වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




විචාරක පැසසුම් මැද පෙරට ආ චිත්‍රපටය The Nice Guys

විචාරක පැසසුම් මැද පෙරට ආ චිත්‍රපටය The Nice Guys



වසර : 1977
නගරය : ලොස් ඇන්ජලීස් නුවර

බලයලත් පුද්ගලික රහස් පරීක්ෂකයකු සහ තනිකඩ පියකු වන හොලන්ඩ් මාස් හට, ප්‍රසිද්ධ අසභ්‍ය චිත්‍රපට නිළියක වන ‘මිස්ටි මවුන්ටන්’ ගේ මරණය පිළිබඳ පුද්ගලික පරීක්ෂණයක් භාර වෙයි. මේ සම්බන්ධයෙන් අමෙලියා නම් කාන්තාව පසුපස හඹායන හොලන්ඩ් ට ඔහු වැනිම තවත් පුද්ගලික, නිලනොලත් රහස් පරීක්ෂකයකු වන හීලි ව මුණ ගැසෙයි. මිස්ටිගේ මරණය පිටුපස ඇති අභිරහස සෙවීමට මාස් සහ හීලි එක් වන අතර, නොයෙක් ආකාරයේ ‘බහුබූතයින්’ ගෙන් පිරුණු ලොවක බරපතල කුමන්ත්‍රණයක වේශය ගත් මේ අභිරහස සෙවීම මේ දෙදෙනා ඉදිරියේ ඇති අභියෝගයයි.

පසුගිය 20 වනදා සිට ලොව පුරා තිරගත වීම ඇරඹි, ‘ද නයිස් ගයිස්’ චිත්‍රපටයේ කතාව මෙලෙස දිගහැරෙයි. ‘ද නයිස් ගයිස්’ නළුවකු, තිර රචකයකු හා අධ්‍යක්ෂක වරයකු වන ශේන් බ්ලැක් විසින් අධ්‍යක්ෂණය කරන ලද තුන් වන චිත්‍රපටය වේ. වාණිජමය වශයෙන් අති සාර්ථක නිර්මාණයක් වූද බ්ලැක් ගේ කුළුඳුල් තිර රචනය වූද ‘ලීතල් වෙපන් (1987)’ චිත්‍රපටය බ්ලැක් ඇති දක්ෂ රචකයකු බව ලොවට කියාපෑවා. ‘ද මන්ස්ටර් ස්කොඩ්’, ‘ද ලාස්ට් බෝයි ස්කවුට්; ‘ ලෝන්ග් කිස් ගුඩ්නයිට්’ වැනි චිත්‍රපට ඔස්සේ ප්‍රවීණත්වයට පත් වූ බ්ලැක් ගේම තිරරචනයක් හා කුළුඳුල් අධ්‍යක්ෂණය වූ ‘කිස් කිස් බැන්ග් බැන්ග් (2005)’ ඉහළ විචාරක පැසසුම් ලත් චිත්‍රපටයක් වූ අතර, තවත් ඔහුගේ තිර රචනයක් හා අධ්‍යක්ෂණයක් වූ ‘යන් මෑන් 3’ චිත්‍රපටය ලොව වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටයන්ගෙන් 10 වන තැනට පත්ව සිටී.

‘ද නයිස් ගයිස්’ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු වන ජොයෙල් සිල්වර් ගේ නිෂ්පාදනයක් වන අතර, බ්ලැක් සහ ඇන්තනි බැගරෝසි විසින් රචනා කොට ඇත. ප්‍රවීණ නළු ‘රසල් ක්රෝ’ හීලි ගේ චරිතයට පණ පොවන අතර, තවත් ප්‍රවීණ නළුවකු වන ‘රයන් ගොස්ලින්’ හොලන්ඩ් මාචි ගේ චරිතයට පණ පොවයි. ඇන්ගරී රයිස්, මට බෝමර්, මාගරට් ක්වේලි, කීත් විද් සහ කිම් බසින්ගර් සෙසු ප්‍රධාන චරිතයන්ට පණ පොවති. විනාඩි 116 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් බෙදා හැරීමක් වන අතර, ඩේවිඩ් බක්ලි සහ ජෝන් ඔට්මන්ගේ සංගීතයෙන් ඔපවත් වී ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 50ක පිරිවැයකින් ‘ද නයිස් ගයිස්’ නිමවා ඇත.

ඉතා ඉහල විචාරක පැසසුම් ලත් චිත්‍රපටයක් වන ‘ද නයිස් ගයිස්’ IMDB දර්ශකයේ 7.9/10 ක්, රෝටන් ටෝමාටෝස් දර්ශකයේ ලකුණු 90%ක්, සහ මෙටාක්රිටික් හි ලකුණු 70/100 ක් ලකුණු කර තිබුණා. මෙම චිත්‍රපටය ‘බඩී කොමඩි’ (යහළුවන් දෙදෙනෙකු සම්බන්ධ හාස්‍යෝත්පාදක) චිත්‍රටපට විශේෂයේ සාර්ථක යුගයට නැවතත් ප්‍රේක්ෂකයින් කැඳවාගෙන යන අතර, සාර්ථක රචනයත්, ප්‍රධාන චරිත අතර ඇති සහ - සම්බන්ධතාවයත්, චිත්‍රපටය තවදුරටත් සාර්ථක කර ඇති බව රෝටන් ටෝමාටෝස් හි ප්‍රමුඛ විචාරය පවසයි. තවත් විචාරකයෙක් පවසා සිටින්නේ, ෂේන් බ්ලැක් ගේ චිත්‍රපටයන්ට යම් අයෙක් ආකර්ෂණය වේ නම්, මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම ඔවුන් ආකර්ෂණය කරගන්නා බවයි. හොඳම රචනයක් සහිතව නිමවුනු මෙම චිත්‍රපටය මුල සිට අගටම ආකර්ශනීය බව තවත් විචාරකයකුගේ අදහසයි.