වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




කෞශල්‍යා වාර්තාවක් තබයි - සාක් උලෙළේ හොඳම චිත්‍රපටය මසාන්

කෞශල්‍යා වාර්තාවක් තබයි - සාක් උලෙළේ හොඳම චිත්‍රපටය මසාන්

බොරදිය පොකුණ සිනමාපටයේ රංගනය වෙනුවෙන් කෞශල්‍යා ප්‍රනාන්දු හොඳම නිළිය ලෙසට සම්මානයට පාත්‍ර වෙමින් සාර්ක් සිනමා උලෙළ පසුගියදා නිමාව දුටුවේය. එම සම්මානය දිනා ගනිමින් කෞශල්‍යා වාර්තාවකට ද හිමිකම් කිවාය. ඒ එකම චිත්‍රපටයක රංගනයට දායක වෙමින් එම චිත්‍රපටයේ එම චරිතය වෙනුවෙන් දේශීය මෙන්ම විදෙස් සිනමා උලෙළකදී හොඳම නිළිය ලෙසට තෙමසක් ඇතුළත අභිෂේක ලබමිනි. මෙම වසරේ දෙරණ සිනමා සම්මාන උලෙළේ හොඳම නිළිය වුයේද කෞශල්‍යාය. සාර්ක් සිනමා උළෙලේ හොඳම වෘතාන්ත චිත්‍රපටය වූයේ මසාන්ය. ඉන්දීය සිනමා කෘතියක් වන එය නීරාජ් ගයිවාන්ගේ අධ්‍යක්ෂණයකි. එම අංශයේ රිදී සම්මානය භූතාන සිනමාපටයක් වන කයින්ට්ස් නොර්බු අධ්‍යක්ෂණය කළ ට්‍රැවල්ස් ඇන්ඩ් මැජිෂීයන් ද ලෝකඩ සම්මානය ඉන්දීය සිනමා කෘතියක් වන මීටි ජානි, ප්‍රතික් ගුප්තා සහ විවේක් ෂෞධුරි අධ්‍යක්ෂණය කළ ගුන්ගා පෙහෙල්වාන් දිනාගන්නා ලදී. මේ එහි සෙසු ප්‍රතිඵල සටහනයි.

හොඳම නළුවා - රජාබ් ගෲස්සයිනොව් - චිත්‍රපටය ඇපල් ෆ්‍රොම් පැරඩයිස් (ඇෆ්ගනිස්ථානය)

හොඳම නිළිය - කෞශල්‍යා ප්‍රනාන්දු - චිත්‍රපටය බොරදිය පොකුණ

හොඳම අධ්‍යක්ෂ - මසාන් සිනමාපටය අධ්‍යක්ෂණය කළ නීරාජ් ගයිවන්

හොඳම කෙටි චිත්‍රපටය - ඇපල් - ශ්‍රී ලංකාව - අධ්‍යක්ෂණය - චමිල ප්‍රියංක

හොඳම චිත්‍රපටය - විවෘත අංශය - ඇපල් ෆ්‍රොමි පැරඩයිස් - ඇෆ්ගනිස්ථානය - අධ්‍යක්ෂණය ඔමායුත් මොරා්වට්.

හොඳම සංගීත අධ්‍යක්ෂණය - චර්කුට් බඋත්ඩ් - බංගලා දේශය - ජලාල්ස් ස්ටෝරි

හොඳම සංස්කරණය -

තිස්ස සුරේන්ද්‍ර - ශ්‍රී ලංකාව - බොරදිය පොකුණ

හොඳම තිර රචනය - ඉන්දික ෆර්ඩිනැන්ඩු - ශ්‍රී ලංකාව - හෝ ගාන පොකුණ

හොඳම කැමරාකරණය - බර්කට් හසයින් - බංගලි දේශය - ජලාල්ස් ස්ටෝරි

හොඳම ජූරියේ විශේෂ සම්මානය - බෙන්ගාල්ස් නිව් සිනමා - අධ්‍යක්ෂණය වෙනුවෙන් ඉරාමි ගෆ්‍රන් - ඉන්දියාව

ජූරියේ සහතික සම්මාන - එරන්ද මහගම, සජානි ශානිකා, දූලාංජලී බාලගේ - ලිවිං විතවුට් ලයිෆ්


අපේ සුබ පැතුම්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසට ආචාර්ය රංග කලංසූරිය පත් විය. ලේක්හවුසියෙන් මාධ්‍ය ජීවිතය අරඹා තම වෘත්තීය ජිවිතයෙන් ඉදිරියටම ගිය ඔහු ලද මෙම අභිනව තනතුර වෙනුවෙන් සරසවිය අප සුබපැතුම් පිරිනමමු. එමෙන්ම රජයේ චිත්‍රපට අංශයට නව පණක් ලබාදීමට ඔහුට හැකිවේවා යනු අපේ පැතුමයි.


 

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ චිත්‍රපටයෙන් රවි ලියනගේ නිෂ්පාදනයට

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය නිෂ්පාදනය සඳහා රයිගම් ව්‍යාපාර අධිපති ආචාර්ය රවී ලියනගේ දායක වනු ඇත.

මේ වන විට මූලික වැඩ කටයුතු ආරම්භ කොට ඇති මෙම සිනමාපටය මහාචාර්යවරයකු සහ ආචාර්යවරයකු එක්ව නිර්මාණය කරන බැවින් එය අපූරු නිර්මාණයක් වනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 21 වැනි සිනමාපටය වන මෙය ශ්‍රී ලංකාවේ මෙන්ම තායිලන්තයේද රූගත කිරීමට නියමිතය.


 

අද සිට දිවයින පුරා ‘හොරා පොලිස්’

සුරංග අල්විස් අධ්‍යක්ෂණය කළ 'හොරා පොලිස්' සිනමාපටය අද සිට එල්. එෆ්. ඩී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීම ඇරැඹේ. මහේන්ද්‍ර පෙරේරා, ගංගු රොෂානා, ධනුෂ්කා ඉරෝෂණී, ප්‍රියන්ත සෙනෙවිරත්න, මාක් සැම්සන්, ජීවාන් සප්තරංග, සමන්ති ලැනරෝල්, ඩී. බී. ගංගොඩතැන්න, දෙනුවන් සේනාධි, අර්ඩ්ලි වෙදමුණි, ආරියසේන ගමගේ, සමන් පද්මකුමාර, දයා පෙරේරා, සමන්ත රංග මායදුන්න, සුමිත් මුදන්නායක, සුමිත් ගෝමස්, රජත එදිරිසිංහ, උපේක්ෂ ඉන්ද්‍රජිත්, ඔෂාන්ත රාජපක්ෂ මෙහි චරිත මවති.

හොරා පොලිස් හි සංගීත අධ්‍යක්ෂණය සරත් ද අල්විස්ගෙනි. සංගීතා චිත්‍රපට ඉදිරිපත් කිරීමක් වන මෙහි කතාව, දෙබස්, තිර රචනය සුරංග ද අල්විස් විසින් නිම කොට ඇත.


ආදරණීය කතාවක් හෙට තිරයට

පි‍්‍රයන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය ආදරණීය කතාවක් එළඹෙන ජුනි මස 10 වැනිදා එනම් හෙට සිට සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීමට නියමිතය. මෙහි ඇති විශේෂත්වය වනුයේ තෝරා ගත් සිනමා ශාලා කිහිපයක දමිළ උපසිරැසි සහිතව චිත්‍රපට තීරගත වීමයි.

හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසුරිය, බිමල් ජයකොඩි සමඟ අරුණි රාජපක්ෂ ප්‍රධාන චරිතය මවන මෙහි සෙසු චරිතයන් මොරීන් වාරුනි, වෙලේගෙදර රණසිංහ, අංජලී ලියනගේ සුරංග රණවක ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි. නැසීගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ පුතු චමින්ද ගමගේ සහ පි‍්‍රයන්ත කොළඹගේ නිෂ්පාදනය කරනු ලැබූ ආදරණීය කතාවක් හි කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තාගෙනි. මංජුල අයගම කලා අධ්‍යක්ෂණයකි, නලීන් පේ‍්‍රමතිලකගේ අංග රචනයකි. උදාර සමරවීර සංගීත අධ්‍යක්ෂවරයාය. කතාව දෙබස් තිර රචනය උවනි චාමිකා, වජිර කස්තුරි සමඟ පි‍්‍රයන්ත කොළඹගේ විසිනි. අමල් පෙරේරා, කසුන් කල්හාර, අමිල පෙරේරා, චිත්‍රාල් සෝමපාල, උරේෂා රවිහාරි, කුෂානි සඳරේඛා ගීත ගැයුමෙන් එක් විය. ආදරණීය කතාවක් පි‍්‍රයන්ත කොළඹගේ ගේ සිව්වැනි සිනමා පටය වේ. ඔහු මීට ප්‍රථම දැහැන, විමුක්ති, අරුමෝසම් වැනි චිත්‍රපට නිර්මාණය කරන ලදී.


සරත් කුලාංගගෙන් සංවිධායකයන්ට උපහාර

වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු මෙන්ම නළුවකු සහ සංගීත අධ්‍යක්ෂවරයකු වූ සරත් කුලාංගගේ වේදිකා නාට්‍ය නිර්මාණය දෙයියොත් දන්නෙ නෑ දෙසිය වැනි දර්ශනය නිමිති කර ගනිමින් අප මෙතෙක් නොඇසූ විරල කටයුත්තක් සිදු කළේය. ඒ නාට්‍ය සංවිධායකවරු පස් දෙනෙකුට උපහාර පිදීමය. ජූඩ් ශ්‍රීමාල්, ප්‍රියන්ත රන්ජන්, සුසිල් වික්‍රමසිංහ, එඩ්වඩ් චන්ද්‍රසිරි සහ මංගල ප්‍රනාන්දු සරත් අතින් උපහාර තිළිණ ලැබූ සංවිධායකවරු පස් දෙනා වේ.


ශාන්ති දිසානායකගේ ‘ධරණි’ නිරෝෂන් අතින් පුංචි තිරයට

නිරෝෂන් ඉලේපෙරුම යළිත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිස සිටියි. 'සිහින අරන් එන්න' නාට්‍යයෙන් පසු ඔහු මෙලෙස අධ්‍යක්ෂණය කිරීමට සුදානම්ව සිටින ටෙලි සිතුවම නම් කොට ඇත්තේ ධරණි ලෙසටය. සම්මානනීය ලේඛිකා ශාන්ති දිසානායකගේ නවකතාවක් ඇසුරෙන් සරත් ධර්මසිරි එහි තිර රචනය සකස් කොට තිබේ. ධරණි වසන්ත විජේන්ද්‍රගේ නිෂ්පාදනයක් වන අතර අමරසේන වඩුගේ විධායක නිෂ්පාදනයෙන් එකතු වේ. ධරණි හරහා ආධුනික නළු නිළියක් කිහිප දෙනෙකු පුංචි තිරයට හඳුන්වාදීමට නිරෝෂන් අපේක්ෂා කරයි. ඒ වෙනුවෙන් මූලික සම්මුඛ පරික්ෂණයයක් මෙම මස 16 වැනි බ්‍රහස්පතින්දා සුදර්ශි ශාලාවේදී පැවත්වීමට නියමිතය.