වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන

ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන

පත්තිනි මෑණියන් තිරයේ ප්‍රතිනිර්මාණය කළ

මධුෂා රාමසිංහ

ජීවිතයේ එක් වරක් හෝ සුවහසක් මනුෂ්‍ය වර්ගයා විසින් භක්ති ආදරයෙන් විශ්වාස කරන පුද පූජා පවත්වන දේව ආත්මයක චරිතයක් රඟදක්වන්නට අවස්ථාව ලැබේ නම් එය කලාකාරිනියක් ලද භාග්‍යයකි. එවැනි චරිතයක් සිය ප්‍රථම සිනමා අත්දැකීමේදීම රඟපෑමට වරම් ලැබීම ඇය ලද තවත් වාසනාවකි. මෙවැනි සොඳුරු අත්දැකීමකට මුහුණ දුන් ඇය නමින් මධුෂා රාමසිංහය. මේ දිනවල සිනමාලෝලී ප්‍රේක්ෂක ඔබ හමුවට එන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 'පත්තිනි' සිනමා කෘතියේ පත්තිනි මෑණියන්ගේ චරිතයට පණ පොවන්නේ ඇයයි. එපමණක් නොව අප ආදරයෙන් වැලඳගත් ජනප්‍රිය කොරියන් ටෙලි කතාවන් වන ජාතික රූපවාහිනියේ විකාශය වූ 'සුජාත දියණිය' හා 'අභීත දියණිය' ටෙලි කතාවන්හි තේමා ගීතයට අත්වැල් ගායනය සැපයුවේද මධූෂාය. මේ ඇය හා කළ පිළිසඳරකි.

ඔබේ කලා ගමනේ අලුත්ම පිටුව 'පත්තිනි' චිත්‍රපටය කිව්වොත් නිවැරැදියි?

ඔව්. ඔබ නිවැරැයි. කලාවට සම්බන්ධ වුණාට පසුව මම රංගනයෙන් එක් වූ පළමු සිනමා කෘතිය මෙයයි. එහිදී පත්තිනි' මෑණියන් වැනි පූජනීය චරිතයක් රඟපෑමට ලැබීම තවත් සුවිශේෂියි.

එම චරිතය ඔබට ලැබෙන්නේ කොහොමද?

මගේ ආදරණීය හිතවත් රංගන ශිල්පිනී මනෝහාරී හේවාවසම් මහත්මිය මට ආරාධනා කළා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් චිත්‍රපටයක් කරනවා ඊට සම් බන්ධ වන ලෙසට. සුනිල් ආරියරත්න මහතා මට චරිත කිහිපයක් ගැන පැවසුවා. අවසානයේදී එතුමා තීරණය කරන්න ඇති මම මේ චරිතයට සුදුසුයි කියලා. පත්තිනි මෑණියන් වන්දනා කළ මට මට ආශිර්වාදයක් ලෙසින් එම චරිතයම රඟපෑමට ලැබුණා.

අපි විශ්වාස කරන අදහස දේව ආත්මයකට පණ පොවන්නට අවස්ථාවක් ලැබීම ඔබට අභියෝගයක් වුණා?

දෙවි කෙනෙක්ගේ පිළිමයකට පණ එද්දී එය වැරදිලා හරි එහා මෙහා වුණොත් ප්‍රේක්ෂකයන්ට එය විහිළුවක් වෙනවා. ඒ නිසා මෙම චරිතය රග දැක්වීමේදී ඒ මනෝභාවයන්, ඉරියව් බුද්ධිමත්ව හසුරුවන්න මමත් සුනිල් සර්රුත් කල්පනාකාරී වුණා. ඉතින් ඒ වගකීම මම පත්තිනි මෑණීයන්ගේ ගෞරවයට කිසිම හානියක් නොවන අයුරින් ඉටු කළා යැයි විශ්වාස කරනවා. ඒ නිසා මම හිතනවා ඒ අභියෝගය ජය ගත්තා කියලා.

ඔබ රඟපෑ ඒ මෙහොතේ මතකය අවදි කළොත්?

මට එදා රඟපාන්න ලැබුණු සියලු අවස්ථා චිත්‍රපටයේ අඩංගු වන්නේ නෑ. ඒ ගැන මට කනගාටුයි. නමුත් චිත්‍රපටයේ අඩංගු මගේ සුළු සිද්ධීන් පවා මට ලොකු තෘප්තියක් ලබා දෙනවා. මගේ රූගත කිරීම් තිබුණේ දවස් දෙකයි. ඒ රන්මිණිතැන්නේ. පත්තිනි මෑණියන්ගේ ඇඳුම් හරිම බරයි. කර්ණාභරණ කනට දරා ගන්නත් බෑ. ඇඳුමට තියලා ආභරණ මහලා තිබුණේ. අද හවස තුන හාමරට ඇඳලා හෙට උදේ හත වෙනකම් රැයක් නිදි මරාගෙන ඒ ආභරණත් දරාගෙන මම හිටියා. හරියට වතුරවත් බිව්වේ නෑ. තදට ඇඳුම් ඇන්දොත් මගේ හම රතු වෙලා පාරවල් පාරවල් හිටිනවා. නමුත් එදා මට එහෙම වුණේ නෑ. හරි පුදුමයි. දේව ආශිර්වාදයක්ද මන්දා.

ඔබ රඟපෑ පත්තිනි මෑණියන්ගේ චරිතය ඔබ ජීවිතය ඇසුරින් දකින්නේ කොහොමද?

පත්තිනි මෑණියන් කියන්නේ පතිදම සුරැකි කාන්තාවක්. කාන්තාවකට ගිහි ජීවිතයේදී රකින්න ලැබෙන ධර්මය තමයි පතිදම කියන්නේ. පවුල් සංස්ථාවේ අභිවෘද්ධියට එය සෘජුව බලපානවා. පත්තිනි මෑණියන්ගේ මනුෂ්‍ය ආත්මයේ කන්නගීට හමු වුණු කෝවලන්ලා තමයි මට මගේ ජීවිතයේ හමුවෙලා තියෙන්නේ. අපේ සමාජයේ අපි යශෝධරාවක් වෙද්දි අපිට සිදුහත්ව හමු වන්නේ නෑ. නමුත් කාන්තාවකට ජීවිතයේ උත්තරීතරත්වයට පත් වෙන්න ලැබෙන අවස්ථාවක් තමයි පතිදම කියන්නේ.

ඔබේ චරිතය සඳහා ලැබෙන ප්‍රතිචාර?

බොහෝම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහරුන්ට මාව අඳුරගන්නත් බෑ කියනවා වේෂ නිරූපණය නිසා. ප්‍රේක්ෂකයන් අරුණිවයි මාවයි පටලවගෙන. කන්නගී තමයි පත්තිනි මෑණියන් වෙන්නේ.

ඔබගේ නවතම ගීතය හා පොත පිළිබඳව පැවසුවොත්?

මගේ පොතේ නම 'මධුලෝලයාණෙනි'. ඒක කවි ගී පොතක්. මගේ ජීවිතයේ මම විඳි ප්‍රේමය, විරහව, පොදු සමාජයේ මා ලද අත්දැකීම් සියල්ල කවියෙන් එහි ලියැවිලා තියෙනවා. එය ඉදිරියේදී එළිදැක්වේවි. මගේ ගීතය 'අවසරයි' කියන බෞද්ධ ගීතය. එහි අන්තර්ගතය වන්නේ ලෞකික ජීවිතයෙන් ලෝකෝත්තර සුවය පතා මහණ වෙන්නට මවගෙන් අවසර ඉල්ලන දියණියකගේ කතාව. ඒක මගේ ජීවිතය හා සමානයි. මං හිතන්නේ ලංකාවේ පළමුවරට මේ ගීතයේ නිර්වාණය ලබන පියවර පිළිවෙළින් ලියැවිලා තියෙනවා. කෙලෙස් මල දුරු කරන්න, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන්න, බ්‍රහ්ම විහරණය ලබන්න, නිර්වාණය ලබාගන්න යන කරුණු සතර මේ ගීතයේ කියැවෙනවා.

දේශපාලනමය වශයෙන් ක්‍රියාකාරී කාන්තාවක් ලෙස කලාව හා දේශපාලනය ඔබේ ජීවිතයට මුසු වෙන්නේ කොහොමද?

මගේ දේශපාලනය හා කලාව එකට මුණගැසෙන්නේ එකම තැනකදී. ඒ වයස අවුරුදු දොළහේදී. නිල් ඔසරියක් ඇඳලා හොරගොල්ල අත්තනගල්ල වේදිකාවට නඟිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තේමා ගීතය ගයන්න චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය වෙනුවෙන්. ඒ එඩ්වඩ් ජයකොඩි මගේ සංගීත ගුරුතුමාගේ සැරිසර සංගීත කණ්ඩායමත් සමඟ. එතනයි මගේ කලාවේ හා දේශපාලනයේ ආරම්භය.

ඊට පසුව මම 'ලෝ නිමැ වූ මව්වරුණි' ගීතයට අත්වැල් ගායනයෙන් එකතු වෙනවා පාසල් කාලයේදීම. එහි ගායනය පණ්ඩිත් අමරදේව, නීලා වික්‍රමසිංහ, එඩ්වඩ් ජයකොඩි යන ප්‍රවීණයන් අතින් සිදු වුණේ. ඊට පසු ආචාර්ය ජයලත් මමෝරත්නයන්ගේ 'ඊළඟට මොකද වෙන්නේ' කියන ටෙලි නාට්‍යයේ 'මධු' කියන ප්‍රධාන චරිතය රඟපානවා. හඬ කැවීම් ශිල්පිනියක ලෙසත් නිදහස් මාධ්‍යවේදිනියක ලෙසත් පුවත්පත්වලට ලියනවා. මම කලාවට සම්බන්ධ වූ හැම අවස්ථාවකදීම ප්‍රවීණයන් සමඟ කටයුතු කරන්න හැකි වුණා. ඒ හැම දේම දේශපාලනයට සවියක් වුණා.

දේශපාලනය නිසා ඔබ කලාව අත හරිනවාද?

නැහැ. කවදාවත් නැහැ. දේශපාලනයේ කොතැනක සිටියත් මම කලා කටයුතුවල නියැළෙනවා.මට ලැබෙන කලා නිර්මාණ යහපත් නම් ඒ සියල්ල මම සතුටින් භාර ගන්නවා.

අවසාන වශයෙන් ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

දක්ෂ කලා ශිල්පිනියක් වෙන්න. රටේ නායකත්වය දරන පූර්වාදර්ශී චරිතයක් වෙන්න.