වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




මම නිළියක් ‍‍වුණේ  Face Book හරහා

මම නිළියක් ‍‍වුණේ  Facebook හරහා

මොනර කිරිල්ලී‍ෙගන් පැමිණි ධනංජනා

මේ දිනවල පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එන මොනර කිරිල්ලී ටෙලි නාට්‍යයේ ධනංජනා කලා ක්ෂේත්‍රයට නවක ශිල්පිනියකි. ඉතා කෙටි කලක් තුළ කලාවට විත් ටෙලි නාට්‍ය කිහිපයකත්, වෙළෙඳ දැන්වීම් කිහිපයකත් මේ වන විට දායක වී ඇති ඇය ධනංජනා ජයසුන්දරය.

ධනංජනා කලාවට ඇවිත් වැඩි කාලයක් නෑ නේද?

2015 වසරේ තමයි මම ඉස්සෙල්ලාම කලාවට අවතීර්ණ වුණේ.

රංග ශිල්පිනියක් වෙන්න හිතුවේ මගේ හිතේ කුඩා කල පටන් තිබූ ආශාව නිසා. ඒ කියන්නේ ඔබ පාසල් කාලයේ පටන් කලාවට ආශා කළා?

ඉස්්කෝලේ යන කාලේ ඉඳලා මම පාසල් නාට්‍යවල රඟපෑවා.

පාසල් අතර නාට්‍ය තරගවලින් එහෙමත් ජයග්‍රහණ ලබන්න ඇති?

පළාත් මට්ටමෙන් පැවති නාට්‍ය තරගවලින් ජයග්‍රහණ ලබල තියෙනවා. කාලගෝල දික්තලා නාට්‍යයේ රඟපෑ නිසාම යාළුවෝ මට කතා කළෙත් ධනංජනා කියලා නෙමේ දික්තලා කියලා.

රංගන ශිල්පිනියක් වෙනවට අම්මා තාත්තා අකමැති වුණේ නැද්ද?

තාත්තාගෙන් නම් විරුද්ධත්වයක් ලැබුණේ නෑ. ඒත් අම්මා මම රඟපාන්න යනවාට තදින්ම විරුද්ධ වුණා.

ඇයි ඒ?

මම පවුලේ එකම දරුවා නිසා.

ඔබගේ රඟපෑම් දැකලා අදටත් අම්මා ඒ මතයේමද ඉන්නේ?

දැන් නම් එච්චර විරෝධයක් නෑ.

ඔබ ඉගෙන ගත්තේ කලා අංශයෙන්ද?

මම වානිජ අංශයෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ. කොටදෙනියාව මහා විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ.

කොහොමද රංගන ශිල්පිනියක් වීමේ අවස්ථාව ඔබ උදා කර ගත්තේ?

ෆේස් බුක් එක හරහා. හර්ෂ උඩකන්ද මහත්තයා සීරෝ කියලා චිත්‍රපටයක් කරනවා කියලා ෆේස් බුක් එකේ තිබුණා. ඒ චිත්‍රපටයට නළුවෝ නිළියෝ ගන්න ඉන්ටවු එකක් කොළඹ සුදර්ශියේ තියෙනවා කියලා තිබුණ නිසා ඒකට ආවා. ඒ ආපු වෙලාවේ මට ජී. නන්දසේන මහත්තයා ගැන දැනගන්න ලැබුණා. මිත්‍රයෙක්ගේ මාර්ගයෙන් ජී. නන්දසේන මහත්තයා හමු වුණාට පස්සේ මට ඔහුගේ මොනරකිරිල්ලී ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්්ථාව ලැබුණා.

තිළිණිට මේ දවස්වල ප්‍රතිචාර එහෙම කොහොමද?

මොරටුව අඟුලාන පැත්තේ තමයි ෂූටින් කරන්නේ. මම මේ මෙගා ටෙලි නාට්‍යයේ කොටස් තිහක විතර දැනට රඟපාලා තියෙනවා. ආත්ම දෙකක් පිළිබඳ කතාවක්. මෙහි එක ආත්මයක ඉස්කෝලේ ළමයෙක්ටත් මම රඟපෑවා. දැන් නම් මම තිළිණිට තමයි රඟපාන්නේ.

මේ වෙන කොට ඔබට චිත්‍රපට කීපයකටම ආරාධනා ලැබිලා තියෙනවා?

සීරෝ චිත්‍රපටයට ආරාධනා ලැබුණත් තවම එහි වැඩ පටන් ගත්තේ නෑ. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ නවතම චිත්‍රපටයටත් මට ආරාධනා ලැබිලා තියෙනවා.

ධනංජනා කැමති ටෙලි නාට්‍ය පැත්තෙන් ඉස්සරහට යන්නද?

චිත්‍රපට ලැබුණොත් භාර ගන්නවා. විශේෂයක් නෑ. ඒත් ටෙලි නාට්‍යවල රඟපාන්න තමයි මම වඩාත් කැමැති. සරත් දික්කුඹුරගේ වල්පිට කුමාරිහාමි, බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ ද්විත්ව, දේදුනු පාලම ටෙලි නාට්‍යවලට මාව සම්බන්ධ කරගෙන ඉන්නේ. ද්විත්ව ටෙලි නාට්‍යයේ සියලු වැඩ කටයුතු අවසන් කරලා තව ටික දවසකින් ටෙලි නාට්‍ය විකාශය වෙන්න පටන් ගනියි.

ජූලියා හි චරිතය ඔබට විශේෂයි?

මට එහි රඟපාන්න ලැබුණේ ප්‍රවීණ නළුවන් දෙපලක් වූ විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල මහත්වරු දෙපලත් සමඟ. මම රඟපෑවේ ද්විත්ව ටෙලි නාට්‍යයේ ජුලියාට.

ද්විත්ව පෙන්වන්න පටන් ගත්තහම ධනංජනාට හොඳට ප්‍රතිචාරත් ලැබෙයි?

මටත් එහෙම හිතෙනවා. මේක ප්‍රධාන චරිතයක්.

තවම රසික ප්‍රතිචාර එහෙම නැද්ද?

එහෙන් මෙහෙන් එන්න පටන් අරන්.

දැන් ඔබ වෙළෙඳ දැන්වීම් සඳහාත් පෙනී සිටිනවා?

ඔව්. මම ග්‍රීන් ටී පිළිබඳ ප්‍රසිද්ධ තේ වෙළෙඳ සමාගමක දැන්වීමක් සඳහා පෙනී සිටින්න අවස්ථාව උදා වුණා. ඉදිරියේදීත් එහෙම ආරාධනා ලැබුණොත් භාර ගන්නවා.

මේ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවාද?

මම කලා ක්ෂේත්‍රයට ආවේ නම් රඟපාන්න තියෙන ආශාවට. දැන් නම් මට හිතෙනවා මේ ක්ෂේත්‍රයේ සාර්ථක දිගු ගමනක් යන්න මට හැකි වෙයි කියලා.

මුල්වරට කැමරාව ඉදිරියට ගියහම බයක් දැනුණේ නැද්ද?

කැමරාව ඉදිරියට ගියේ මොනර කිරිල්ලී ටෙලි නාට්‍යයේ චරිතයට. ඒත් මට ඒ අවස්ථාව එතරම් ආධුනික බවක් ඇති කළේ නෑ. පිටපතේ දෙබස් අනුව මා ඉදිරියේ කැමරාවක් තියෙනවාද කියලා අමතක කරලා චරිතය කළා එච්චරයි.

අද ටෙලි නාට්‍ය නිර්මාණය විමේ වටපිටාව තුළ පිටපතක් ඇතුවද නැතිව ද ඔබ රංගනයේ නියැළෙන්නේ?

පිටපත ලැබෙන අවස්ථාත් තියෙනවා නොලැබෙන අවස්ථාත් තියෙනවා. රඟපාන්න ගියහම ඒ වෙලාවට චරිතය මෙහෙමයි කියලා පිටපත ඒ වෙලාවට අතට දීලත් චරිත කරපු අවස්ථා තියෙනවා. මම නම් පුද්ගලිකව කැමති කලින් පිටපත දීලා අපිට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගන්න කාලයක් දිලා යම් නිර්මාණයක් කරන්න.

අධ්‍යයනයකින් පසු චරිතයට යාම සුදුසුයි කියලයි ඔබ හිතන්නේ?

මම හිතනවා එහෙම කළොත් නිර්මාණයටත් ඒ නිර්මාණයේ චරිතය කරන කෙනාටත් තමන්ගේ හැකියාවෙන් උපරිම දායකත්වයක් නිර්මාණයට එක් කරන්න හැකි වෙයි කියලා.

ඔබ වඩාත් කැමැති පෙම්වතියකගේ චරිතවලටද?

රංග ශිල්පිනියක් වුණාම චරිතවලට කොටු වෙන්න හොඳ නෑ කියලයි මගේ අදහස. ඒකාකාරී චරිතවලින් මිදිලා කටුක ජීවිත ගත කරන කාන්තාවන්ගේ චරිත නිරූපණයට තමයි මම වඩාත් කැමති.

මේ වෙන කොට රංගනයේදී ප්‍රවීණයන්ගෙන් මොන වගේ සහායක් ද ලැබිලා තියෙන්නේ?

විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල වගේ කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණයෝ සමඟ වැඩ කරන කොට මම වගේ ආධුනිකයෙකුට ලොකු ශක්තියක් ලැබුණා මගේ චරිතය නිරූපණය කිරීමට. ඒ අයගේ මඟ පෙන්වීම් ලොකු ආශිර්වාදයක් වුණා මට.

ඔබේ ගමනට උදව් කළ අය සිහිපත් කළොත්?

මගේ අම්මා අනෝමා නීලකාන්ති, තාත්තා කුමාරසිංහ ජයසුන්දර වගේම ජී. නන්දසේන, බර්මින් ලයිලි ප්‍රනාන්දු, රංජිත් ජයසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු මේ මොහොතේ ස්තූති පූර්වකව සිහිපත් කරනවා.

ධනංජනාගේ ආදරණීය රසිකයන්ට ලිපිනය මතක් කළොත්?

193/1, හීරලුගෙදර, වල්පිට.