වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ සිනමාවට නැඟුණු චිත්‍රකතා මොනවාද?

අපේ සිනමාවට නැඟුණු චිත්‍රකතා මොනවාද?

කතා වැඩි ගණනක් ඇන්දේ දයා රාජපක්ෂ

දැන් ලෝක සිනමා ක්ෂේත්‍රයේ චිත්‍රකතා ඇසුරෙන් චිත්‍රපට බිහිවෙනවා සේම අතිශය ජනප්‍රිය චිත්‍රකතා චරිත එක්කොට චිත්‍රපටද නිර්මාණය කිරීමද සුලබය. සුපර් මෑන්, බැට් මෑන් ඇතුළු මාවෙල් චිත්‍රකතා චරිත රැසක් වර්තමානයේ හොලිවුඩ් රිදී තිරයේ ජිවමාන වී ඇත.

මේ ගැන උනන්දුවෙන් සොයා බලන විට අපේ රටේද කාලයක් එවැනිම වූ රැල්ලක් පැවැති බවත් දැන ගන්න ලැබුණා. එනම් ජනප්‍රිය චිත්‍රකතා ඇසුරෙන් චිත්‍රපට නිර්මාණය කිරීමයි. එසේම සිංහල සිනමාවට සිනමා නිර්මාණ ගෙන එන්න මුල් වූ චිත්‍රකතා බොහොමයක් රචනා කළේ සුප්‍රකට චිත්‍රකතා ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත දයා රාජපක්ෂවීමත් විශේෂයි. ඒ වගේම අද පරපුරේ නම් දැරූ සිනමාකරුවන් අතර සිටින උදයකාන්ත වර්ණසූරිය, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි චිත්‍රකතා ශිල්පීන් වීම විශේෂයි.

සිංහල සිනමාවේ චිත්‍රකතාවක් ඇසුරෙන් බිහි වූ මුල්ම චිත්‍රපටය වන්නේ සරත්චන්ද්‍ර හේරත් විසින් අධ්‍යක්ෂණය කර 1976 වසරේදී තිරගත කළ ‘වානරයෝ’ චිත්‍රපටය යි. වානරයෝ චිත්‍රපටයට මුල් වූ වානරයෝ චිත්‍රකතාව පළ වුණේ සිළුමිණ පුවත්පතේ. එය ප්‍රවීණ චිත්‍ර ශිල්පී දයා රාජපක්ෂගේ චිත්‍රකතාවකි. ‘වානරයෝ’ තිරගත වී ලබන 18 වැනිදාට වසර හතලිහක් සපිරේ. ඊට පෙර ටී. බී ඉලංගරත්නගේ නයනා නවකතාව ඇසුරෙන් නිර්මාණය කළ ‘නයනා’ චිත්‍රපටය තිරගත වෙන්නට පෙර එම කතාව බන්දුල හරිශ්චන්ද්‍ර චිත්‍රකතාවක් ලෙසින් සිළුමිණ පුවත්පතට නිර්මාණය කළා.

1976 වසරේ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වූ ‘හුලවාලි’ නිර්මාණය වූයේත් චිත්‍රකතාවක් ඇසුරෙන්. එය සරසවිය පුවත්පතට දයා රාජපක්ෂ විසින් රචනා කරන ලද චිත්‍රකතාවක් පාදක වුණා. ඩබ්ලිව්. ඒ. බී සිල්වා අධ්‍යක්ෂණය කළ ‘හුලවාලි’ චිත්‍රපටය ටෙහෙරාන් සිනමා උලෙළේ ශ්‍රී ලංකා නියෝජනය වූ අතර සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා පණ පෙවූ ධාරාගේ චරිතය විශිෂ්ට චරිත නිරූපණයක් වුණා.

1979 වසරේදී තිරගත වූ සුගන්ධි චිත්‍රපටය නිර්මාණය වුණේ සතුට පත්තරයට ජනක රත්නායක රචනා කළ කබලෙන් ලිපට චිත්‍රකතාව ඇසුරෙන්. ලේක්හවුස් ප්‍රකාශනයක් වූ සතුට පත්තරය මෙරට ප්‍රථම චිත්‍රකතා පත්තරයද වෙනවා. ‘අනූපමා’ චිත්‍රපටය මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කරන ලද මුල්ම චිත්‍රපටය යි. එයද දයා රාජපක්ෂගේ කතාවකි. සිළුමිණ පුවත්පතේ පළවූ අනූපමා චිත්‍රකතාවද ඉතා ජනප්‍රිය චිත්‍රකතාවක් විය. 1980 වසරේදී අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටයක් වන ‘රක්තා’හි කතාවත් දයා රාජපක්ෂ විසින් ඇඳි රක්තා චිත්‍රකතාව පාදක කරගෙන නිර්මාණය වූවක්. ‘රක්තා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ගාමිණි හේවාවිතාරණ.

දයා රාජපක්ෂගේ තවලම චිත්‍රකතාව පාදක කරගෙන 1981 වසරේදී ‘තවලම’ චිත්‍රපටය නිර්මාණය කෙරුණා. එය අධ්‍යක්ෂණය කළේ ලාල් පෙරේරා විසින්. 1981 වසරේ තිරගත වූ හේමසිරි සෙල්ලප්පෙරුම අධ්‍යක්ෂණය කළ ‘සත්වෙනි දවස’ චිත්‍රපටයට පාදක වූ චිත්‍රකතාව රචනා කළේ ප්‍රවීණ කතුවර සෝමවීර සේනානායක විසින්. එය සිතුවම් කළේ බන්දුල හරිශ්චන්ද්‍ර. එය සිළුම්ණ පුවත්පතෙන් උපුටා ගත්තක්. 1981 වසරේදී තිරගත වූ ‘සිටු කුමරියෝ’ චිත්‍රපටයට පාදක වුණේ සරත් කවිරත්න විසින් ඇඳි හිතට වහල් වීමි චිත්‍රකතාවයි. ප්‍රවීණ රංගන ශිල්පී, චිත්‍රපට අධ්‍යක්ෂ සනත් ගුණතිලකගේ සිනමා ගමනය ද සිදු වූයේද විජය ධර්ම ශ්‍රී විසින් අධ්‍යක්ෂණය කළ ‘සිටු කුමරියෝ’ චිත්‍රපටයෙනි. හිතට වහල්වීමි සිත්සර පුවත්පතේ පළ වූ චිත්‍රකතාවකි.

1981 වසරේ තිරගත කළ ගාමිණී ෆොන්සේකාගේ අධ්‍යක්ෂණයක් වූ ‘බාඳුරා මල්’ චිත්‍රපටයට පාදක වූයේ දයා රාජපක්ෂ විසින් සරසවිය පුවත්පතට රචනා කළ බාඳුරා මල් චිත්‍ර කතාවයි. සරසවිය පුවත්පතේ පළ වූ ජනක රත්නායක රචනා කළ සාරංගා චිත්‍රකතාව පාදක කරගෙන ගාමිණි හේවාවිතාරණ විසින් ‘සාරංගා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. 1982 වසරේදී තිරගත වූ ගාමිණි ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ ‘සක්විති සුවය’ චිත්‍රපටය නිර්මාණය වූයේ දයා රාජපක්ෂගේ සක්විති සුවය චිත්‍රකතාව ඇසුරෙණි. එය ද සිළුමිණ පුවත්පතේ පළ වූ චිත්‍රකතාවකි.

සතුට චිත්‍රකතා පත්තරයට සෝමවීර සේනානායක විසින් රචනා කළ තනි තරුව චිත්‍රකතාව සිතුවම් කළේ බන්දුල හරිශ්චන්ද්‍ර විසින්. එය රත්නවීරද සිල්වා විසින් අධ්‍යක්ෂණ කර 1982 වසරේදී තිරගත කළා. ජීවන් කුමාරතුංග සිනමාවට පිවිසියේද ඒ සමඟින්. සිරි කුලරත්න අධ්‍යක්ෂණය කර 1982 වසරේදී තිරගත වූ ‘පෙති ගෝමර’ චිත්‍රපටයට පාදක වූයේ සෝමවීර සේනානායකගේ කතාවට අනුව බන්දුල හරිශ්චන්ද්‍ර විසින් සිතුවම් කර සිළුමිණ පුත්පතේ පළ වූ පෙති ගෝමර චිත්‍රකතාවයි.

1983 වසරේදී තිරගත වූ ‘යළි පිපුණ මලක්’ චිත්‍රපටය නිර්මාණය වූයේ ජනක රත්නායක විසින් සිතුවම් කරන ලද යළි පිපුණ මලක් චිත්‍රකතාව ඇසුරෙණි. 1983 වසරේ තිරගත වූ සිරි කුලරත්න විසින් අධ්‍යක්ෂණය කළ ‘නිළියකට පෙම් කළෙමි’ චිත්‍රපටය නිර්මාණය වූයේ දයා රාජපක්ෂගේ චිත්‍රකතාවක් ඇසුරෙන්. 1883 වසරේ තිරගත වූ ‘සුබෝධා’ චිත්‍රපටයට පාදක වුණෙත් දයා රාජපක්ෂගේ සුබෝධා චිත්‍රකතාවයි. සිරි කුලරත්න විසින් එය අධ්‍යක්ෂණය කළා.

‘සෙනෙහසක කඳුළු’ චිත්‍රපටයට පාදක වූ සෙනෙහසක කඳුළු චිත්‍රකතාව සිළුමිණට රචනා කළේ සෝමවීර සේනානායක. එය සිතුවම් කළේ බන්දුල හරිශ්චන්ද්‍ර. හේමසිරි සෙල්ලප්පෙරුම විසින් අධ්‍යක්ෂණය කළ ‘සෙනෙහසක කඳුළු’ චිත්‍රපටය 1983 වසරේදී තිරගත වුණා. 1984 වසරේදී තිරගත වූ සෝමවීර බෝපිටිය විසින් අධ්‍යක්ෂණය කළ ‘නිවන් දක්නා ජාති දක්වා’ චිත්‍රපටයත් දයා රාජපක්ෂ විසින් ඇඳි චිත්‍රකතාවක් ඔස්සේ නිර්මාණය වූවක්.

ජී වික්‍රමනායක විසින් සතුට පත්තරයට රචනා කළ බට්ටි චිත්‍රකතාව 1984 වසරේදී දායනන්ද ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘බට්ටි’ චිත්‍රපටයට පාදක විය. සිරිල් වික්‍රමගේ අධ්‍යක්ෂණය කරන ලද ‘කරදිය වළල්ල’ චිත්‍රපටයට පාදක වූයේ උදයකාන්ත වර්ණසූරිය විසින් ඇඳි කරදිය වළල්ල චිත්‍රකතාවයි. එය සතුට පත්තරයේ පළ වූවක්. ‘කරදිය වළල්ල’ චිත්‍රපටය තිරගත වූයේ 1987 වසරේදීය. සතුට පත්තරයේ පළ වූ අනුර විජේවර්ධන රචනා කළ කැලෑ කෙල්ල චිත්‍රකතාව ඇසුරෙන් බර්නාඩ් රෙජිමෝල්ඩ් අධ්‍යක්ෂණය කළ ‘කැලෑ කෙල්ල’ චිත්‍රපටයද 1987 වසරේදී තිරගත විය.

1992 වසරේදී තිරගත වූ ‘අහිමි දඩමං’ චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නේ දයා රාජපක්ෂගේ අහිමි දඩමං චිත්‍රකතාව ඇසුරෙන්. ‘අහිමි දඩමං’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඩැනි ඩබ්ලිව් පතිරණ විසින්. එච්. ඩී ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කර 1993 වසරේදී තිරගත කළ ‘සප්ත කන්‍යා’ චිත්‍රපටයට පාදක වී ඇත්තේ තලංගම ජයසිංහගේ වියරු මුහුද චිත්‍රකතාවයි. ‘සප්ත කන්‍යා’ චිත්‍රපටය එකළ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගත් චිත්‍රපටයක්ද විය.

චන්ද්‍රරත්න මාපිටිගම විසින් ලියූ නෙළුම් සහ සමන්මලී චිත්‍රකතාව ඇසුරෙන් ඔහු විසින්ම ‘නෙළුම් සහ සමන්මලී’ චිත්‍රපටය නිර්මාණය කළේය. 1993 වසරේදී එය තිරගත කෙරිණි. උදයකාන්ත වර්ණසූරියගේ ප්‍රථම අධ්‍යක්ෂණය වූ ‘මහමෙර උසට’ චිත්‍රපටය නිර්මාණය කළේද ඔහු විසින්ම රචනා කර සිතුවම්කරන ලද එක මලක පෙති චිත්‍රකතාව ඇසුරෙනි. ජයන්ත දාස් පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘ළඳුනි ඔබ දෙවඟනකි’ චිත්‍රපටයට පාදක වූයේ, උදයකාන්ත වර්ණසූරියගේ සාගරය පරදා චිත්‍රකතාවයි. 2011 වසරේ තිරගත වූ ‘සුසීමා’ චිත්‍රපටය සතුට පත්තරයට ජනක රත්නායක සිතුවම් කළ චිත්‍රකතාවක් පදනම් විය. එය අධ්‍යක්ෂණය කළේ රොහාන් වැලිවිට විසින්. ඊට පෙර ඔහු විසින්ම සුසීමා පාදක කොටගෙන ටෙලි නාට්‍යයක්ද අධ්‍යක්ෂණය කළේය.