වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




දුෂ්ට චරිත රඟපාන එක අභියෝගයක්

දුෂ්ට චරිත රඟපාන එක අභියෝගයක්

දුෂ්ට චරිතයට පෙම්බඳින යෞවනයා

- අසංක මෙන්ඩිස්

ඔහු වර්තමානයේ පුංචි තිරයේ චණ්ඩියෙකි. දුෂ්ට චරිත නිරූපණයට වැඩි කැමැත්තක් දක්වන මේ අපූරු යෞවනයා ඉහළ ජනප්‍රියත්වයක් ලද්දේ අකඩවාරිය ටෙලි නාට්‍යයේ ‘චාලි’ ලෙසින් වගේම මුතු වැස්ස ටෙලි නාට්‍යයේ ‘චූටි’ ලෙසිනි. ඔහු,

අසංක මෙන්ඩිස්.

අද වෙන කොට ජනප්‍රිය ටෙලි නිර්මාණ රැසකටම දායක වී තම ජනප්‍රියත්වයද ඉහළ නංවා ගන්න අසංක සමත් වෙලා.

* ඔබේ රංගන ජීවිතයේ ආරම්භය සිදු වූ ආකාරය කියමු?

මගේ ජීවිතයේ රංගන කටයුතුවල ආරම්භය සිදු වුණේ, පාසල් කාලයේදීමයි. ඒ කාලෙත් මම රඟපාන්න ලොකු ආසාවකින් හිටියේ. පාසලේ වේදිකා නාට්‍යවලට දායක වුණා. මුලින්ම කැමරාවක් ඉදිරියට ගියේ, සුනිල් හොරේෂස් මහත්මයාගේ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලි නාට්‍යයෙන්. ‘අකඩවාරිය’, ‘මුතු වැස්ස’ ටෙලි නාට්‍යවලට අමතරව ‘වර්ණ’, ‘භව හරණ’, ‘දේදුන්නේ ආදරේ’, ‘සමනල්ලු පියාඹයි’ ඇතුළුව ටෙලි නාට්‍ය රැසකට දායක වුණා. ඒ විතරක් නෙවෙයි, සිත නිවන කතා ටෙලි නාට්‍ය මාලාවේ නිර්මාණ කිහිපයකටත් දායක් වුණා. ඒ කතාවලත් මම නිරූපණය කළේ චණ්ඩියාගේ චරිතයම තමයි.

* දුෂ්ටයා වෙන්න විතරමද කැමැති? ඇයි ප්‍රේමවන්තයාගේ චරිතය හොඳ නැතිද?

එහෙම එකක් නම් නැහැ. අනෝජා වීරසිංහ මහත්මිය යටතේ මම රංගකලාව හැදෑරුවා. මම සටන් කලාවත් හොඳින් ප්‍රගුණ කළ අයෙක්. ඒ වගේම මම සටන් කලාවට ගොඩක් කැමැතියි. ඒ නිසා දුෂ්ට චරිතයක් නිරූපණය කරන එක මට එතරම් අපහසු කටයුත්තක් නෙවෙයි. හොඳ නැතුව නෙවෙයි, මම වැඩියෙන් කැමැති ප්‍රේම චරිතයකට වඩා දුෂ්ට චරිතයකට පණ පොවන්නයි. දුෂ්ට චරිත රඟපාන එකත් අභියෝගයක්.

* රංගන ක්ෂේත්‍රයට පැමිණීම අසංකටත් අසීරු කටයුත්තක් වුණාද?

මට දැනෙන විදියට රංගනය කියන්නේ අමාරු කලාවක්. ඒ තුළ කටයුතු කරන්න අපට හොඳ ඉවසීමක් වගේම ලොකු කැපවීමක් කරන්න පුළුවන් කමක් තියෙන්න ඕනි. එහෙම කළොත් නම් වරදින්නේ නැහැ. මමත් ඒ කැපවීම කරලා තමයි අද මෙතැනට ඇවිත් ඉන්නේ. ඒ වගේම කවුරු මොනවා කිව්වත් ප්‍රවීණයන් ගෙන් ලැබෙන සහාය නම් වචනයෙන් කියලා නිම කරන්න බැහැ.

* අසංකගේ පෞද්ගලික ජීවිතය ගැනත් කියමු ?

අපේ පවුලේ තාත්තයි අම්මයි මමයි විතරයි ඉන්නේ. මම නාවිකයෙක් විදියට රැකියාව කරනවා. රංගනය මගේ ආසාවක්. ඒ වුණත් ආර්ථික ශක්තියට මොකක් හරි වෙනත් වෘත්තියකුත් කළ යුතුයි. අම්මායි තාත්තායි විදේශයක පදිංචි වෙලා ඉඳලා දැන් ලංකාවේ ස්ථිර පදිංචියට ආවා. මම දුෂ්ට චරිත රඟපානවට තාත්තා නම් හරිම කැමැතියි. ඒ වුණත් අම්මා නම් කැමැති නැහැ.

* මේ ගමන එන්න උපකාර කළ අයත් සිහිපත් කළොත්?

ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් මහත්මයා තමයි මට ගොඩක් උදව් කළේ. මට දුෂ්ට චරිත කරන්න මඟ පෙන්නුවේත් එතුමා. සාරංග මෙන්ඩිස්, විල්සන් කරූ, පාලිත සිල්වා වැනි ප්‍රවීණයන් මගේ අඩුපාඩු පෙන්වා දී රංගනය සාර්ථක කරගන්න උපකාර කළා.

* ඉදිරි රංගන කටයුතු සැළසුම් මොනවාද?

මේ දක්වා පැමිණි ගමන ගැනත් තියෙන්නේ ලොකු සතුටක්. මේ දවස්වල එරංග සේනාරත්න මහත්මයාගේ චිත්‍රපටයට දායක වෙනවා. ඒ අතරම මම ඉගෙන ගත් සටන් ක්‍රමවලට අමතරව තවත් සටන් ක්‍රම කිහිපයක්ම හදාරන්න සූදානම් වෙනවා. මේ කාලය තුළ අඩුපාඩු හදා ගෙන සාර්ථක රංගනයක නියැළෙන්න තමයි මගේ බලාපොරොත්තුව. තවත් ටෙලි නිර්මාණ සහ චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ හැම එකකටම සාර්ථක දායකත්වයක් දෙන එක තමයි මගේ අරමුණ.