Age’  (හිම යුගය) පළමු චිත්‍රපටයේ සාරාංශයයි.

2006 වසරේ තිරගත වූ මෙහි දෙවන දිගහැරුමේ (Ice Age: The Meltdown) මහා හිම යුගයේ අවසානය ගැන කියැවේ. මෙහි මැනී හට සහකාරියක් මුණ ගැසෙන අතර ඉහත සගයින් මහා ජල ගැල්මකින් බේරීමට යෝධ ගසක් සොයා යන ත්‍රාසජනක කතාවක් නිරූපණය විය. තෙවන චිත්‍රපටය (Ice Age: Dawn of the Dinasaurs), 2009 වසරේ තිරගත වූ අතර, රහස් ඩයිනසෝර ලෝකයක අතිශය වික්‍රමාන්විත අත්දැකීම් රැසකට මේ මිතුරන්ට මුහුණ දීමට සිදුවේ. 2012 වසරේ තිරගත වූ සිව්වන චිත්‍රපටය (Ice Age: Continental Drift) මහාද්වීප බෙදීමේදී මේ මිතුරන් මුහුණ දෙන අත්දැකීම් ගෙන හැර පායි.

Ice Age චිත්‍රපට මාලාවේ පස් වැන්න, Ice Age : Collision Course මේ සගයන් මුහුණදෙන තවත් වික්‍රමාන්විත පරිච්ඡේදයක් පිළිබඳ කතාවකි. මෙය පසුගිය ජුනි 23 වෙනිදා සිට ලොව පුරා තිරගත වන ත්‍රිමාන පරිගණක සජීවීකරණ පවුලේ වික්‍රමාන්විත චිත්‍රපටයකි. අයිස් ඒජ් තෙවන සහ සිව්වන චිත්‍රපටවල සම අධ්‍යක්ෂවරයෙකු වූ මයික් තමියර් විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය ලොරි ෆෝට් නිෂ්පාදනයකි. ඔබ්රි සොලමන් ගේ තිර රචනයකි. මිනිත්තු 94 ක දිගින් යුත් මෙම චිත්‍රපටයට රේ රොමානෝ, ජේ ලගුයිසානෝ, ඩෙනිස් ලීරි ඇතුළු ශිල්පීන් පිරිසක් විසින් හඬ දායකත්වය සපයා ඇත.

චිත්‍රපට සියල්ලකම හුදෙකලා චරිතයක් ලෙස සිටින, නමුත් සියලුම සිද්ධීන්ට මූලික හේතුව සපයන ස්ක්‍රැට් නම් දඬුලේනා මෙහිදී අනෙක් අවස්ථාවලදී සේම සිය මහඟු ඕක්ගෙඩිය සැඟවීමට දරණ වෑයමකදී හිම තුල සැඟවී ඇති පිටසක්වල යානාවක් ක්‍රියාත්මක වෙයි. පාලනය කළ නොහැකි යානාව ස්ක්‍රැට් ද සමඟ ඈත අභ්‍යවකාශයට විසිවී යන අතර එහිදී සිදුවන අභ්‍යවකාශ ගැටුම් වලදී සෞරග්‍රහ මණ්ඩලය සහ අනෙකුත් තාරකා රාශි නිර්මාණය වෙයි. ගැටලුවල ප්‍රතිඵලයක් ලෙස පෘථිවිය වෙත උල්කාපාත වර්ෂාවක් ලඟාවේ. මේ විනාශකාරී තත්ත්වයට අයිස් ඒජ් මිතුරන් මුහුණ දෙන ආකාරය මෙම චිත්‍රපටයෙන් කියැවේ.

Ice Age : Collision Course චිත්‍රපටය IMDB දර්ශකයේ 60% ක් සහ මෙටාක්‍රිටික් දර්ශකයේ 37% ක් සටහන් කර ඇත. ලෝක විනාශය ගැන කියවෙන මෙම චිත්‍රපටය අයිස් ඒජ් චිත්‍රපට මාලාවේ විනාශය සනිටුහන් කළ හැකි බව එක් විචාරකයෙක් පවසා ඇති අතර, කුඩා ළමුන්ට රස විඳීය හැකි වුවද, එතරම් හරයක් නැති අනවශ්‍ය චරිත බොහොමයකින් සැදී කම්මැලි චිත්‍රපටයක් ලෙස තවත් විචාරකයන් පිරිසක් මෙය හඳුන්වා දී ඇත. මෙහි පළමු චිත්‍රපටය ඉහළ විචාරක පැසසුම් ලැබූ චිත්‍රපටයක් වන අතර, විචාරක පැසසුම් අතින් මෙම චිත්‍රපට මාලාව ක්‍රම ක්‍රමයෙන් පහළ බැස ඇති බවද පෙනේ. අයිස් ඒජ් පළමු චිත්‍රපටයේ සිට සිව්වැන්න දක්වා පිළිවෙලින් 77%, 57%, 47%, 37% ලෙස රෝටන් ටෝමාටෝස් දර්ශකයේ ලකුණු සටහන් කර ඇත.

කෙසේ නමුත් අයිස් ඒජ් පළමු චිත්‍රපට සතරම වාණිජමය වශයෙන් ඉතා සාර්ථක චිත්‍රපට විය. පළමු චිත්‍රපටය එහි පිරිවැය වූ අමෙරිකානු ඩොලර් මිලියන 59 ට එරෙහිව මිලියන 384 ක් ද, දෙවැනි චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 80 ක පිරිවැයට එරෙහිව මිලියන 660 ක්ද ආදායම් වශයෙන් වාර්තා කළ අතර, තෙවැන්න අමෙරිකානු ඩොලර් මිලියන 90 ක පිරිවැයට එරෙහිව මිලියන 887 ක ආදායමක්ද, සිව්වැන්න අමෙරිකානු ඩොලර් මිලියන 95ක පිරිවැයකට එරෙහිව අමෙරිකානු ඩොලර් මිලියන 877 ක ආදායමක්ද වාර්තා කර ඇත.