වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




යුක්තිය වෙනුවෙන් පෙරට ආ පුතණ්ඩියා

යුක්තිය වෙනුවෙන් පෙරට ආ පුතණ්ඩියා

ඔහු හැමවිටම සත්‍ය වෙනුවෙන් පෙනී සිටින සැබෑ පුවත්පත් කලාවේදියෙකි. නම විමුක්තිය. විමුක්ති සිය පෑන මෙහෙය වූයේ සැබෑ මිනිසුන් වෙනුවෙනි. ජීවිත වෙනුවෙනි. ඔහු පාතාලය දුටු තැන හෙළි කළේය. ඔහු විශ්වාස කළ අන්දමට ත්‍රීවිලර් රියදුරන් ද පාතාලයට සම්බන්ධය. එයට එක් හේතුවක් වනුයේ ඔහුගේ පියා ධර්මේය. ධර්මේ දැන් සිටින්නේ සිර ගෙදරය. කලක් ඔහු ද ත්‍රීවිලර් රියැදුරෙකි. ඔහු සිරගතව සිටිනුයේ මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාවටය.

ලෝකයේ සත්‍ය සොයා යන විමුක්ති අවනීතිය හමුවේ තම පියා ගැන සිටින්නේ බලවත් කෝපයෙනි. එනිසාම තම පෙම්වතියගේ මව්පියන් හමුවන්නට ඔහු පසුබසියි. පෙම්වතියගේ මව්පියන් තම දියණියගේ පෙම්වතා හමුවීමට බලාපොරොත්තුව සිටියි. එහෙත් ඔහු එය දිනෙන් දින මඟ හරියි. එකම කාරණය තම පියා පිළිබඳ අනාවරණය කරන්නට ඔහුට ඇති නොහැකියාවයි.

ජීවිතය යනු පුදුමකාර දෙයකි. නොසිතූ මොහොතක සියල්ල වෙනස්ව යන්නේය. විමුක්ති ද එබඳු ඉරණමකට මුහුණ දුන්නේය. ඒ ඔහු හදිසි අනතුරකට ගොදුරුවීමය. සිහිය එළඹෙන විට ඔහු සිටින්නේ රෝහලකය. රෝහල් ගත කළ ආකාරය ගැන ඔහු දන්නේ නැත. හෙළි වන්නේ අනතුරට ගොදුරු වූ පසු අජිත් නැමැත්තෙකුත් හා ඔහුගේ සගයන් පිරිසක් විමුක්ති රෝහල් ගත කළ බවය. විමුක්තිට ලේ දී ඇත්තේ අජිත්ය.

සුව වූ පසු අජිත් සොයා යන විමුක්ති නිරුත්තර වෙයි. අජිත් දුප්පත් ත්‍රීවිලර් රියැදුරෙකි. අනතුරට ගොදුරු වූ තැන් පටන් විමුක්ති ගැන සොයා බැලූ අජිත් මෙන්ම සගයන් ද ත්‍රිවිලර් රියැදුරන්ය. පොදුවේ ගත් කල ත්‍රීවිලර් රියැදුරන් යනු යුක්තිගරුක සමාජයට හිතැති පිරිසක් බව වටහා ගන්නා විමුක්ති එතැන් පටන් ඔහුගේ සමීප මිතුරෙකු වෙයි.

එපමණක් නොව ඒ වන තෙක් ලෝකය මෙන්ම අධිකරණය හමුවේ පවා රහසක් වූ කාරණාවක් විමුක්ති අනාවරණය කර ගනියි.

විමුක්තිගේ අනාගතය එතැන් පටන් වෙනස් වන්නේ කෙසේද? මේ ත්‍රාසජනක කතාව 22 දා (හෙට) තිරයට එන පුතණ්ඩියා හෙළි කරයි.

පුතණ්ඩියා සහපිරිවර

අධ්‍යක්ෂණය සහ කැමරාකරණය - ත්‍රිශූල දීප තඹවිට

තිර රචනය - බුද්ධික ජයරත්න

නිෂ්පාදනය - සමන්ත මීඇල්ල, මෙත්සිරි කුමාරසිංහ

සංගීතය - සරත් ද අල්විස්

සංස්කරණය - ප්‍රවින් ජයරත්න

කලා අධ්‍යක්ෂණය - දිනේෂ් ජයශාන්ත

සටන් අධ්‍යක්ෂණය - සමන්ත මායාදුන්න

වෙස් ගැන්වීම - ජේ. සුරනිමල

ගීත ගායනා - අමරසිරි පීරිස්

ගී රචනය - කැළුම් ශ්‍රීමාල්

නළු නිළියන් - බුද්ධික ජයරත්න, හිමාලි සිරිවර්ධන, ජිවන් කුමාරතුංග, අර්ජුන කමලනාත්, ධනංජය සිරිවර්ධන, නිහාල් ප්‍රනාන්දු, දුලීකා මාරපන, ධර්මප්‍රිය ඩයස්, නෙහාරා පීරිස්, ජයනි සේනානායක, ටිරොන් මයිකල්, වසන්ත විට්ටච්චි,

ළමා නළු - මෙතුල් ශාමක