වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

පියෙකුගේ සෙනෙහස කෘතියකින්

ඉම්රාන් හෂ්මිගේ පුතු අයාන් හෂ්මි සිව් හැවිරිදි වියේදී පිළිකා රෝගයකින් පීඩා වින්ඳා. පසුගිය වසරේදී පුංචි අයාන් පිළිකා මාරයා පරදා ජීවිතය ජයගත්තේ තමන්ගේ අම්මගෙයි තාත්තාගෙයි කඳුළු මැදින්. ඉතිං ඉම්රාන් ඒ කතාව Kiss of Life නමින් කෘතියකට රචනා කළා.

Kiss of Life කෘතියෙන් ඉම්රාන් කියන්නේ පුංචි පුතා තමාගේ ජීවිතයට පාඩම් රැසක් කියා දුන් බවයි. එහි පිළිකා රෝගය හමුවේ තමන් හා පවුලේ සාමාජිකයන්ගේ මානසික තත්ත්වය හා එයට මුහුණ දුන් සංවේදී කතා පුවත දැක්වෙනවා. පසුගිය සතියේ Kiss of Life කෘතිය එළිදැක්වුණේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉදිරියේදී එය හින්දි භාෂාවෙන් සහ මරාති භාෂාවෙන් නිකුත් වෙන්න නියමිතයි.

මෙම කෘතිය ඇසුරෙන් වාර්තා චිත්‍රපටයක් කරන්නත් ඉම්රාන් බලාපොරොත්තු වෙනවා. බොහෝවිට එය නිෂ්පාදනය කරන්නෙත් ඉම්රාන් විසින්මයි.


බොලිවුඩයට සිනහව කැන්දූ රසාක්ගේ සමුගැන්ම

බොලිවුඩ් රිදී තිරය සිනහවෙන් ආලෝකවත් කළ රසාක් ඛාන් පසුගියදා ජීවන රඟම¾ඩලෙන් සමු ගත්තා. බන්ද්‍රාහි හෝලි ෆැමිලි රෝහලේදී ඔහු ජීවිතයෙන් සමුගත්තේ හෘදයාබාධයක් නිසා.

රසාක් ඛාන් චිත්‍රපට අනූවකට වඩා වැඩි සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දී තියෙනවා. ‘බැඩ්ෂා’, ‘හෙලෝ බ්‍රදර්’, ‘හේරා පේර්’, ‘හසීනා මාම් ජායෙගි’, ‘ප්‍රේම් කා ගේම්’, ‘රාජා හින්දුස්ථානි’ ඒ අතරින් කිහිපයක්.

1993 වසරේදී ‘රූප් කි රාණි චොරොන් කා රාජා’ චිත්‍රපටයෙන් ඔහු සිය රංගනය ආරම්භ කළේ අනිල් කපූර් සහ ශ්‍රී දේවි සමඟින්. එදා මෙදා තුර ඉහළ ජනප්‍රියත්වයක් ලද තරු ගණනාවක් සමඟින් තම හාස්‍ය රංගනය ඉදිරිපත් කළ ඔහුගේ අවසන් රංඟනය දැක්වුණේ පසුගිය ජනවාරි මාසයේදී තිරගතවීම ආරම්භ කළ ‘ක්‍යා කූල් හේන් හම් 3’ චිත්‍රපටයෙන්.


රිතේෂ් - ජෙනීලියාට නැවතත් මව් - පිය පදවි

රිතේෂ් දේශ්මුක් සහ ජෙනීලියා ඩිසූසා බොලිවුඩයේ බොහොම ආදරණීය යුවළක්. පුතෙකුගේ මව්පියන් වූ මේ දෙන්නා පසුගියදා ආයෙමත් සැරයක් මව් පිය පදවි ලැබුවා. ඒ තවත් පුතෙකු ගෙන්.

අලුත උපන් බිළිඳා සහ ජෙනිලියා සනීපයෙන් සිටින බව බොලිවුඩයෙන් ආරංචි වෙනවා. ලොකු පුතා රියාන්ට දැන් අවුරුද්දක්. ජෙනීලියා සහ රිතේෂ්ගේ හමුවීම සිදු වුණේ ‘තුජේ මේරි කසම්’ චිත්‍රපටය රූගත කිරීම සමඟින්. ඒ 2003 වසරේදීයි. රිතේෂ් - ජෙනීලියා වසරේ විවාහ දිවියට පා තැබුවේ 2012 වසරේදීයි.


මාධවන්ගේ අපූරු උපන්දිනය

ආර් මාධවන් පසුගියදා සිය 46 වැනි උපන්දිනය සැමරුවේ ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් සමඟින්. ඔහුගේ මිතුරන් ඔහු වෙනුවෙන් පූනේහිදි විශේෂ සාදයක් සංවිධානය කර තිබුණේ ගොල්ෆ් ක්‍රීඩාව ද සමඟින්.

“තවත් අවුරුද්දකින් වයසට ගියත් මම හරිම වාසනාවන්තයි” මාධවන් මෙහෙම කියන්නේ බොහොම ආදරණීය පවුලක් සහ හොඳම මිතුරන් රැසක් තමන් සමඟින් සිටින නිසා. ඔවුන් සමඟින් රසවත් කෑම, කැමතිම ක්‍රීඩාවේ යෙදෙමින් උපන්දිනය සමරන්න ලැබීම ගැන තමන්ගේ සතුට කියා නිම කරන්න බැහැ කියලා මාධවන් පවසනවා.

ඔහු රඟ පෑ ‘රන්ග් දේ බසන්ති’, ‘3 ඉඩියට්ස්’, ‘තනූ වෙඩ්ස් මනූ රිටන්ස්’ වැනි බොලිවුඩ් චිත්‍රපට ගොඩක් ජනප්‍රිය වුණා. ඔහුගේ දායකත්වයෙන් මෑතකදී තිරගත වූ ‘සාලා ඛදූස්’ චිත්‍රපටයත් කා අතරක් කතාබහට ලක් වුණේ අලුත් තරුව රිතිකා සිං ද සමඟින්.


රාණි දැන් ප්‍රංශයේ

ආදිත්‍ය චොප්රා සමඟ විවාහවීමත් සමඟ රාණි මුඛර්ජි ටික කාලයකට සිනමාවෙන් දුරස් වුණා. දැන් පුංචි දියණිය ආදිරා නිසා රාණි ගොඩක් කාර්යබහුල වෙලා. මේ දවස්වල නම් මේ අම්මයි දුවයි දෙන්නම ඉන්නේ ප්‍රංශයේ පැරිස් නුවර. ඒ ආදිත්‍ය ඔහුගේ අලුත්ම චිත්‍රපටය ‘බෙෆික්රේ’ රූගත කරන්නේ ප්‍රංශයේ නිසා.

මේ චිත්‍රපටයේ රාණි වගේම පුංචි ආදිරාත් ඉන්නවා කියලා ආරංචියි. හැබැයි ප්‍රධාන චරිතවලට නම් නෙවෙයි. ආරාධිත රංගනයක් වෙනුවෙනුයි. ඒ වෙනුවෙන් රාණි දියණියත් සමඟින් දර්ශන තලයට ගිය පසුව විශාල සෙනගක් ඇවිත් ඔවුන් වටකරගෙන.

ඉතිං රාණි පුංචි ආදිරාගේ තවත් ඡායාරූප අන්තර්ජාලයට එක්වෙන්න කලින් ඇයත් කැටුව ඉක්මනටම එතැනින් පිටවෙලා ගිහින්.


ජුහිගේ විරෝධය

අනූව දශකයේ ඉහළ ජනප්‍රියත්වයක් ලද නිළියක මෙන්ම මිස් ඉන්දියා ලෙසින් කිරුළු පැළඳි ජුහි චව්ලා දැන් සමාජ සේවයටත් ගොඩක් කැප වෙලා. ඒ නිසාම ඇය පසුගිය දවසක පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන් මුණ ගැහෙන්න ගියා. ඇය එහිදී දුම්කොළ විරෝධි දිනය සමරන්න අලුත් අදහසක් දුන්නා.

“තමන් විනාශ කරන පුරුද්ද විනාශ කරන දවස අද” කියලා ඇය බොහොම අර්ථවත් දේශනයකුත් කරලා. ඒ විතරක් නෙවෙයි පිළිකා රෝගයෙන් පීඩා විඳින කුඩා දරුවන්, තරුණ තරුණියන් සමඟින් බොහොම සුහදශිලි ලෙසින් ගත කරන්නත් ජුහි ඒ දවස වෙන් කරලා තිබුණා.