වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




මේ කොයි යන්නේ

මේ කොයි යන්නේ

මේ කොයි යන්නේ - රයිගම් යන්නේ ජනකවිය ද ඇසුරු කර ගෙන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අපූරු ගීතයක් රචනා කරන ලද්දේ වීසිදැල චිත්‍රපටයටය. සම්මානනීය මෙම ගීතය රචනා කරද්දී පසු කලක රයිගම් නමින් සම්මාන උලෙළක් බිහිවනු ඇතැයි ද එහි දොළොස් වැන්නේදී තම අලුත්ම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් ලෙස එම සමාගම ආයෝජනයෙන් දායක වනු ඇතැයි ද මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එකල නිකමටවත් සිතුවා ද නොදනිමි. කෙසේ වෙතත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මෙන්ම රයිගම් ව්‍යාපාර සභාපති ආචාර්ය රවී ලියනගේ ද, එම විශ්ව විද්‍යාලයේදී මහාචාර්ය ආරියරත්නයන්ගේ ශිෂ්‍යයන් බව පමණක් දනිමි. කෙසේ වෙතත් දොළොස් වසරක් මුළුල්ලේ සම්මාන උලෙළක් සංවිධානය කිරිම පහසු ක්‍රියාවලියක් නොවේ. එබැවින්ම මෙම උත්සවය සංවිධානය කිරීම පිළිබඳ අපගේ ප්‍රණාමය ආචාර්ය රවී ලියනගේට හිමි විය යුතු වේ. මෙරට මුල්ම ටෙලිවිෂන් සම්මාන උලෙළ විජය සම්මාන උලෙළයි. ඒ 1985 පමණ තරම් ඈත වර්ෂයකය. එය පැවැත්වූයේ එක් වසරකි. අනතුරුව ඕ. සී. අයි. සී. උලෙළ මඟින් (වර්තමානයේ සිග්නිස්) මඟින් ද ටෙලිවිෂන් සම්මාන ප්‍රදානය ඇරඹිණ. තුන්වැන්න වූයේ සුමති සම්මාන උලෙළයි. රාජ්‍ය රූපවාහිනී සම්මාන උලෙළ සිව්වැන්නය. පස්වැන්න රයිගම්ය. වර්තමානයේ වාර්ෂිකව ටෙලිවිෂන් සම්මාන උලෙළයන් හතරක් පැවැත්වීමෙන්ම මෙරට එම කර්මාන්තය අත්පත් කරගෙන ඇති වටිනාකම තක්සේරු කර ගත හැකි වේ.

මෙවර එම සම්මාන උලෙළේදී මහා රංගවේදී රවීන්ද්‍ර රන්දෙනිය ප්‍රතිභා ප්‍රභා සම්මානයෙන්ද මෙරට ටෙලිවිෂන් පරම්පරාවේ ගුරුවරයකු වූ පියදාස රත්නසිංහ හා ප්‍රවීණ රංගවේදී, පූරක අරුණ් ඩයස් බණ්ඩාරනායක තිදෙනාම සම්මානයෙන් පිදුම් ලැබීම අගය කළ යුතුය. එමෙන්ම ජැක්සන් ඇන්තනි නිර්මාණය කරන ලද විශිෂ්ට නිර්මාණයක් වූ දස්කොන් හෙවත් කන්ද උඩ ගින්දර ටෙලි වෘතාන්තයට නිසි ගෞරව අත්පත් කර දීම පිළිබඳ එම විනිශ්චය මණ්ඩලයට ප්‍රණාමය හිමි විය යුතුය. සම්මාන නිර්දේශයන් පිළිබඳ මත පළ කිරීම මගේ කාර්යය නොවේ. කෙසේ වෙතත් සමස්තයක් ලෙස ගත් කළ සුළු සුළු අඩුපාඩු සහිත වුවත් ප්‍රමාණාත්මකව පැසසිය යුතු සංවිධානයක් එම උලෙළට හිමිවිය. ගැටලුව වූයේ ඒ සඳහා ගත කළ කාලය පැය තුනකට ආසන්න වීමය. පිදෙන සම්මාන 53 ක් යනු විශාල ගණනකි.

ටෙලිවිෂනය මෙරටට සැපත් වූයේ 1979 වසෙර්ය. ස්වාධීන රූපවාහිනිය ආරම්භයේ කොළඹ හා තදාසන්න කිලෝ මීටර් 50 ක වපසරියකට සීමා වූ එහි මුලින් විකාශය වූ බහුතර වැඩ සටහන් විදෙස් වැඩ සටහන් විය. එහි මුල්වරට චිත්‍රපටයක් විකාශය වූයේ 1980 අපේ‍්‍රල් 14 වැනිදාය. ඒ මඩොල්දූව චිත්‍රපටයයි. මුල් වරට චිත්‍රපටයක ප්‍රචාරය සඳහා ටෙලිවිෂන මාධ්‍ය උපයෝගී කොට ගත්තේ මහරාජා සංවිධානය මඟින් නිපදවන ලද ඉන්දු - ලංකා හවුල් නිෂ්පාදනයක් වූ 'තී' චිත්‍රපටය උදෙසාය.

සිංහල චිත්‍රපටයක් සිය ප්‍රචාරය සඳහා ටෙලිවිෂනය භාවිත කරන ලද්දේ එයින් පසුවය. ඒ මුවන්පැලැස්ස 2 චිත්‍රපටය උදෙසාය. කෙසේ වෙතත් ලංකාවේදී ටෙලිවිෂන් යන්ත්‍ර රටපුරා පැතිර ගියේ 1982 වසරේ ජාතික රූපවාහිනිය ඇරඹීමත් සමඟය. ඒ අවදියේම සිදු වූ බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු - ඩයනා ස්පෙන්සර්ගේ මංගල්‍ය ජාතික රූපවාහිනිය මඟින් සජීව විකාශනයක් ගෙන ආ අතර එය නැරඹීම සඳහා ටෙලිවිෂන් යන්ත්‍ර තොග ගණනින් රට පුරා මිළයට ගැනිණ. එපමණක් නොව ටෙලිවිෂනයේ බලසම්පන්න බව මුල් වරට වටහා දෙමින් මෙරට දිගු වරලස හිමිව තිබූ බොහෝ යුවතියෝ 'ඩයනා කට්' කපන්නට පටන් ගත්හ.

ටෙලිවිෂනය යනු විනෝදාස්වාදය සපයන්නක් විනා කලාත්මක ප්‍රකාශනයන් බිහි නොකරන්නක් ලෙස එකල විශ්වාසය කළහ. දිමුතු මුතු ටෙලි නාට්‍යය ආසියාවේ මුල්ම මැග්නට් පටයේ රූපගත කළ ටෙලි වෘතාන්තය විය. එතෙක් ලොව පුරුදුව සිටියේ ටෙලි වෘතාන්ත මිලි මීටර් 16 න් රූ ගන්වන්ටය. එයට දායකවූයේ ලාංකික සිනමාවේ දැවැන්තයකු වූ ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ය. නිහාල්සිංහයන් මෙරට ටෙලිවිෂනය සඳහා දැවැන්ත පුරෝගාමියකු මෙහෙයක් කළේය.

නිහාල්සිංහයන් එම තාක්ෂණය මඟින් වෘතාන්ත චිත්‍රපටය තැනිය හැකි බව පෙන්වා දුන්නද සම්මත සිනමාකරුවෝ එබසින් උරණව, නිහාල්සිංහයන් දඩුකඳේ ගැසීමට තැත් කළහ. කෙසේ වෙතත් නිහාල්සිංහ ලාංකික ටෙලිවිෂනයට ප්‍රමාණවත් පරම්පරාවක් බිහි කළේය. එහෙත් ටෙලිවිෂනය හරහා කලාත්මක ප්‍රකාශනයක් බිහි කළ හැකිය යන්න ඔප්පු කර සිටියේ ජාතික රූපවාහිනිය ඔස්සේ නිර්මාණකරණයට පිවිසි ධම්ම ජාගොඩ, පරාක්‍රම නිරිඇල්ල, තිලක් ගුණවර්ධන, නාලන් මෙන්ඩිස් ආදීන්ය. ඔවුන් වේදිකාව හරහා රූප මාධ්‍යයට පිවිසුණ ඇත්තෝ වූහ. තිස්ස අබේසේකර, ධර්මසේන පතිරාජ වැන්නන් සිනමාව හරහා ටෙලිවිෂනයට පිවිසියහ. ඔවුහු රූපවාහිනිය කලාවක් බවට පරිවර්තනය කළහ. එමෙන්ම මිනිසුන්ගේ රස වින්දනය ඉහළට ගෙන ආහ. ඒ වන විට ඇට්ට කුණාවෙමින් පැවැති සිනමාව එයින් මුදා ගැනීම සඳහා නව පරපුරක් ටෙලිවිෂනය හරහා පිවිසියහ.

සුදත් දේවප්‍රිය, සුදත් මහදිවුල්වැව, උදයකාන්ත වර්ණසූරිය, බෙනට් රත්නයක, සෝමරත්න දිසානායක, අශෝක හඳගම, ඉමෝකා සත්‍යාංගනී ආදී දීර්ඝ නාමාවලියක් එසේ සඳහන් කළ හැක්කේය. ටෙලිවිෂනය යනු සිනමාවට පිවිසීමේ කදිම මාධ්‍යයක් ලෙස එකල සැලකූහ. බොහෝ තරුණයන් සිනමාවේ පාසල ලෙස සැලකුවේ ටෙලිවිෂනයයි. එකල ටෙලිනාට්‍ය සඳහා ආයෝජනය කරන ලද්දේ දැවැන්ත සමාගම්ය. ඔවුන් බලාපොරොත්තු වූවේ තම වෙළඳ නිෂ්පාදන ප්‍රචාරය වුව ද ඒ හරහා කලාත්මක නිෂ්පාදන බිහි කරන්නට ඉඩ සැලසිණ. පිටගම්කරයෝ, කඩුල්ල වැනි ටෙලි වෘතාන්ත බිහි වූයේ එහෙයිනි. පසුකාලීනව ටෙලිවිෂන චැනල් වැඩිවෙත්ම එකිනෙකා ජනප්‍රිය වීමද, ලාභය අඩු වීමද යන්න මත මොකක් හෝ මරාලයක් පූට්ටු කර ටෙලි නාට්‍ය ලෙස විකාශය වන්නට පටන් ගැනීමත් සමඟ අපේ ටෙලි නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය ඇද වැටිණ. නිර්මාණශීලී තරුණයන් රාශියකට සිනමාව මෙන්ම ටෙලි නාට්‍යකරණයේ ද දොරගුළු ඇහිරුණි.

පසුගිය වකවානුවේ බිහි වූ දස්කොන් හෙවත් කන්ද උඩ ගින්දර, සත්පත්තිනි, හැන්දෑව වැනි බොහෝ ටෙලි නාට්‍ය අතීත ටෙලි නාට්‍ය යුගයේ මෙන් දැවැන්ත ආකර්ශනයකට භාජනය නොවූයේ ඒවායේ නිිර්මාණාත්මක ගුණයන් හීන වීම නිසා නොවේ. සමස්ත ටෙලි නාට්‍යකරණය පොරයකට වන් කළ හොඳ නරක කුමක්දැයි සොයා බලන්නට තරම් ප්‍රේක්ෂකයා කාලය මිඩංගු නොකිරීම හේතුවෙනි. ටෙලිවිෂන යන්ත්‍රය ද තවදුරටත් නාළිකාවන්ගේ රූප විකාශයන්ට නොව ගෘහස්ථ සිනමා උපකරණ මෙවලමක් විය.

එබැවින් ටෙලිවිෂනය ගෘහස්ථ සිනමා තිරය බවට පත් විය. කලකට ඉහත චිත්‍රපටයක් රස විඳින්නට ශාලාවටම යා යුතු යැයි පරම්පරාවක මතවාදයක් ඇති විය. අද අලුත් පරම්පරාව ටෙලිවිෂනය හා සිනමාව ස්මාට් ෆෝන්, ලැප්ටොප් මඟින් රස විඳිද්දී එසේ කළ හැකි ද යන උභතෝකෝටික ප්‍රශ්නය අසනුයේ එදා ටෙලිවිෂනයට පක්ෂ පරම්පරාවේ බහුතරයයි. හතළිස් වසරකට ආසන්න එදා අතීතයේ ටෙලිවිෂනයේ චිත්‍රපට නැරඹීම කළ නොහැකි යැයි යන තර්කයම වර්තමානයේ ලැප්ටොප් හෝ ජංගම දුරකතන මඟින් චිත්‍රපටය ටෙලිවිෂනයෙන් දැක ගත නොහැකි ඇයිදැයි යන ගැටළුම එකිනෙක සමාන වේ. මේ එදා සිදු වූ පරම්පරා ගැටළුවම බව මගේ විශ්වාසයයි. තවත් අවුරුදු ගණනකදී ඊළඟ තාක්ෂණ මෙවලම් සමඟ මෙබඳුම අරගලයකට මුහුණ දෙනු ඇත.

අද රූප තාක්ෂණ සියල්ල එක හූයකින් බැඳී ඇත. සිනමාව හා ටෙලිවිෂන එකම මෙවලම් භාවිතා කරති. සියළු මාධ්‍ය අන්තර් ජාලයේ පහස ලබති. එයින් තොර ජීවිතයක් නැත. වෙබ් අඩවියෙන් තොර නාළිකාවක් නැත. සමාජ වෙබ් අඩවි ලොව පුරා සැරිසරති. දස්කොන් වැනි මාහැඟි ටෙලි නාට්‍ය විකාශයේදී නරඹන්නට නොහැකි වූ බොහෝ දෙනා එය අන්තර් ජාලයෙන් නරඹති. සිනමා ශාලවට හෝ ටෙලිවිෂනය ඉදිරිපිටට නොගොස් ඒ සියල්ල ජංගම දුරකතනයෙන් නරඹති. වෙබ් අඩවි සඳහා වෙනම සම්මාන පිරිනමති. මෙවර රයිගම් සම්මාන උලෙළ නිමා වද්දී මා සිහින දුටුවේ එකී පරිවර්තනයට අප ගොදුරු වන අන්දමයි. තම තමන්ගේ සෙල්ෆි එක මොහොතකින් ලොව පුරා විහිදයි. වත්මන් දශකයේ ලොව බලවත්ම සාධකය බවට අන්තර් ජාලය යොමු වෙයි.

පසුගිය මහ ගංවතුර, නායයාම් වැනි විපත්වලින් ජනතා සුබසාධනය සඳහා ටෙලිවිෂන නාළිකා කළ මෙහෙය අවතක්සේරු කරන්නට මම අකමැත්තෙමි. එහෙත් ඒ සියල්ලට පෙරාතුව එයට සූදානම් වූයේ සමාජ වෙබ් අඩවි පරිහරණය කරන්නන්ය. ගංවතුරෙන් අසරණ වූවන්ට කොටුවේ දුම්රියපොළට බත් පැකට් එකතු කිරීම ඇරඹවේ ෆේස්බුක් මිත්‍රයන්ය. එය වඩා වෙළඳ උපක්‍රම සහිත ටෙලිවිෂන් නාළිකා ඩැහැ ගත්තේය. අලුත් චිත්‍රපට සඳහා වඩා ප්‍රචාරණය සොයා යන්නේ සමාජ වෙබ් අඩවි හරහාය. අලුත් සිනමා පරම්පරාව ටෙලිවිෂනය ගුරු කොට ගත්තෝ නොවෙති. නිදැල්ලේ අතට හසුවන කැමරාව ඔවුන්ගේ මාර්ගෝපදේශකයා වෙයි. ඔවුන්ගේ මුල් අත්දැකීම වාරණයෙන් තොරව අන්තර් ජාලයට මුදා හැරේ. මේ ටෙලිවිෂනයේද 'කන්ද උඩ ගින්දර' ඇවිලෙන සමයයි. ඉදිරි වසර ගණන ඇතුළත එහි අනන්‍යතාව පසක් කර ගත යුතුව ඇත. සිනමාව මෙන්ම ටෙලිවිෂනය ද අනුක්‍රමයෙන් ඊළඟ පරම්පරාව අත යල් පැන ගිය මෙවලක් වෙමින් පවතින වග සනිටුහන් කළ යුතුය.

නැතහොත් අසන්නට වන්නේ මේ කොයි යන්නේ යනුවෙනි.