වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිත කාලය පුරාවට වගකීමෙන් වැඩ කරන්න කියා දුන්නේ සරසවිය සම්මානය යි

ජීවිත කාලය පුරාවට වගකීමෙන් වැඩ කරන්න කියා දුන්නේ සරසවිය සම්මානය යි

දුලානි අනුරාධා

2010 වසරේ පැවැති 32 වැනි සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ රංගන ශිල්පිනී දුලානි අනුරාධා. ඇය එම සම්මානයට හිමිකම් ලැබූයේ ජැක්සන් ඇන්තනී විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘අබා’ චිත්‍රපටයේ ගුම්භක බූතාගේ චරිතයට පණ පෙවීමෙන්. එදා සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළි සම්මානයෙන් පිදුම් ලද ඒ රංගනය ඇයගේ රංගන දිවියේ ප්‍රථම රංගනය වීමත් විශේෂයි. අද Road to Prestige තුළින් සිහිපත් කරන්නේ හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලද දුලානිගේ ඒ මතකය යි.

* එදා සරසවිය හොඳම නිළිය සම්මානය ලද අවස්ථාව ආයමත් සිහිපත් කළොත්?

ඒක ඇත්තටම කවදාවත් අමතක වෙන්නේ නැති සුන්දරම මතකයක්. ප්‍රථම රංගනය වෙනුවෙන් සරසවිය සම්මානය ගත්තා කියන එක තවම අද ඊයේ වුණු දෙයක් වගේ හැඟීමක් තියෙන්නේ. මම ඒ සම්මානය ගත්තාද කියන එකත් හීනයක් වගේ. ඒ අවස්ථාව ක්ෂණිකව අවසන් වුණත් ජීවිතය පුරාවට එයින් ලොකු ශක්තියක් ඇති වුණා. ඒ වගේම එදා ලද සරසවිය සම්මානය මගේ කලා ජීවිතයට ආලෝකයක් වුණා.

* එදා සරසවිය සම්මාන උලෙළට ආරාධනා ලද අවස්ථාවේදී සම්මාන බලාපොරොත්තුවකුත් ඇති වුණාද?

එහෙම දෙයක් දැනුණේ නැහැ කියන්නත් බැහැ. මොකද ඒ කාලයේ තිරගත වූ චිත්‍රපට වගේම ඒ අතරේ මගේ රංගනය ගැන ක්ෂේත්‍රයේ දැවැන්තයන් වගේම විචාරකයන් කළ ප්‍රකාශ අනුව සම්මානයක් පිළිබඳ පුංචි හැඟීමක් වගේම විශ්වාසයක් ඇති වෙලා තිබුණා. නමුත් ඒ මෙහොත වෙනකල් අපට මොකුත් කියන්න බැහැ නේ.

* ප්‍රථම රංගනයට හොඳම නිළිය සම්මානය ලැබෙන විට ඇති වුණු හැඟීම?

මං ඒක වචනයෙන් විස්තර කරන්නේ කෙහොමද? ඒක බොහෝ දෙනෙකුට ළඟා වෙන්න බැරි හීනයක්. නමුත් ඒ අවස්ථාව මට ලැබෙන්න මං ගොඩක් වාසනාවන්ත රංගන ශිල්පිනියක් වුණා.

* එදා සරසවිය හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලබන්න ඔබට ‘අබා’ චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලද අයුරු සිහිපත් කරමු?

ජැක්සන් ඇන්තනි මහත්මයා ‘අබා’ චිත්‍රපටයේ ගුම්භක බූතාගේ චරිතයට පැරණි කාන්තාවකගේ රූපය තියෙන නිළියක් හොයමින් ඉඳලා තියෙනවා. ඒ අතරතුර ගිහින් ඔහු හමු වෙන්න කියලා මට කිව්වේ චන්දන වික්‍රමසිංහ. ඒ වෙනකොට මම විශ්වවිද්‍යාලයේ දේශනයකට යන ගමන් හිටියේ. ඒ පණිවුඩයට අනුව මම ස්වර්ණවාහිනි ආයතනට ගිහින් ජැක්සන් ඇන්තනි මහත්මයා හමු වුණා. ගුම්භක බූතාට චිත්‍රපටය පුරා නර්තනයන් තිබූ නිසා එතුමාට මගේ නර්තන හැකියාව බලන්න වුවමනා වුණා. දීර්ඝ කාලයක් පුරා මම නර්තනයේ යෙදී සිටි නිසා ඒක මට අපහසු වුණේ නැහැ.

අනික මම විශ්වවිද්‍යාලයට යන ගමන් තමයි ගියේ. ඒ කාලයේ දැන් වගේ මේක්අප් දාන්නෙත් නැහැ. “ඔයා මූණේ මොකුත් ගාලා නෑ නේද” කියලා ජැක්සන් සර් ඇහුවා. ඒ ගැන එතුමා ගොඩක් සතුටු වුණා. ඊට පස්සේ රංගන හැකියාව බලන්න තවත් දවසක් මට දුන්නා. එදා අවසානයේ අඬන දර්ශනයක් කරන්න තිබුණා. ඇත්තටම මට ඇඬුනා. මම ඔයා මේ චරිතයට තෝරා ගන්නවා කියලා ඒ වෙලාවෙම ඔහු කිව්වා. මට ඒ වචන පෙළ කවදාවත් අමතක වෙන්නේ නැහැ. ජැක්සන් ඇන්තනි නම් ප්‍රවීණ ශිල්පියා මගේ දක්ෂතාවට හඳුනා නොගන්නට අද මම මෙතැන නැහැ. ඒ නිසා අද මට ගෞරවයක් ලැබෙන හැම තැනකදීම මම එතුමා සිහිපත් කරනවා.

* මුල්ම රංගනය දැනුණේ කොහොමද?

මට ලැබුණු පිටපත කියෙව්වට රූගත කිරීම් ළං වෙනකොට මට පොඩි බයක් ඇති වුණා. මම මේක කරන්නේ කොහොමද කියලා ජැක්සන් සර්ගෙන් කෝල් කරලත් අහලා තියෙනවා. ඒ වෙලාවට ඔහු කියන්නේ “ඔයා හොඳට කාලා බීලා ඉන්නකෝ” කියලා විතරයි. මම ඒ කාලය අතරතුර අංගම්, නර්තනය තව තවත් පුහුණු වුණා. ඒ අතරතුර මම ගොඩක් කෙට්ටු වුණා. මාසයකට විතර පස්සේ ආයත් එතුමා හමු වුණු අවස්ථාවක මට හොඳටම බැන්නා. “ඔයා කෙට්ටු වෙන්න බැහැ. ගුම්බක බූතාගේ චරිතයට ඔයා මම තෝරාගත්තේ එදා තිබුණු ප්‍රමාණයට. ඒ නිසා කරුණාකරලා කාලා බීලා ඇඟ හදාගන්න” කියලා දැඩි අවවාද කළා.

දර්ශන තලයට ගියාම මට තිබුණේ අසීරුතම කාරණාවක්. රංගනය හැරුණාම මගේ ප්‍රථම ෂොට් එක වුණේ මම කුමාරයා අරගෙන ගිහින් දස වසරකට පසු නැවතත් උත්සවයකට ඒ නුවරට ගියාම මගේ පෙම්වතා වෙනත් කාන්තාවක සමඟින් ඉන්නවා දකින එක. මට අද වගේ මතකයි මට මේක්අප් කරපු මහානාම අයියා මට අඬන්න කඳුළු දෙන්න ග්ලිසරීන් අතේ තියාගෙන හිටියා. මට අද වගේ මතකයි අඬන්න මට වෙනත් කඳුළු ඕනි වුණේ නැහැ. ඒක කවදාවත් මට අමතන වෙන්නේ නැහැ. මේ හැමදේම ලැබුණේ ‘අබා’ චිත්‍රපටය නිසා. මගේ ජීවිතය ඉහළට ගෙන ගියේ අබා.

* ‘අබා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජැක්සන් ඇන්තනීගේ අධ්‍යක්ෂණය ගැනත් කියමු?

ගුම්භක බූතාගේ චරිතයට මා තෝරා ගත් අවස්ථාවේ පටන් ඔහු මට කිව්වේ කාලා බීලා සතුටින් ඉන්න කියලා විතරයි. මම මගේ හිතේ ගුම්භක බූතා කෙනෙක් නිර්මාණය කරගෙන හිටියේ නැහැ. ඒ නිසා අධ්‍යක්ෂවරයාට අවශ්‍ය ගුම්භක බූතා වෙන්න මට පුළුවන් වුණා. චිත්‍රපටයට අවශ්‍ය රංගනය අපෙන් ගන්න ඔහු සතු වුණේ පුදුමාකාර හැකියාවක්. ඔහුත් දක්ෂ රංගන ශිල්පියෙක් වීම නිසා ඒ හැකියාව ඔහු සතු වෙන්න ඇති.

* එදා නවකයෙන් විදියට ‘අබා’ දර්ශන තලයේ ප්‍රවීණයන්ගෙන් ලද සහයෝගය කොහොමද?

මම ‘අබා’ මුහුරත් උලෙළේදීම බොහොම බය බිරාන්ත වෙලා හිටියේ. මොකද ‘අබා’ චිත්‍රපටයට මෙරට රංගන ක්ෂේත්‍රයේ ඉහළම තලයේ සිටින ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රාශියක් දායක වෙලා හිටියා. නිළි රැජන මාලිනි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, සබීතා පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, සෞම්‍ය ලියනගේ වැනි ප්‍රවීණයන් එක්ක කටයුතු කරන්න ලැබීම වාසනාවක්. සෞම්‍ය ලියනගේ මට විශේෂ වුණේ ඒ වෙනකොට විශ්වවිද්‍යාලයේ මම ඔහුගේ ශිෂ්‍යාවක් නිසා.

හරිම සුන්දර අත්දැකීම් රැසක් මේ ජ්‍යෙෂ්ඨයන් පිරිස සමඟින් ‘අබා’ දර්ශන තලය පුරාවටම තිබුණා. ඔවුන්ගේ රංගනය පැත්තෙන් තිබූ බොහෝ දේ අතරේ මගේ ඇසට හසු වූ දේ උකහා ගන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම ඒ සියලු දෙනාමත් මට ආදරයෙන් සැළකුවා.

* එදා ඔබ ලද සරසවිය සම්මානය ඔබේ ජීවිතයට කළේ මොනවගේ බලපෑමක්ද?

ඇත්තටම සරසවිය හොඳම නිළි සම්මානය මට හැමදාටම ලොකු වගකීමක් වුණා. ක්ෂේත්‍රයේ ඉතිරි වැඩ ටික කරගන්න ලොකු වගකීමක් භාර දුන්නා වගේ හැඟීමක් ඇති වුණේ. මම මොනවද කළ යුත්තේ?, කෙසේද කළ යුත්තේ? යන හැඟීම නිතරම මගේ හිතේ රැව් දුන්නා. මොකද සම්මානයක් අතැතිව මට මෝඩ වැඩ කරන්න බැහැ. ‘අබා’ චිත්‍රපටය තුළින් මටම බ්‍රෑන්ඩ් එකක් හදාගන්න පුළුවන් වුණා. ඒ අනුව ඉදිරියටත් මම වැඩ කරන විදිය සහ මම කැමැති රසවින්දනය අනුව මා චිත්‍රපට තෝරා ගත යුතුයි.

එහිදී කලාත්මක හෝ වාණිජ කියා භේදයක් නැතත් හැමදාම මම තෝරා ගත්තේ වාණිජ චිත්‍රපටවලට වඩා කලාත්මක චිත්‍රපට. ඒ වෙනකොට වාණිජ සිනමාව තුළ තිබුණෙත් උපහාසාත්මක චිත්‍රපට විතරයි. කොහොමත් ‘අබා’ චිත්‍රපටය වගේම සරසවිය සම්මානය තුළින් මම මගේ ජීවිතයට අරගත්තේ කලා ලෝකය තුළ වගකීමෙන් වැඩ කළ යුතුය කියන අධිෂ්ඨානය යි. ජීවිත කාලය පුරාවටම වගකීමෙන් වැඩ කරන්න මට කියා දෙන්නේ එදා මට හිමි වූ සරසවිය සම්මානය යි.

* ‘අබා’ චිත්‍රපටයේ සිට මේ දක්වා පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මට ලොකු සතුටක් දැනෙනවා. මුල් කාලයට වඩා දැන් නම් වැඩ කරනවා ටිකක් අඩුයි. ඒ කාලයේදී මට කලාවට වෙන් කරන්න ලොකු කාලයක් තිබුණා. දැන් ගුරු වෘත්තිය සමඟින් ඒ වෙනුවෙන් වෙන් කරන්න තිබුණු කාලය නම් ටිකක් අඩු වෙලා. දැන් නම් වැඩ කෙරෙන විදියෙත් යම් යම් අපහසුතා තියෙනවා. බොහෝ විට වර්තමානයේ නිර්මාණ කරනවිට ශිල්පීන්ට ගොඩක් කරදර වෙන්න සිදුවෙනවා. නමුත් මගේ හිතට දැනෙන හොඳ වැඩක් ලැබුණොත් මගේ සීමාවේ සිට අනිවාර්යයෙන් දායක වෙනවා.

* ගුරු වෘත්තිය ඔබේ රංගන දිවියට බලපෑමක් වෙලා ද?

එහෙම බලපෑමක් වෙලා නැහැ. ලැබෙන සමහර නිර්මාණවල කතාවට කැමැති වුණත් වැඩ කෙරෙන පිළිවෙලට එකඟ වෙන්න බැරි අවස්ථා තියෙනවා. මම සාමාන්‍ය සමාජයේ ඉන්න කෙනෙක්. ඒ නිසා මට මගේ ජීවිතයට හානි කරගන්න බැහැ. අතීතයේ වගේ නෙවෙයි දැන් නවීන තාක්ෂණය එක්ක සිද්ද වෙන ඇතැම් දේ නිසා අපි පරෙස්සම් වෙන්න ඕනි. අලුත් නිර්මාණවලට දායක වෙන්න ආසයි. නමුත් දැන් තියෙන සමාජ ක්‍රමයත් එක්ක අපි හැඩ ගැසිය යුතුයි. එය දායක වෙන නිර්මාණ ගණන සීමා වෙන්න එක හේතුවක්.

* ඉදිරියේදී දායක වෙන අලුත් නිර්මාණ මොනවාද?

‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටය තිරගත වෙන්න නියමිතයි. පසුගිය කාලයේ චක්‍ර ටෙලි නාට්‍යයට දායක වුණා. ඒ හැරුණාම තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා.