වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




හුණුවටය දෙතැනක

හුණුවටය දෙතැනක

හෙන්රි ජයසේන සූරින්ගේ විශිෂ්ට නාට්‍ය නිර්මාණයක් වන ‘හුණු වටයේ කතාව’ වේදිකා නාට්‍ය ජුනි 08 වැනිදා බලන්ගොඩ ඩයමන්ඩ් ශාලාවේදී සහ ජුනි 10 වැනිදා පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදීත් වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත.

නලීන් ප්‍රදීප් උඩුවෙල, ප්‍රසන්නජිත් අබේසූරිය, නිමල් ජයසිංහ, චාමික හත්ලහවත්ත, රැවනි මනම්පේරි, විජිත සල්ගාදු ඇතුළු රංගන ශිල්පීනි ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායක වේ. රංගාලෝතය උපාලි වීරසිංහ, සංගීත නිර්මාණය ෂෙල්ටන් ප්‍රේමරත්න, සංගීතය මෙහෙයවීම නලීන් අල්විස් සහ වේදිකා සංජීව රූපසිංහ විසිනි. නිෂ්පාදන සහය මානෙල් ජයසිංහ සහ නිමල් ජයසේන ගේය.


සත්මිණිගේ අරන්ගේත්‍රම් 11 වැනිදා

ප්‍රවීණ නර්තන ශිල්පිනී ප්‍රියදර්ශණී බණ්ඩාර මහත්මියගේ සිසුවියක වූ සත්මිණි සත්‍යාංගනී ජයසේකරගේ භරත නාට්‍ය කල එළි මංගල්‍යය ජූනි මස 11 සෙනසුරාදා සවස කොළඹ බිෂොප් විද්‍යාලයේ රංග ශාලවේදී ඉදිරිපත් කෙරේ.

පශු වෛද්‍ය ජගත් ජයසේකර සහ ශානිකා ජයසේකර යන යුවළගේ දියණිය වන සත්මිණි සත්‍යාංගනී ජයසේකර කොළඹ විශාකා විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ සිසුවියකි. වසර 9 ක් භරත නැටුම් ශිල්පය හැදෑරූ ඇයගේ ප්‍රවීණතාවය එළිදැක්වෙන මෙම අරන්ගේත්‍රම් මංගල්‍යයේ ප්‍රධාන ආරාධිතයන් වශයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය සඳමාලි අවිරුප්පොල මහත්මිය සහභාගි වනු ඇත.


චමනිගේ සුරතලාගේ සොඳුරු මතකය 12 දා එළිදකී

චමනි හංසිකා දේවින්දි විසින් රචිත ‘මගේ සුරතලාගේ සොඳුරු මතකය’ ළමා කෘතිය එළි දැක්වීම ජුනි 12 වැනිදා පස්වරු 2.00ට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කිරීමට නියමිතය.

එහිදී චමනි හංසිකා විසින් ‘මගේ සුරතලාගේ සොඳුරු මතකය’ ළමා කෘතිය පිරිනමන්නේ සිබිල් වෙත්තසිංහ සහ ඔටාරා ගුණවර්ධන වෙතය. චමනි හංසිකා මාළඹේ සසෙක්ස් විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන්නීය.


ඉන්ද්‍රජිත්ට ප්‍රතිභා ප්‍රභා සම්මානය

අතුරුගිරිය සිවිල් ආරක්ෂක බලකාය සහ සිත්රූ කලා පදනම එක්ව සංවිධානය කළ ප්‍රතිභා ප්‍රභා සම්මාන උලෙළේදී ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ප්‍රතිභා ප්‍රභා සම්මානයෙන් පිදුම් ලැබීය. රංගනවේදී රවීන්ද්‍ර රන්දෙණිය අතින් මොහු සම්මානය ලබාගත් මොහොතයි මේ.


‘සොක්‍රටීස්’ කළුතරට එයි

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර රචනා කළ නිමල් ඒකනායක විසින් නිර්මාණය කරන ලද ‘සොක්‍රටීස්’ වේදිකා නාට්‍ය ජූනි 12 වැනිදා කළුතර නගර ශාලාවේදී රංගගත කිරීමට නියමිතය.

සොක්‍රටීස් ලෙස ආචාර්ය ජයලත් මනෝරත්න රංගනයෙන් දායක වන අතර චමිලා පීරිස්, ලාල් කුලරත්න, රිචඩ් මානමුදලි, සංජීව දිසානායක, සුසිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස සෙසු චරිත සඳහා රංගන දායකත්වය ලබා දෙති. නවරත්න ගමගේ සංගීත නිර්මාණයෙන්ද, ආචාර්ය ලයනල් බෙන්නරගේ පසුතල නිර්මාණයෙන්ද, මහාචාර්ය අංශු මාරසිංහ නිෂ්පාදනයෙන්ද දායක වෙති.