වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ඕසන් වේල්ස්ගෙන් සම්මාන ලද රොමියුලස්
මෙරට පැරැණිතම රංග ශිල්පි පරම්පරාව සිහිපත් කරන ලිපි මාලාව

ඕසන් වේල්ස්ගෙන් සම්මාන ලද රොමියුලස්

ඔහු උපන්නේ වර්ෂ 1900 මාර්තු පළවෙනිදාය. පියා එන්. සෝදිරිස් ද සිල්වා වූ අතර මව ටී. සිසිලියානා ද සිල්වා වූවාය. සොහොයුරෝ පිළිවෙළින් ටියුලින්, ලෝරන්ස්, එඩ්මන්ඩ්, අර්නස්ට්, මේබල් ආදී වශයෙනි. රොම්ලස් මාස්ටර් පවුලේ වැඩිමල් දරුවා විය. ඔහුගේ උපන් ස්ථානය වූයේ බොරැල්ල අඹගහවත්තය. රොම්ලස් මාස්ටර්ගේ පුත් ස්ටැන්ලි ද සිල්වා සිය පියාගේ අඩි පාරේ යමින් ටවර්හෝල් ශිල්පියකු බවට පත් වූවා පමණක් නොව, නුර්ති නාට්‍ය නිෂ්පාදනයේ යෙදෙමින් ටවර්හෝල් නාට්‍ය කලාව නූතනයට බද්ධ කරන්නට තැත් දැරූ තවත් කලා හිතෛෂී කලාකරුවෙකි. ස්ටැන්ලි සිල්වා සිය පියාණන් වූ රොම්ලස් මාස්ටර්ගේ තොරතුරු ගෙනහැර පෑවේ මෙසේය.

'මගේ තාත්තා කුඩා කල 1906 දී දිනෙක එවක පදිංචි ස්ථානය වූ බොරැල්ල අඹගහවත්ත නිවසේදී ඔහුගේ බාල සොහොයුරාව තොටිල්ලේ දමා නළවමින් ඉතා සුන්දරව කවියක් ගායනා කර තිබෙනවා. ඒ මෙහොතේ එවක රටේ සිටි ප්‍රභූවරයකු වූ එෆ්. ආර්. සේනානායක මහතා ජෝන් ද සිල්වා ශූරීන්ව හමුවීම සඳහා බොරැල්ල මරදාන පාරේ ගමන් කරමින් සිටියදී මෙම නැළවිලි ගායනය ඇසී පණිවුඩයක් යවා එම ගායනය කළ දරුවාව (මගේ පියා රොම්ලස් මාස්ටර්ව) ගෙන්වා ගෙන තොරතුරු විමසා සිය අශ්ව කරත්තයේ නංවාගෙන ජෝන් ද සිල්වා මහතා වෙත කැඳවාගෙන ගොස් හඳුන්වා දී තිබෙනවා. ජෝන් ද සිල්වා මහතා අභියස නැවත ගයන්නට සිදු වූවාලු. එම ගායනයෙන් ඉතා පැහැදීමට පත් එතුමා එකල නිෂ්පාදනය කළ 'මියුලින් මිලීනා' නාට්‍යයේ (පරිවර්ථනයකි) සූත්‍රධාරීගේ චරිතයට පියාව තෝරා ගත්තා. එම නාට්‍යයේ ප්‍රථම වේදිකා දර්ශනය පවත්වා ඇත්තේ 1906 නොවැම්බර් 11 දින ගෝර්ඩන් ගාර්ඩන් හි (රජමල් වත්ත - වර්තමාන ජනාධිපති මන්දිරය අසල) සාදන ලද පොල් අතු මඩුවක වේදිකාවදීයි. විදුලි ආලෝකය වෙනුවට කාබයිට් ලාම්පු තමයි යෙදාගෙන තියෙන්නේ.

ස්ටැන්ලි ද සිල්වා අද ජීවිතයේ සැඳෑ යාමය ගත කළ ද ශ්‍රේ්ෂ්ඨ ටවර්හෝල් ශිල්පියෙකු ලෙස ඉතිහාසගත වූ සිය පියාගේ රංගන චාරිකාවේ මතක සටහන් ආවර්ජනය කළේ ගෞරවය ප්‍රමුඛ අභිමානයකිනි. එම නාට්‍යයේ මේ කුඩා රංගන ශිල්පියාගේ මෝහනීය හඬ සහ රංගනය ගැන පුවත ප්‍රචලිතවත්ම එය දැනගත් අනගාරික ධර්මපාලතුමා සිය මිත්‍ර වලිසිංහ හරිශ්චන්ද්‍ර ඇතුළු එකල ප්‍රබල බෞද්ධයින් පිරිසක් සමඟ එකතු වී කොළඹ නගරය පුරා ගෙනගිය බෞද්ධ කැරොල් සන්දර්ශන සඳහා පුංචි රොමියුලස්ව ගායනයෙන් සහාය කරගෙන ඇත. ඒ ඔස්සේ ඔහු තවත් ජනප්‍රියත්වයට පත් විය. 1911 දෙසැම්බර් 06 දින ටවර්හෝල් ශාලාවේ ආරම්භක නාට්‍යය ලෙස ඉතිහාසගත වූ චාල්ස් ඩයස් ශූරින්ගේ 'පණ්ඩුකාභය' නාට්‍යයේ පණ්ඩුකාභය කුමාරයාගේ පුත්‍රයා ලෙස රඟන්නට එන්. රොමියුලස් ද සිල්වාව තෝරා ගැනුණේ ටවර්හෝල් හි මුල් හිමිකරු වූ ජී. ඩී. හෙන්ද්‍රික් සෙනෙවිරත්න හෙවත් හෙන්ද්‍රික් අප්පුහාමි සහ ඇල්බට් පතිරණ හෙවත් රතු ඇල්බට් නම් වූ සංගීතඥයා විසිනි. ඉන් පසු ටවර් හී රඟ දැක් වූ සෑම නාට්‍යයක ළමා චරිතවලට ඔහු පණ පෙව්වේය.

1918 දී රොම්ලස් එනම් වයස අවුරුදු 18 දී චාර්ටඩ් බෑන්ක් (Charted Bank)  ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය Great Eastern Life Assuarence  සමාගමේ රැකියාවක් ලබා ගත්තේය. ඔහු එහි රැකියාව කළේ ඊ. පී. මොරිස් නමැති සුදු ජාතිකයා යටතේය. 1921 වසරේ ඉන්ෂුවරන්ස් ඒජන්ට් තනතුර ලැබිණි. 1922 දී හෙට්ටිකන්දේ මේරි මාග්‍රට් ප්‍රනාන්දු සමඟ විවාහ විය. 1929 දී අවාසනාවන්ත ලෙස බිරිඳ මිය ගියාය. එම විවාහයෙන් රොමියුලස්ට දරුවන් ලැබුණේ නැත. 1924 වසරේ මුලින්ම එච්. එම්. වී. තැටියකට මොහු ගීතයක් ගායනා කළේය. 'මුතු ඇටයකි ඉන්දීය සාගරයේ මේ මනෝරම්‍ය ලංකා' එම ගීතයයි. බී. එල්. බෝධිපාල රචනා කළ එම ගීතය සංගීතවත් කර ඇත්තේ එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර්ය. එක් සතියක් තුළ තැටි 18000 ක් අලෙවි වීමෙන් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ නිසා එච්. එම්. වී. සමාගමෙන් ඊට කතෘභාගය (Roylity) වශයෙන් වසරකට වරක් රුපියල් 180 බැගින් සහ Dix cc  වර්ගයේ ග්‍රෑමෆෝනයක් ද ලැබිණි. 1922 සිට රොමියුලස් ද සිල්වා ගායකයෙකු සහ නළුවෙකු ලෙස රටේ විශාල කීර්තියක් ඉසිලීය.

'මුල්ම 'මනමේ' නාඩගම නිර්මාණය කළේ ජාඇල වැලිගම්පිටියේ පාදිලි ගෙදරට ආසන්නව පදිංචිව සිටි ඩබ්ලිව්. ජෝන් පෙරේරා හෙවත් බුවා අයියා. මුලින්ම 'මනමේ නාඩගම රඟදැක්වුණේ 1917 තොටළඟ හාමු මහත්තයාගේ 'වලව්වත්ත' කියන ස්ථානයේ. අපේ තාත්තාගේ සමකාලීනයන් වුණේ ඕදිරිස් පෙරේරා (ඕදිරිස් අප්පු), බණ්ඩා ද සිල්වා (එඩී ජූනියර්ගේ පියා - බී. එඩී ද සිල්වාගේ වැඩිමල් සොයුරු), ඩබ්ලිව්. සිල්වෙස්ටර් (වික්ටර් වික්‍රමගේ ගේ පියා), ජෝන් පෑලිස් (පෑලිස් පෙරේරා - මුල් මනමේ නාඩගමේ මනමේ බිසව) මනිමෙල් පෙරේරා (මනමේ නාඩගමේ වැදි රජු) මෙන්ම මුල් කාලයේ කාන්තා චරිත රඟපෑ අන්දරේ අප්පු (ඇන්ඩෲ පෙරේරා), එච්. ඩී. පර්සි පෙරේරා, කුමාර චාලි (චාලි පෙරේරා) ආදීන්.

1934 නොවැම්බර් 08 දා රොමියුලස් ද සිල්වා නැවතත් හෙලන් ග්‍රට්රූට් නම් වූ සිය මුල් බිරිඳගේ නැගනියව විවාහ කර ගත්තේය. එම විවාහයෙන් දරු දැරියන් අට දෙනෙකුට පියෙකු වන්නට භාග්‍ය හිමි කර ගත්තේය. එම දරුවන්ගේ නම් පිළිවෙළින් ග්‍රේටා, ස්ටැන්ලි, ස්ටාලින්, බ්‍රැඩ්මන්, සිල්වියා, වින්ස්ටන්, ලෙස්ටර් සහ මෝර්ටන්ය. ඉතාම සාමාකාමී ලෙස සිය පවුල පවත්වාගෙන ගිය රොම්ලස් තම දරුවන්ගේ අධ්‍යාපනය ගැන දැඩි කැපවීමකින් සහ උනන්දුවකින් කටයුතු කළේය. ඒ අනුව ලොකු දුව ග්‍රේටා ක්ලිප්ටන් බාලිකා විදුහලේ අධ්‍යාපනය ලබා දෙහිවල මාරි ප්‍රයිමර් ජාත්‍යන්තර විදුහලේ ප්‍රධානාචාර්යවරිය ලෙස කටයුතු කළාය.

අපට මෙම තොරතුරු සපයන පියාගේ අඩි පාරේ ගමන් කරමින් කලා කටයුතුවලට නැඹුරු වූ ස්ටැන්ලි සිල්වා මූලික අධ්‍යාපනය මීගමුවේ හරිශ්චන්ද්‍ර විදුහලෙන් හා ද්විතියික අධ්‍යාපනය කොළඹ ආනන්ද විදුහලෙන් ද ලබා රජයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර යාන්ත්‍රික ගබඩාධිකාරී ලෙස 1957 සිට 1979 දක්වා වසර 22 ක සේවා කාලයක් සම්පූර්ණ කළේය. කෝට්ටේ ක්‍රිස්ටියන් කොලේජ් හි අධ්‍යාපනය ලැබූ ස්ටාලින් පිටි සංස්ථාව ආරම්භ කළ අවධියේදීම එහි ලේකම් ලෙස කටයුතු කළේය. බ්‍රැඩ්මන් නම් වූ හතරවෙනි පුතු සීවලී මහා විදුහලේ ඉගෙනුම ලැබ පසුව එයාර් ලංකා සමාගමේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ අතර දැන් විශ්‍රාමික සුවයෙන් පසු වේ. 1956 තිරගත වූ සිරල් පී. අබේරත්නගේ 'සුභද්‍රා' චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතය රඟපෑවේ පස්වෙනි පුත් වින්ස්ටන්ය. 'මාගෙ ප්‍රේම මාතා' නම් ගීතය ද ගායනා කරමින් ඔහු එදා කල රංනය ඉතා ජනප්‍රිය විය. වින්ස්ටන් නාවල ආනන්ද විදුහලේ ඉගෙනුම ලැබූ අතර පසුව කොළඹ නගර සභාවේ වැඩ පරික්ෂක ලෙස කටයුතු කළේය. හත්වැනි පුත්‍රයා වූ ලෙස්ටර් තර්ස්ටන් විදුහලේ අධ්‍යාපනය ලබා මුලින් නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කොට පසුව ඇමරිකාවේ කැලිෆෝනියාවේ සැන්ඩියාගෝ නුවර පරිගණක ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කළේය. තර්ස්ටන් විදුහලේම ඉගෙනුම හැදෑරූ නෝර්ටන් සිල්වා නම් වූ බාල පුත්‍රයා පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කළේය.

 වර්තමාන ටවර්හෝල් නාට්‍ය සංගමයේ සභාපති ධූරය දරන්නේ ද නෝර්ටන් සිල්වාය. නාවල ආනන්ද විදුහලේම අධ්‍යාපනය ලැබූ බාල දියණිය සිල්වියා අධ්‍යාපනය අවසානයේ විවාහ වූවාය. නූර්ති නාට්‍යකරණයේ යෙදුණු බොහෝ නළු නිළියන් උගත්කමෙහි අගය වටහා නොගත්තවුන් ලෙස විවේචනයට බඳුුන් වුව ද කාලයට සාපේක්ෂව රොම්ලස් ද සිල්වා නම් වූ ටවර්හෝල් සුපිරි තරුව අධ්‍යාපනයේ මහිමය මැනවින් හඳුනාගෙන සිටි බව එතුමාගේ දරුවන්ගේ ජීවන ගමන් මඟ නිරීක්ෂණය කිරීමේදී අවබෝධ කරගත හැකිය. එය වර්තමානයේ කලා අම්බරයේ බහුලව පායන තරුවලට ද ආදර්ශයකි. රොම්ලස් මාස්ටර් ඉංග්‍රීසි භාෂාව හැදෑරුවේ පුංචි බොරැල්ලේ සෙමනේරියේය. මෙම අසහාය නාට්‍ය රංගන ශිල්පියා ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි භාෂා කථනයේ සහ ලිවීමේ දක්ෂයෙකු විය.

නීතිඥ ජෝන් ද සිල්වා ශූරින්ගේ 'ශ්‍රී වික්‍රම' හි 'ශී‍්‍ර වික්‍රම රජු' සහ 'වෙස්සන්තර' නාට්‍යයේ 'ජූතක බමුණා' ලෙස භූමිකා නිරූපණය කළ මොහු නීතිඥ චාල්ස් ඩයස් ශූරින්ගේ 'ඔතැලෝ' නාට්‍යයේ 'ඔතැලෝ' ලෙස රඟන විට ටී. විල්බට් පෙර්රා 'ඉයාගෝ' ලෙස ද, ඇන්ඩි අප්පු 'කැෂියෝ' ලෙස ද, විමලා කාන්තා 'බියංකා'ගේ චරිතය ද, සුසිලා ජයසිංහ 'ඩෙස්ටිමෝනා' ලෙස ද, සෝමා කාන්තා 'එමලියා' ලෙස ද, ටී. පී. අල්මේදා 'රැද්‍රිගූ' ලෙස ද, සිමියොන් සිල්වා 'බ්‍රෙබැන්ටියෝ ලෙස ද රඟපෑහ. තවද 'මානාභරණ', 'පද්මාවතී', 'රොඩී කෙල්ල', 'සමුද්‍ර දේවී', 'හෙළදිව පුරඟන', 'සිංහල කොඩිය', 'මහා කළු සිංහලයා', 'සිවම්මා ධනපාල', 'මහා වීර', 'ලෝකේෂ්වර', 'පංචරතී', 'විධුර', 'භූරිදත්ත', 'නාගානන්ද', 'උම්මග්ග ජතකය', 'භූලෝක රම්බා', 'චින්තාමනී', 'ශ්‍රියාලතා', 'අම්මා' ආදී රොම්ලස් ද සිල්වා රඟපෑ නාට්‍ය ගණන මෙතැකැයි ගිණිය නොහැකි තරම්ය. ඔහු නීතිඥ ජෝන් ද සිල්වා, නීතිඥ චාල්ස් ඩයස් යන දෙපළට අමතරව එවක නළු නිළියන්ගේ විනය භාරව ටවර්හෝල් හි නිත්‍ය නිෂ්පාදන කළමනාකරුව සිටි සයිමන් සිල්වා, සීබට් ඩයස් මහතා (නර්තනාචාර්ය චිත්‍රසේනගේ පියා), සංගීතඥ ගවුස් මාස්ටර්, සංගීතඥ එඩී මාස්ටර් (එඩී ජූනියර්ගේ පියා), සංගීතඥ සාදිරිස් මාස්ටර් (සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ පියා), එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් මෙන්ම ටවර් හි නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ ජී. එච්. ලෝරන්ස් පෙරේරා, වේදිකා ඇඳුම් පරිපාලනය කළ ජුවන් මාමා සහ කරෝලිස් පලිහවඩන, පසුව වේදිකා පරිපාලනය කළ සිරිමන් සිල්වා, යූ. ඩී. ආරියදාස, ගිල්බට් සිල්වා, චිත්‍ර ශිල්පී ඕගන් රුද්‍රිගු (ගායිකා උමාරියාගේ මුත්තා), පිලිප් රුද්‍රිගු ආදීන් සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කළේය. කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරා, එකල තරුණයකු ලෙස පැමිණ ඕගන් රුද්‍රිගු, පිලිප් රුද්‍රිගු යන අයගෙන් චිත්‍ර කර්මය හැදැරූ අතර පසුව සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ (හේවුඩ් ආයතනය) ප්‍රධානාචාර්ය ලෙස පත්වීම ලැබූ අයුරු ස්ටැන්ලි සිල්වා සිය පියාගේ අතීත මතක සටහන් අතරට එක් කළේය.

1911 සිට 1930 පමණ දක්වා මෙම නාට්‍ය ප්‍රදර්ශනයෙහි ලා පූර්ණ අනුග්‍රහය දැක් වූ අය අතර එෆ්. ආර්. සේනානායක මැතිඳුන්, ඩී. බී. ජයතිලක මැතිඳුන්, අනගාරික ධර්මපාල මැතිඳුන්, වලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිඳුන්, පියදාස සිරිසේන මැතිඳුන්, අධිනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මැතිඳුන්, ජේ. ආර්. ජයවර්ධන මැතිඳුන්ගේ පියා වන රාජ්‍ය නීතිඥ ඊ. ඩබ්ලිව්. ජයවර්ධන මැතිඳුන්, නීතිඥ සෑම් ලිවේරා, ජයසූරිය මැතිඳුන්, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිඳුන්, එවක අග්‍ර විනිශ්චයකාර ශ්‍රීමත් සිඩ්නි එබ්‍රහම්ස් මැතිඳුන්, හිටපු අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මනික් මේසන් මුවර් මැතිඳුන් ආදී ප්‍රභූවරයින්ගේ නම් පෙරමුණේ ලා දැක්විය හැකිය. නාට්‍ය ප්‍රදර්ශනයට පිට පළාත්වල ඉඩකඩ සැලසීමෙන්, මුදල් ලබාදීමෙන් සහ නාට්‍ය ප්‍රදර්ශනය වන විට ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගිවීමෙන් පුවත්පත්වලට එම නාට්‍ය රංගන පිළිබඳ අදහස් පළ කිරීම පමණක් නොව, ප්‍රවීණ මෙන්ම සුවිශේෂ දක්ෂතා දැක් වූ ජනප්‍රිය සුපිරි ටවර්හෝල් තාරකා පිළිබඳ විමසා බලා ඔවුන් දිරිමත් කරනු වස් විශේෂ පදක්කම් සම්මාන, නම්බුනාම ආදියෙන් සංග්‍රහ කිරීමෙන් ද මෙම ප්‍රභුන් සිය උපරිම සහයෝගය සහ ප්‍රසාදය මෙම ශිල්පීන්ට දක්වා ඇත. ඒ අනුව රොම්ලස් මාස්ටර්ට ලැබුණු සම්මාන පදක්කම් සම්භාරයෙන් කිහිපයක් නම් මෙසේය.

1924 'ශ්‍රී වික්‍රම' නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් එෆ්. ආර්. සේනානායක මැතිඳුන් වෙතින් ලද රන් පදක්කම, 1929 'ඔතැලෝ' නාට්‍යයේ ඔතැලෝග් චරිත නිරූපණය වෙනුවෙන් ඕසන් වේල්ස් නම් සුප්‍රසිද්ධ බටහිර නළුවා වෙතින් ලද  King of Saxony Gold Medal  පදක්කම, ඇමරිකාවේ හොලිවුඩ් හි 'ඔතැලෝ' චිත්‍රපටයේ ඔතැලෝ චරිතය රඟපෑ ඕසන් වේල්ස් ශ්‍රී ලංකාවේ ටවර්හෝල් හිදී 'ඔතැලෝ' නාට්‍යය නරඹා 'ආසියාවේ හොඳම ඔතැලෝ ඔබයි' යනුවෙන් පවසා රන් පදක්කම පලඳවා ඇත.

ලබන සතියට...