වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ෂූටිං, ඩබින් අස්සේ හිරවෙලා

ෂූටිං, ඩබින් අස්සේ හිරවෙලා

කමල් දේශප්‍රිය

කටහඬ ඇහෙද්දීම ඔහුගේ රුව ඔබ නෙතඟට නොආවා නම් පුදුමයක් කියලා කියන්නට පුළුවන්. ඒතරම්ම ඔහු හඬින් අප අතරේ ජනප්‍රියයි. හඬත් එක්ක බලනකොට රුව ද ජනප්‍රිය නැතුවාම නොවෙයි. නිවේදනයෙන් පමණක් නොව රංගනයෙන් ද දැන් දැන් වැඩිපුර ඔහු අප හමුවට එන වාර ප්‍රමාණය බොහොමයි.

කමල් දේශප්‍රිය.

ඒ, ඒ ආදරණීය තැනැත්තාගේ නමය.

* ඉතින් කමල් අයියේ, මේ දිනවල ඔබ ඉතාම කාර්යබහුල අයකු වග පේනවා?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. එක දිගට ෂූටිං සහ හඬ කැවීම් කටයුතු වැටිලා තිබුණා. ඒ හින්දා ගෙදර හිටියේ නිදා ගන්න ටිකේ විතරයි.

* නාට්‍ය හතරක වැඩ කියලා ආරංචියි?

ඔව්නෙ. යාල් දේවි, උරුමක්කාරයෝ, ආදරය ගින්දරක් සහ වීවීඅයිිපී. ඉන් යාල්දේවි හැර අනෙක්වා විකාශය වෙනවා. එකිනෙකට වෙනස් චරිත හතරක් තමයි මා මේවාහි නිරූපණය කරන්නේ.

* ඒ අතරින් ඔබ වඩාත්ම කැමැති චරිතයක් තිබේද?

තියෙනවා. 'ආදරය ගින්දරක්' නාට්‍යයේ මා කරන චරිතය. ඒක කළු චරිතයක්. මට නිරන්තරයෙන් ලැබෙන්නේ හොඳ ගති ගුණ සහිත පියාගේ හෝ ඒ සමාන්තරව ගලා යන චරිත. නමුත් මේක එහෙම නැහැ.

* කමල් අයියා රැකියාවක යෙදෙන ගමන් තමයි කලාවේ නියැලුණේ. පසුගිය දිනක ඔබ ඉන් සමුගත්ත වග දැනගන්නට ලැබුණා?

මම විශ්‍රාම ගියා. දැන් මාස කිහිපයක් වෙනවා. මම වැඩ කළේ සෙලාන් බැංකුවේ. එහි සහකාර සාමාන්‍යාධිකාරි, ජාත්‍යන්තර මුල්‍ය සේවා යන තනතුර තමයි අවසන් කොට මා හෙබ වූයේ. රැකියාව කරන ස්ථානයෙන් මට උපරිම සහාය ලැබුණා කලා කටයුතු වෙනුවෙන්. විශ්‍රාම ගිය නිසා තමයි මං පසුගිය කාලයේ ටිකක් වැඩිපුර වැඩත් බාර ගත්තේ. අද වන වට මං වෘත්තීය කලාකරුවෙක්.

* ඇයි ඔබ පෙර සිට කලාව වෘත්තීය කර නොගත්තේ?

මගේ අම්මා මට එක්තරා උපදේශයක් දුන්නා. මට අදටත් ඒක මතකයි. ඒ වෘත්තීය කලාකරුවෙකු වෙන්න එපා කියන කාරණය. මං වරෙක ගුවන් විදුලියේ සහන නිවේදකයකු හැටියට බැඳෙන්න අයැදුම්පතක් දැම්මාම අම්මා තදින් විරුද්ධ වුණා. මං ඇයගේ අණට පිටින් ගියේ නැහැ. අද තමයි තේරෙන්නේ ඇය කියපු ඔවදනේ වටිනාකම.

* අම්මා ගැන මතක් කරපු වෙලාවේ ඔබගේ මව්පියන් පිළිබඳ ආවර්ජනයක් කරන්න කමල් අයියට අවසර?

මගේ අම්මා ඇග්නස් සිරිසේන. ඇය ගුවන් විදුලි නිෂ්පාදිකාවක්. සිනමා නිළියක්. පියා ආනන්ද සිරිසේන. අර මතක ඇති නේද වජිරා කියන අතිශය ජනප්‍රිය ගුවන් විදුලි වැඩ සටහන. ඒක ලිව්වේ මගේ තාත්තා. හිතට හිත, කලණ මිතුරෝ ආදී සිනමාපට රැසක් මගේ පියා විසින් රචනා කරලා තියෙනවා. වැඩි දෙනෙකු දන්නේ නැහැ ඒ දෙන්නා තමයි මගේ මව්පියන් කියලා.

* මව්පියන්ගේ ආභාසය දැඩිව ඔබට ලැබෙන්නට ඇති කලා ලොවට පිවිසීම සඳහා?

අනිවාර්යයෙන්ම. ඔවුන් කලාවේ නොසිටින්න මම ද කලාකරුවකු වන්නේ නැහැ.

* කොහොමද ඔබේ හඬ කැවීම් කටයුතු?

මහ රජ ධර්මාශෝක හි හඬ කැවීම් කටයුතු තමයි කරගෙන යන්නේ. මා එහි බිම්බිසාර රජතුමාට හඬ කවනවා. ඊට අමතරව කාටුන් කිහිපයකට හඬ කැව්වා. බිම්බිසාර රජතුමාගේ හඬ කැවීමට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ආයේ ඉතින් හංගන්න දෙයක් නැහැ ගොඩක් අය දන්නවා බිම්බිසාර රජතුමාට හඬ කවන්නේ මම කියලා.

* ඔබ හා හා පුරා කියලා හඩ කැව්ව දින අපූරු වැඩක් වුණාලු නේද?

ආයෙ ඉතින් මොකද, ඔය සිදුවීම ගැන හිතද්දී ඇඟ හිරි වැටෙනවා. තවමත් ඇහුවයින් ඇහුවේ නෑ ඒ වගේ බැනුමක්. කවුද දන්නවද එදා මට බැන්නෙ. ටයිටස් තොටවත්ත මහත්තයා. ඔහු හඬ කැවීම් අධ්‍යක්ෂණය කළ මොන්ත ක්‍රිස්තො සිටුවරයා කතාංග මාලාවෙයි මං මුලින්ම හඬ කවන්න ගියේ. දන්නවනෙ ඉතින් ටයි මහත්තයා ගැන. පොඩ්ඩ ඇත්නම් කේන්ති යන කෙනෙක්. ඒත් හරිම හොඳයි. ඔන්න මං ගිහින් මයික් එක ගාවට හඬ කවන්න ලැහැස්ති වුණා. කිහිප සැරයක්ම වැරදුණා. හිතේ තිගැස්මටයි ටයි මහත්තයගෙ මුහුණ පේන කොටයි මට හරියට ඒක කරගන්න බැරි වුණා. ටයි මහත්තයට කේන්ති ගිහින් බැනලා බැනලා මාව ස්ටුඩියෝ එකෙන් එලවලා දැම්මා. එහෙම වුණයි කියලා මං ගෙදර ගියේ නැහැ. ස්ටුඩියෝ එකේ දොර ගාවට වෙලා හිටියා. දවල් වෙනකොට ටයි මහත්තයා කෑම කන්න එළියට ආවා. මාව ඔහු දැක්කා.

'ආ තමුසෙ ගෙදර ගියේ නැද්ද? තවම මෙතනද?'

ටයි මහත්තයා එහෙම ඇහැව්වේ මං ගැන දුක හිතිලා වගෙයි. අන්තිමේ ඔහුට බැගෑපත් වෙලා ස්ටුඩියෝ එකට ගිහින් ඒ සැරේ හරියටම කිව්වා. එදා මං බැරි වෙලාවත් ගෙදර ගියා නම් කමල් දේශප්‍රිය කියලා හඬ කැවීම් ශිල්පියෙක් අද නැහැ.

* ඔබේ බාල පුතත් කලාවට යොමු වෙලා?

ඔව්. එයා චතුර් දේශප්‍රිය. ඔහු කැමරා ශිල්පියකු විදිහට දැන් නිර්මාණ කිහිපයකටම දායක වුණා. චතුර් එයාගේ ගමන නිදහසේ යනවා.

* ඔබේ අම්මා ඔබට දීපු අවවාදය ඔබ ඔහුට දුන්නේ නැතිද?

වර්තමානයේදී තාක්ෂණයත් දියුණුයි. කරන්න දේවල් ඕනෑ තරම් තියෙනවා. මං කොහොමත් ඔහුට බලපෑම් කළේ නැහැ. මගෙන් කැමරාවක් අරන් දෙන්න කියලා ඉල්ලුවා. මං ඒක අරන් දුන්න. ඒ සම්බන්ධ පාඨමාලාවකුත් හැදෑරුවා. සමහර විට ඔහු ස්ථිර රැකියාවක් කරන්නත් ඉඩ තියෙනවා.

* ඔබේ පවුල් අනෙකුත් සාමාජිකයන් ගැන කතා කළොත්?

මගේ බිරිය ශ්‍යාමලී, ලොකු පුතා සිතුම්, දෙවැනියා යසිත්, තුන්වැනියා තමයි' චතුර්. යසිත්ට පුංචි දුවෙක් ඉන්නවා. එහෙම බලන කොට මං දැන් මෙහෙම හිටියට සීයා කෙනෙක්.

* ඔබ ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙස ද ඉතාම ප්‍රකටයි. එහෙම කටයුතු කරන අවස්ථාවකදී වෙච්ච අමතකම නොවන සිදුවීම මොකක්ද?

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති තරඟයකදී එක්තරා සිදුවීමක් වුණා. මට ඒක තමයි අමතක නොවන සිදුවීම. පාකිස්ථානය තමයි එවලේ බැට් කළේ. ජවෙඩ් මියෙන්ඩාඩ් සමඟ තව පිතිකරුවකු පිටියේ හිටියා. පාකිස්තානය පරාජය වෙමින් පැවතියා මතකයි. එතකොට අපේ අය ඔල්වරසන් දිදී ජවෙඩ්ට විහිළු කර කර හිටියා. ඔහු අවාසනාන්ත ලෙස දැවී ගියා. ජවෙඩ්ට කේන්ති ගිහින් මිනිස්සුන්ට ගහන්න පිට්ටනියෙන් පිටතට පැන්නා. ඔහුට කේන්තිය දරාගන්න බැරි වුණා. සදාචාරාත්මක පැත්තෙන් මම ඒ සිදුවීම නිවේදනය කළේ නැහැ. ගොඩක් අය පහුවෙනිදා පත්තරවලින් තමයි ඔය සිද්ධිය දැනගත්තේ. ජවෙඩ් මැච් එක බල බල හිටපු අයට ගහන්න හදන මොහොතෙදි මගේ ඇඟ කිළිපොලා ගියා.