වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




රවි රවි රවි

රවි රවි රවි

රවී යනු හිරුට කියනා තවත් නමකි. එම නමින් අප ක්ෂේත්‍රයේ අතළොස්සක් වූ කලාකරුවන් ඇත. රවී යනුවෙන් පැවසූ විට අපේ මතකයට මුලින්ම එන්නේ රවී - රවින්ද්‍ර රන්දෙණියයි. අප නිරන්තරයෙන් දකිනුයේ එක රවී කෙනෙකි. ඒ උදේ සවස දකින හිරුය. එහෙත් එක තැන එකට සිටින රවීලා තිදෙනෙකු පසුගිය දිනෙක අපට දකින්නට හැකි විය. ඒ රයිගම් ටෙලීස් සම්මාන උලෙළේදීය. නීතිඥ රවී ජයවර්ධන එනම් ජාතික රූපවාහිනියේ සභාපති, ආචාර්ය රවී ලියනගේ එනම් කිංඩම් ඔෆ් රයිගම් සභාපති සහ ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය. මේ තිදෙනාම හිරු මෙන් බබළමින් එක තැන පෙළට වාඩි වී සිටීම අපූරු දසුනක් විය.

මේ කාරණයට වඩා තවත් අහම්බයක් තිබේ. ඒ ආචාර්ය රවී ලියනගේ ගේ බිරියගේ නම ප්‍රීති වීමය. රවින්ද්‍ර රන්දෙණියගේ බිරියගේ නම ද ප්‍රීතිය. එය සැබැවින්ම අපූරු ගැළපීමකි. එදින රයිගම් ටෙලීස් හි යාවජීව සම්මානයෙන් පිදුම් ලැබුවේ රවීන්ද්‍ර රන්දෙණියයි. ඔහු සම්මානය ගැනීමට වේදිකාවට යද්දී එතැන හිටියේ තවත් ආර්. ආර්. කෙනෙකි. ඒ රන්ජන් රාමනායකය. එම සම්මානය දිනා ගනිමින් මෙරට සෑම සම්මාන උලෙළකදීම යාවජීව සම්මානය දිනා ගනිමින් රවීන්ද්‍ර රන්දෙණිය ඉතිහාසයට එකතු විය. ඒත් සමඟම රවීන්ද්‍ර රන්දෙනිය තවත් හෙළි කිරීමක් කළා. ඒ තමන්ගේ නමටද ලියනගේ නාමයක් තිබෙන බව. බැරිවෙලාවත් රන්දෙනිය වෙනුවට ලියනගේ කියලා පාවිච්චි කළා නම් තමයි වැඩේ.