වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




මං අතින් අත ගියේ නෑ අයියේ...

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

මං අතින් අත ගියේ නෑ අයියේ...

'උඹ අතින් අත යාවි කියලා මං ඒ දවස්වල හිතුවේ නෑ'

ජිතේන්ද්‍ර පැවසුවේ තවත් මස් කෑල්ලක් කටේ ඔබාගෙන තලු මරමිනි. කලින් මස් කෑල්ල ඔහු කිහිපවරක්ම හැපුවේය. කට්ටක් අහුවෙලා වෙන්නැතියි මානවීට සිතිණ.

'දැන් කාලේ උඹට තියා පත්තිනි අම්මාටත් මේ ලෝකෙ ඉස්සරහට යන්න නම් ඔය විදියට වැඩ කරන්ඩ වේවි'

ජිතේන්ද්‍ර දැන් ඉන්නේ දොඩමළු වෙමිනි. ඔහු වීදුරුවේ ඉතුරු ටික එකවරම උගුරට හලාගෙන තවත් වීදුරුවක් පුරවයි. ජිතේන්ද්‍ර මුලින්ම පුරවන්නේ අයිස්ය. ඊළඟට සෝඩාය. මානවී ජිිතේන්ද්‍රගේ ඇසුර ප්‍රිය කළාය. ඔහු බොහෝ දේ විස්තරව සහිතව උගන්වයි'. මහා නළුවන් සමඟ කටයුතු කළ ජිතේන්ද්‍ර මෙම ටෙලි නාට්‍ය මාලාවට සමබන්ධ වීම ගැන කියන්නේ එක් කතාවකි.

'මගේ ණය ටික ගෙවලා දරුවන්ටයි, ගෑණිටයි කන්ඩ දෙන්න ක්‍රමයක් තියේනං මං මේක අත ඇරලා යනවා බං'

හැම මිනිසකුම හැම ප්‍රශ්නයක් සඳහාම තමන්ට ගැළපෙන උත්තර සොයා ගනිති. ඒ උත්තර තම තමන්ට සාපේක්ෂව සාධාරණය. මානවී එසේ සිතුවාය. තමාට ද එසේමය. වීරප්පෙරුමගේ ඇසුර ඇය ප්‍රිය කළාය. තවදුරටත් සුජිත් සමඟ මිත්‍රත්වයක් නොවීය. එක දිගට ටෙලි කටයුතු කළත් නන්නාඳුනන ලෙස ජීවත් වන්නට මානවී සමත් වූවාය. වීරප්පෙරුම ඇය ඉංග්‍රීසි ඉගෙන ගන්නට යැව්වාය. අලුත් මෝටර් රථයක් ගෙන දුන්නාය. වුවමනා වූ විට ඔහු මානවී නිවසට කැඳවන්නීය. ජනිත් ප්‍රනාන්දු හඳුනා ගත්තේ දර්ශන තලයේදී නිරන්ජන් හරහාය. ජනිත් ඇමතිවරයකුගේ පුතෙකි. ජනිත් මුලින්ම ඇය දැක්කේ මුල් වරට දර්ශන තලයට පැමිණි දවසේය. එදා පැමිණි සෙව්වන්දි සමඟ මානවී මුල්ම ටෙලි නාට්‍යයේ රඟපෑවාය. අද ඇය ගැන අසන්නට නැත. ඔවුන්ගේ ජීවිත පිළිබඳ මානවී බලා සිටියේ පිළිකුලෙනි. භීතියෙනි. ජනිත්ට මානවී හීලෑ වුවා ද මානවීට ඔහු හීලෑ වූවා ද දන්නේ නැත. ඈ මුල් වරට රාත්‍රී සමාජ ශාලාවකට ගියේ ඔහු සමඟය. කන් අඩි පලන සද්දයෙන් රෑ දොළොස් පැය ගෙවන තුරු ඔවුහු නැටූහ. උදෑසන පහන් වන යාමයේ ඈ ඇස් විවර කර බැලුවාය. ජනිත් තද නින්දේය. ඉක්මනින් ජනිත් වෙතින් වෙන් වන්නට ඈ තීරණය කළේ පසුදා පාන්දරය. මානවී උදේ නැගිට ඇඳ පැළඳ ගත්තාය. ඇය අත් බෑගය අතට ගත් හඬින් නිදි යහනේ සිටි ජනිත් අමාරුවෙන් ඇස් ඇර බැලුවාය.

'කොහෙද යන්නේ'

'ගෙදර'

ඔහු අනිත් පස හැරී නිදා ගත්තේය. තවත් පැයකටවත් ඔහු අවදි නොවෙයි. රාත්‍රියේ ගෙවුණු සංගීතය තවම දෙසවන දෝංකාර දෙයි. පෙරදා විසි කළ පාවහන් යුගල දෙතැනකය. ඇය එය පයලාගෙන මහල් නිවාසයෙන් එළියට බැස්සේ දුරකතනය මඟින් ටැක්සියක් කැඳවමිනි. කාමරයට එහා සාලයේ ජනිත්ගේ ආරක්ෂකයකුට ඈ යන බව අතින් පැවසුවාය. ඇය පහත මාලයට එන විටත් ටැක්සිය පැමිණ තිබිණ. ඇය පසුපස අසුනට නැංගාය. රියේ දොර විවර කර දුන්නේ ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරියාය. ඔහු අවුරුදු දහ අටක් පමණ ඇති දුර පළාතකින් පැමිණියෙකු බව කතාබහෙන් පෙනිණ. ඇය ආපසු හැරී තැන්ක් යූ මල්ලී යැයි පැවසුවාය. ඔහුගේ මුහුණෙහි දහසක් මල් පිපෙනු ඇය දුටුවාය. මානවී නම් ජනප්‍රිය නිළිය ඔහුට කතා කළ වග ඔහු ගමට ද ගොස් කියනු ඇත. රථයට නැඟ ගත් පසු ද ඈ සිනහවකින් සංග්‍රහ කොට අව් කන්නාඩිය පැළඳ ගත්තාය.

ගමකින් ඉරණම සොයා කොළඹ පැමිණෙන කෙනෙකු හමුවේ විකල්ප හතරකි. එකක් මේ ගෙන්දගම් පොළව මොන දහම් ගැටයකින් හෝ ජය ගත යුතුය. නැතිනම් එහි එදා වේල දිවිය ගෙවිය යුතුය. බැරි නම් ආපසු යා යුතුය. සියල්ලට එකඟ නැත්නම් මරණය බාර ගත යුතුය. වීරප්පෙරුම ඇයට පැවසුවාය.

ඈ නිවසට ගොස් දොර විවර කළාය. ඇය තැති ගත්තේ නිර්මලා ගෙයි සාලයේ නිදා සිටි හෙයිනි. ඇය අද රැකියාවට ගොස් නැත. මානවී හීන්සීරුවේ දොර වැසූ සැනින් නිර්මලා ගැස්සී ඇහැරුණාය.

දියණිය කිසිත් නොකියා කාමරයට ගියාය. නිර්මලා ද පසුපස ආවාය.

'අම්මා වැඩට ගියේ නැද්ද?'

'නෑ. ඊයේ ඔයා කොහේද ගියේ?'

'ඇයි මං කිව්වෙ යාළුවෙක්ගේ පාටියක් කියලා'

මානවී පැවසුවේ අත් ඔරලෝසුව ගලවමිනි.

'ෆෝන් එකත් ඕෆ් කරලා. මං හිටියේ පපුව පිච්චිලා. කොහේ ගියා ද මොනවා උණාද මුකුත් දන්නේ නෑ. මං නරක හීන වගයක් දැක්කා'

'ආ ඒක ද මේ?'

අම්මා වැඩට ගොස් සිටියා නම් නිවසට වී නිදා ගන්නට ඉඩ තිබිණි.

'නැහැ, ඊයේ සුජිත් මෙහේ ආවා රෑ දොළහට විතර'

මානවී විස්තර අහන්නට උනන්දු නොවන බව පළ කළාය. ඒ වෙනුවට ඇය කැඩපතින් මුහුණ පිරික්සුවාය. පෙරදා රෑ නිදි වැරීමෙන් හා මත්පැනින් ඇයගේ මුහුණ වෙනස්ව ඇත්තේය. හෙට උදේම ෆේෂල් එකක් කිරිමට දැන්ම වෙලාව වෙන් කර ගත යුතුය.

මානවී තම කතාව කෙරෙහි උනන්දුවක් නොදක්වන වග නිර්මලා තේරුම් ගත්තාය. ඈ කාමරයෙන් නික්ම යන්නට සැරසිණ.

'සුජිත් හොඳටම බීලා. මෙනවාදෝ දෙඩෙව්වා. මහා කරුමයක් වගේ. මං බයේ හිටියේ හතර වටේ මිනිසුන්ට ඇහෙයි කියලා. ඔයාව හම්බ උණේ නැතිලු'

මානවී කිසිත් නොකීවාය.

'ඇත්තටම සුජිත් හම්බ උණේ නැද්ද?'

වැල්වටාරම්වලින් තොරව එවර නිර්මලා මානවීගෙන් කෙළින්ම විමසුවාය.

'මං මොකටද හම්බ වෙන්නේ? දැන් මට එයාව හම්බ වෙන්න කිසි වුවමනාවක් නෑ'

දියණිය ඉතා පහසුවෙන් ප්‍රශ්නයක් විසඳන්නට උත්සාහ කරන්නීය. වසර විසි ගණනකට පෙර තමා ආදරය සම්බන්ධ ගැටළුවකදී හිතට වහල් වූවාය. මානවීගේ ප්‍රශ්නය හමුවේ නිර්මලා උත්තර නොදුන්නාය. අම්මාගේ මුහුණ නොබලා දියණිය නාන කාමරයට වැදුණාය. ඇයගේ උදය ආහාර පිළියෙල කර දී කතාබහ ඇරඹිය යුතු යැයි නිර්මලා කල්පනා කළාය.

අත්තාත් අත්තම්මාත් ජීවත් වන මහ ගෙදර අලුත්වැඩියා කළ යුතුව ඇත. මානවී මහ ගෙදර අලුත්වැඩියාවට සූදානම් වූවාය. අත්තා බාස් කෙනකු කැඳවා ගත්තේය. පැරණිි ගේ පරණ තාලයටම හදන්න ඕනෑ'

මානවී සිතා ගත්තාය.

'ටෙලි නාට්‍යයක් හදන්න මං සල්ලි දෙන්නම්. නැත්නම් ඉන්කම් ටැක්ස් කාරයොත් පස්සෙන් පන්නාවි'

වීරප්පෙරුම පැවසුවේය. ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපෑ සැනින් ආදායම් විස්තර සොයා බලති. ලියුම් එවති.

'දරුවෝ හොඳට ඉගෙන ගන්න ඕනෑ'

වීරප්පෙරුම මානවීට පැවසුවේ ඇය තුරුළු කර ගනිමිනි. මානවී ඔහුගේ පපුවේ සුදු පැහැති රෝම කූප පිරිමැද්දාය. දැන් ඔහු ඈ සමඟ කතා කරනුුයේ ඉංග්‍රීසියෙනි. ඒ ඇයගේ ඉංග්‍රීසි දැනුම දියුණු වන්නටය. අලුත් ටෙලි නාට්‍යයක් ගැන මානවීට උනන්දුවක් ඇති විය. ඈ ජිතේන්ද්‍ර හමුවූයේ ඒ අතරතුරය.

'මං අතින් අත ගියේ නෑ අයියේ. මගේ අතින් අත කට්ටිය යනවා මිස'

ජිතේන්ද්‍ර මානවී ඉදිරියේ හිස සැලුවේය.

'මොනවා උණත් උඹ හරි එඩිතරයි. උඹේ වෙනස තියෙන්නේ එතන'

ඔහු යළිත් උගුරක් කටේ හලා ගත්තේය.

'උඹ මීනා කුමාරි ගැන දන්නවාද?'

'හම්බ වෙලා නෑ, මට හරි ආසයි එයත් එකක් ඇට් කරන්න'

ජිතේන්ද්‍රට හිස්මොල්ලේ ගියේය. සිනමාවේ දක්ෂ නළුවකු වූ ඔහු ඒ මොහොතේ රඟපෑවාදැයි මානවීට සිතුණි.

'මං කියන්නේ අපේ රටේ මීනා කුමාරි ගැන නෙවේ. ඉන්දියාවේ හිටපු එක්කෙනා ගැන. මේ කෙල්ලෙ උඹ ඔය වගේ කතා කියනවා නම් රඟපෑම නවත්තලා ඡන්දෙ ඉල්ලපං. උඹට ඡන්ද නම් හම්බ වෙයි'

'අනේ ජිතේන්ද්‍ර අයියේ, මං ඇත්තටම දන්නේ නෑ'

'එයා ඉන්දියවේ හිටපු ජනප්‍රිය දක්ෂ නිළියක්. හැබැයි බෙහොම ශොකාන්තයක්. ගෑනිගේ ඔටෝබයෝග්‍රැෆි එකේ තියෙනවා කිසිම නිළියකගෙන් පතිවත බලාපොරොත්තු වෙන්න එපා කියලා'

'නිළියන්ගේ පතිවත ගැන අහන්නේ, ඒ පතිවත කඩන්නේ පිරිමි කියලා කව්රුවත් ලියලා නැද්ද? හැම ගෑනියක්ම වරදේ පටලවන්නේ පිරිමි කියලා ලියලා නැද්ද?'

ජිතේන්ද්‍ර අසුන් ගත්තේ කෙළින් සිට ගත නොහැකි වග පෙනුණ හෙයිනි.

'මං උඹත් එක්ක වාද කරන්නේ නැහැ. හරි දැන් මාව හම්බ වෙන්න ඕන වෙලා තිබුණේ උඹට හොඳ ටෙලි නාට්‍යයක් කරන්න. උඹ ගාව සල්ලි තියනවාද?'

'මට සල්ලි හොයා ගත්තෑකි'

'එහෙනම් මට ඉස්සෙල්ලාම ඇඩ්වාන්ස් එකක් දියං. ඕන මල දානෙක මං ඇවිත් ඇට් කරන්නං'

ජිතේන්ද්‍ර සීමාව ඉක්මවා ගොසිනි. ඊළඟට තව ටිකකින් මේ මහා නළුවා අඬන්නට පටන් ගනී. දුක්ඛ දෝමනස්සයන් කියාපායි. කාට කාටත් දොස් පවරයි. නිතර පුරුදු එය යළි අසා සිටිින්නට මානවී අකැමැතිය. හැමදාම එකම දේ අසන්නට පුළුවන්ද?

'මානවී මට එකක් කියපං. උඹ කොහෙන් හරි දිනන අශ්වයකුට අත දාලා තියෙනවා. ඒ විතරක් නෙවේ. උඹ පිටිපස්සේ කවුරු හරි හෙන එකෙක් ඉන්නවා. ඌ උඹේ වටිනාකම දන්නවා'

බෝතලය හිස්ය. තේ කෝප්පයේ මන්ඩිය හිස් නොකරන මිනිසුන් බෝතලයේ අන්තිම බිංදුව ද තොල ගාන්නට උත්සාහ කරති. ජිතේන්ද්‍ර අන්තිම වරටත් උත්සාහ කර බැලුවේය. බලාපොරොත්තු කඩ වූ ඔහු බෝතලය මහ හඬින් මේසය මත තැබුවේය. අනතුරුව ඇඳ සිටි' ටීෂර්ට් එකෙන්ම මුහුණේ දාඩිය පිස දැම්මේය.

'හැබැයි ඒ සුජියාවත් නිරංජන්කාරයවත් නෙවේ. වෙන කවුරු හරි එකෙක්. අපිටත් කියහංකෝ කවුද කියලා?'