වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේක්ෂක හදවත් උණුසුම් කරනා අපූර්ව ටෙලි සිත්තමක්

ප්‍රේක්ෂක හදවත් උණුසුම් කරනා අපූර්ව ටෙලි සිත්තමක්

‘සීතල ගිනිදැල්’ සතියේ සෑම දිනකම රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනියෙන්

ලකී ඩයස් සය වසරකට පසු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට

දුප්පත්, අවිහිංසක තරුණයකු වන තරිඳු හා කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ දියණිය වන විහඟි වටා ගෙතුණු ප්‍රේමණීය කතා පුවතක් ඇසුරෙන් නිර්මාණය වූ ‘සීතල ගිනි දැල්’ ටෙලි නාට්‍යය දැන් සතියේ සෑම දිනකම රාත්‍රී 7.30 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.

ප්‍රේමයේ අසිරිය මෙන්ම ත්‍රාසය, භීතිය, කුතුහලය පිරි ‘සීතල ගිනි දැල්’ වටා මේ වන විටත් ප්‍රේක්ෂකයන් රොඳ බැඳ අවසන්ය. ප්‍රේක්ෂකයා වෙත නැවුම් අත්දැකීමක් ලබා දෙන්නට සමත්ව ඇති මෙම ටෙලි නාට්‍යය ලකී ඩයස්ගේ තවත් නිර්මාණශීලී ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයකි. ‘සීතල ගිනි දැල්’ කතා පුවත සැකෙවින් මෙසේය.

තරිඳු අවුරුදු විසිපහක් පමණ වයසැති අ. පො. ස. උසස් පෙළ හොඳින් සමත් අවංක තරුණයෙකි. හේ අපේ කථානායකයාය. කුඩා කල සිට පියා නොමැති ඔහුට අවුරුදු 21 ක් පමණ වයසැති නිමාලි නම් නැඟණියක් සිටියි. ඔහුගේ මව හතලිස් පස් හැවිරිදි කුසුමාය. ඇය ඔවුන් ඉතා අමාරුවෙන් උස් මහත් කර ඇත. තරිඳු තමාට ගැලපෙන රැකියාවන් රැසක් සොයා ගිය ද ඒවා හම්බ නොවුන තැන තැඹිලි විකිණීමෙන් තම පවුලේ වගකීම් හැකි ලෙස ඉටු කරයි. වයස අවුරුදු දහ අටේදී නතාෂා නම් පොහොසත් තරුණියකට ආදරය කළ ඔහුට හිමි වී ඇත්තේ ඇගේ කටුක හැරයාමයි. එම අමිහිරි මතකය ඔහු නිරන්තර පීඩාවට පත් කරයි. ඔහු ජීවත් වන මුඩුක්කු පරිසරයේම ජීවත් වන ඔහුගේ සම වයසේ පසුවන විශ්වා ඔහුගේ ප්‍රාණතම මිතුරාය. අයුක්තියට එරෙහිව සටන් කරන අනාථ තරුණයෙක් වන විශ්වා තරිඳුගේ නැඟණිය සමඟ රහසින් පෙම් කරයි.

පිටරට භාණ්ඩ හුවමාරු ආයතනයක හිමිකරුවෙකු වන ධර්මවර්ධන පනස් පස් හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහුගේ එකම දියණිය එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය දරන රූමත් විසි හතර හැවිරිදි විහඟිය. ඇය සමඟ සුඛෝපභෝගී කාරයකින් කාර්යාලයට යන ධර්මවර්ධනට අතරමගදී අනපේක්ෂිත ලෙස හදිසි හෘදයාබාධයක් ඇති වෙයි. මෙය සිදු වන්නේ තරිඳුගේ තැඹිලි කරත්තය පෙනෙන මානයේය. කාරය නවත්වන අතර විහඟි උදව් ඉල්ලා කෑගසයි. තරිඳු වහා ධර්මවර්ධන රෝහලට රැගෙන යාමට උදව් වන අතර වෛද්‍යවරයා පවසන්නේ කඩිනමින් රෝහලට ගෙන ආ නිසා ධර්මවර්ධනගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූ බවයි. තරිඳු ගැන මහත් සේ පැහැදෙන විහඟි ඔහුට තුති පුද කිරීමට උත්සාහ කළත් තරිඳු ඒ වන විටත් රෝහලෙන් නික්ම ගොස්ය. ඉන් පසු අවස්ථා ගණනාවක තරිඳු හමු වූ තැනට විහඟි ගිය ද ඔහු මුණ නොගැසේ. අනතුරුව ඔහුට මුදල් ත්‍යාගයක්ද යැව්වද තරිඳු එය භාර නොගනී. ඉන් පසු විහඟි ඔහු ගැන තවත් පැහැදෙයි.

ධර්මවර්ධන හෘදයාබාධය වැලඳීමට ආසන්න හේතුව වී ඇත්තේ ඔහු එදින නිවසින් පිටවීමට මොහොතකට පෙර ආ අනපේක්ෂිත දුරකථන ඇමතුමයි. ධර්මවර්ධනගේම සම වයසේ පසුවන නිව්ටන් නම් පුද්ගලයා ධර්මවර්ධන බියට පත් කරන මෙම ඇමතුම ලබා දී ඇත. නිව්ටන් හොර රහසේ ගංජා විකුණමින් පාතාල කොන්ත්‍රාත් භාර ගනිමින් ජීවත්වන පුද්ගලයෙකි.

වසර විස්සකට පෙර ධර්මවර්ධන හා නිව්ටන් අතර දැඩි මිතුදමක් පැවතී ඇත. එකල ධර්මවර්ධනගේ හොඳම මිතුරා නිව්ටන්ය. කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ සමීපතම ගෝලයින් දෙදෙනා ලෙස මොවුන් කටයුතු කර ඇත.

කෝටිපති ව්‍යාපාරිකයාත් නිව්ටනුත් ව්‍යාජ ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමකට කොටු කර ජීවිතාන්තයටම හිරගෙදරට යවන්නට සලස්වන ධර්මවර්ධන ඔවුන්ගේ වත්කම් සමඟ අද සිටින ධනවත් තත්ත්වයට පත් වී ඇත. නිව්ටන් ප්‍රබල ඇමතිවරයකුගේ උදව්වෙන් වසර විස්සක් හිර දඬුවම් විඳ නිදහස් වී පැමිණ ඇත්තේ ධර්මවර්ධනගෙන් පළිගැනීමටය.

හිරෙන් නිදහස්වීමට නිව්ටන්ට උදව් වී ඇත්තේ විලී ගජවීර ඇමතිවරයා හා චන්දරේ නම් ඔහුගේ ප්‍රධාන ගෝලයාය. චන්දරේගේ සංකර නැඟණිය වන තරුණ මොරින් සමඟ නිව්ටන් වර්තමානයේ දිවි ගෙවයි. ඇය බලෙන්ම නිව්ටන්ගේ ඇඟේ එල්ලී ඇත්තේ තවමත් නිව්ටන්ගේ කඩවසම් ස්වභාවය පහව නොගොස් ඇති නිසා විය හැකිය.

මෙහි ගැබ් වී ඇති තවත් අභිරහසක් නම් නිව්ටන්ගේ සැබෑ බිරිඳ වන්නේ තරිඳුගේ මව වන කුසුමාය. නිව්ටන් සිර ගෙට යන විට දරුවන්ගේ පියා තමන් බව නොඅඟවන ලෙසත් පියා මියගිය බව පවසන ලෙසත් නිව්ටන් කුසුමාට තරයේ අවවාද කරයි. ඒ අනුව කුසුමා අදටත් එම රහස රකිමින් දිවි ගෙවන්නීය.

මේ අතර රැකියාවක් සඳහා වූ සම්මුඛ පරික්ෂණයකට තරිඳු යන අතර අහඹු ලෙස ඒ යන්නේ ධර්මවර්ධනගේ ආයතනයටය. තරිඳු හා විහඟි නැවත මුණ ගැසෙයි. තම පියාට කළ උදව්වට කළගුණ සැලකීමක් ලෙස විහඟි තරිඳුට රැකියාවක් දීමට පොරොන්දු වෙයි. එනමුදු ධර්මවර්ධන ළඟට යන තරිඳුට ධර්මවර්ධන පරුෂ වචනයෙන් බැන එළවා ගන්නේ ඊට මොහොතකට පෙර නිව්ටන් සමඟ සිදු වූ වචන හුවමාරුවෙන් ඇති වූ ආවේගයේ ප්‍රතිපලයක් ලෙසය. පොහොසතුන් ගැන තවත් කලකිරුණු තරිඳු එතැනින් පිට වී යයි. විහඟි ඉන් පසුව තරිඳුගේ නිවසට ගොස් තම පියා අතිින් සිදු වූ වරදට සමාව ඉල්ලා රැකියාවට එන ලෙස කීවත් තරිඳු එය එකහෙලා ප්‍රතික්ෂේප කරයි. කෙසේ හෝ විහඟි තරිඳුගේ මව හා නැඟණිය සමඟ කුලුපඟ වෙයි.

මෙම සිදුවීම් අතරතුර ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ධර්මවර්ධනගේ මිත්‍ර කොඩිප්පිලිගේ පුත් සුරේන් හා විහඟි අතර සුන්දර කෙලිලොල් ආදර කථාන්දරයක් ගලා යයි.

දිනෙන් දින ධර්මවර්ධනට තර්ජන ගර්ජන හා බිය වැද්දීම් නිව්ටන් අතින් සිදුවේ. මේ නිසා ධර්මවර්ධනට තම බිරිඳ හා දියණිය ගැනත් තම ජීවිතය හා ව්‍යාපාර ගැනත් දැඩි භීතියක් ඇති වෙයි. ඉන් පසු ධර්මවර්ධන දැඩි තිරණයකට එළඹෙයි. ඒ නිව්ටන් මරා දැමීමටය. එම කොන්ත්‍රාත්තුව භාර දෙන්නේ පෙර කී ඇමතිවරයා වූ විලී ගජවීරගේ ප්‍රධාන ගෝලයා වන චන්දරේටය.

මෙම කාල වකවානුව වන විට ධර්මවර්ධන ද දේශපාලනයට පිවිසෙයි. ඒ බලයට ඇති කෑදරකමත් බිරිඳගේ අනුබලදීමත් උඩය. අහඹු ලෙස ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ විලී ගජවීරය. උණුසුම් දේශපාලන සටන නිසා ධර්මවර්ධනට හා ඔහුගේ ව්‍යාපාරයන්ට අභියෝගයන් හා තර්ජන රැසකට මුහුණ දීමට සිදු වේ. මින් හෙම්බත් වන ධර්මවර්ධන දණ්ඩෙන් පහර කෑ නයෙකු මෙන් කිපෙන්නේ මේ සියලු දෑ පිටුපස සිට මෙහෙය වන්නේ නිව්ටන් බව දැනගැනීමත් සමඟය. ධර්මවර්ධන තම දේශපාලන බලය රැක ගැනීමට තව තව ප්‍රබල දේශපාලන චරිත හා පාතාල චරිත සමඟ සමීප ගණුදෙනුවකට මුල පුරයි.

මේ අතරතුර ධර්මවර්ධනගේ ආයතනයට රැකියාවට ආ තරිඳු හා විහඟි අතර දැඩි ප්‍රේම සම්බන්ධයක් ගොඩ නැගෙයි. සුරේන්ට ආදරය කළත් විහඟි තරිඳුිගේ අහිංසක බව හා අවංක බව නිසා ඔහුට ළංව ඇත්තේ නොදැනුවත්වමය. සුරේන්, විහඟි, තරිඳු ත්‍රිකෝණාකාර ප්‍රේමය ගලා යන්නේ ප්‍රේක්ෂකයා විමතියටත්, අමන්දානන්දයටත් පත් කරමිනි.

තම ආයතනයේ සාමාන්‍ය සේවකයකුට එකම දියණිය ආදරය කිරිමත්, ඇය අකීකරු වීම නිසාත් ධර්මවර්ධනට නිවස අපායක් වේ. තම ලෙයින් උපන් පුතු වන තරිඳු තම පරම හතුරාගේ දියණියට ආදරය කිරීම දැනගත් නිව්ටන් එම ආදරයට නොපෙනෙන සේ උදව් කරන්නේ බොර දියේ මාළු බා ගන්නටය.

මින් ඉදිරියට මෙම කථාන්දරය දිගහැර දැක්වීමට බලාපොරොත්තු වන්නේ මෙම සිදුවීම් වන විට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අනුවය. ඒ අනුව පුපුරමින් නිවෙමින් නැවත පුපුරමින් ගලා යන ‘සීතල ගිනි දැල්’ ටෙලි වෘත්තාන්තය ඔස්සේ ප්‍රේක්ෂකයන් හට නැවුම් වූ අත්දැකීමක් ලැබෙනු නොඅනුමානය.

සොහොයුරෝ, සහස්ගව් දුර, දෙපති දහර, ෂෝන් වැනි ජනප්‍රිය, සම්මානනීය ටෙලි නාට්‍යය නිර්මාණය කරමින් ප්‍රේක්ෂක ප්‍රසාදය දිනූ ලකී ඩයස් මෙම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරනුයේ වසර හයකට පසුවය. එහි නිව්ටන්ගේ චරිතය ලකී විසින් රඟ දක්වන අතර ධර්මවර්ධනගේ චරිතයට පණ පොවන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්ය. ලකී සහ ශ්‍රියන්ත ටෙලි නාට්‍යයක් සඳහා එකට එක්ව රංගනයෙන් දායක වන ප්‍රථම අවස්ථාව මෙය වේ. නව පරපුරේ ජනප්‍රිය නළු නිළි දෙපොලක් වන කාවිංග පෙරේරා තරිඳුගේ චරිතයත්, ඉෂාරා සඳමිණි විහඟිගේ චරිතයත් නිරූපණය කරති.