වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




සුමිගෙන් අහන්න

විනිශ්චය මණ්ඩලවලට නළු නිළියන් යෙදීම හරිද? වැරදිද?

ඉහළ තල්දූව ආනන්ද වික්‍රමආරච්චි

ප්‍රශ්නය - නෙල්සන් ගල්හේන නමින් ලේඛකයෙක් කලකට ඉහත පුවත්පත්වලට කවි ලිපි ලීවා. ඔහු දැන් කොහේද?

පිළිතුර - ඔහු බොරලැස්ගමුවේ සුමේධ නමින් පැවිදි වූ බව නම් දන්නවා. ඊට පසු විස්තරයක් දන්නේ නැහැ.

පිළියන්දල චාමර විජේසිංහ

ප්‍රශ්නය - 'ස්ති‍්‍ර' නමින් හින්දි චිත්‍රපටයක් නිෂ්පාදනය වූවාද? එහි අධ්‍යක්ෂවරයා කවුද? රඟපැවේ කවුද?

පිළිතුර - ඔව්. එය වී. ශාන්තාරාම්ගේ අධ්‍යක්ෂණයක්. ශාන්තා රාම්, සන්ධ්‍යා, රාජ්ශ්‍රී පද්මා, මොහාන් මෙහි රඟපෑවා. සංගීතවත් කළේ සී. රාමචන්ද්‍ර. එයට පාදක වුණේ කාලිදාසගේ සකුන්තලාය.

මාතලේ ධර්මා ඒකනායක

ප්‍රශ්නය - චිත්‍රපට සම්මාන උත්සව විනිශ්චය මණ්ඩලවලට නළු නිළියන් යොදා ගැනීම හරිද? වැරදිද?

පිළිතුර - වැරදි නැහැ. හැබැයි සිනමාව ගැන පුළුල් දැනුමක් ඔවුන්ට තිබිය යුතුයි. 2011 බර්ලින් අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ ජූරියට බොලිවුඩ් නළු අමීර් ඛාන් ඇතුළත්ව සිටියා මට මතකයි. අමීර් සිනමාව ගැන හොඳට දන්නා නළුවෙක්.

කඩවත පහළ බියන්විල භදා බියංකා මධු

ප්‍රශ්නය - 'නිළියකට පෙම් කළෙමි' චිත්‍රපටයේ ටී. ඇම්. ජයරත්න හා චන්ද්‍රිකා සිරිවර්ධන ගයන 'හස ඉඳුවර පත් විමනේ' ගීතය ලීවේ කවුද?

පිළිතුර - මෙම චිත්‍රපටයේ කතා රචක වූ දයා රාජපක්ෂමයි.

මැවනැල්ලේ නාන්කුරුගම එස්. එල්. එල්. වික්‍රමසිංහ

ප්‍රශ්නය - සිනමාවට ආ රූප සුන්දරියන් අතරට නිලන්ති විජේසිංහත් ඇතුළත් විය යුතුයි නේද?

පිළිතුර - ඔව්. අනිවාර්යයෙන්ම. එසේ මට අමතක වූ තව නම් ඇති විකී.

මොරටුව කටුබැද්ද ඩඩ්ලි ගෝමස්

ප්‍රශ්නය - එච්. ඩී. ප්‍රේමරත්න තම චිත්‍රපටයකට ලියූ ගීතයක් සඳහා සම්මාන ලැබුවා. එම ගීතයත්, චිත්‍රපටයත් කුමක්ද?

පිළිතුර - චිත්‍රපටය 'විසිදැල'. ගීතය ගුණදාස කපුගේ ගයන 'බිඳුණ දැහැන් බිඳුණා'. 1998 සරසවිය සම්මාන උලෙළේදී හොඳම ගීත රචකයා සඳහා සම්මානය ලැබුණේ ප්‍රේමරත්නට.

කොටුගොඩ යාගොඩමුල්ලේ සුනිල් චන්ද්‍රසේකර

ප්‍රශ්නය - ධර්මදාස වල්පොල ගයන 'කොවුලන් හඬයි' ගීතය ඇතුළත් චිත්‍රපටය කුමක්ද?

පිළිතුර - 'ජීවිතය'. එහි ගීත පටිගත වුණත් චිත්‍රපටය නිෂ්පාදනය වුණේ නැහැ.

මීගොඩ රුවින්ද කොල්ලුරේ

ප්‍රශ්නය - 'උත්සව්' චිත්‍රපටය හැරැණු කොට ගිරිෂ් කර්නාඩ් අධ්‍යක්ෂණය කළ වෙනත් චිත්‍රපට මොනවාද?

පිළිතුර - කාඩු, (ද ෆොරස්ට්), ඔන්ද නෝන්ඩු කලදාල් (වන්ස් අපොන් අ ටයිම්), වම්ෂා වික්ෂා (ද ෆැමිලි ට්‍රී) ගෝධූලි වැනි චිත්‍රපට ඔහු අධ්‍යක්ෂණය කළා.

මෝදර එම්. රුෆිනස් ඩයස්

ප්‍රශ්නය - ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ගුණදාස ලියනගේ වේදිකා නාට්‍යවල රඟපා තිබේද?

පිළිතුර - ඔහු සුබංචි ගුරුන්නාන්සේගෙන් උඩරට නැටුම් ඉගෙන ගෙන තිබෙන බවත් ඩබ්ලිව්. බී. මකුලොලුවගේ මුද්‍රා නාට්‍යවල රඟපා තිබෙන බවත් මා අසා තිබෙනවා.

අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි

ප්‍රශ්නය - 'රන්සළු' චිත්‍රපටයේ ටෝනි රණසිංහ රඟපෑ චරිතය මුලින්ම රඟපාන්නට නියමිතව සිටියේ 'මනමෙ' නාටකයේ කුමාරයා වූ බෙන් සිරිමාන්න යැයි කියන්නේ ඇත්තද?

පිළිතුර - ඔව්. ඒත් බෙන් ඒකට කැමැති වුණේ නැහැ. මනමෙ කුමාරියත් (ට්‍රිලීෂියා ගුණවර්ධන) වැදි රජුත් (එඩ්මන්ඩ් විජේසිංහ) සිනමාවට එක් වුණත් බෙන් එක් වුණේ නැහැ. 'සත් සමුදුර' චිත්‍රපටයේ සිරිල් වික්‍රමගේ ගේ සොහොයුරා ලෙස රඟපෑවේ එඩ්මන්ඩ්.

මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. එල්ලාවල පහළගම එන්. සලිත දිල්මින්, මීගොඩ රුවින්දි කොල්ලුරේ, රන්මුතුගල සරත් ලියනගේ, මල්ලැහැව කාවින්ද සිල්වා, දිවුලපිටියේ රෝෂිණි දයාරත්න, මහනුවර තැන්නෙකුඹුරේ ලීනා ද සිල්වා, රත්නපුර කැටන්දොළ එස්. එස්. නීලවාහිනි, රාගම රේචල් සෝවිස්, අල්විස් ටවුමේ පාලක සමන් පෙරේරා, හැඳල වික්ටර් පල්ලිමුල්ල.

‘සුමිගෙන් අහන්න’

‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.