වර්ෂ 2016 ක්වූ ජූනි 09 වැනිදා බ්‍රහස්පතින්දා




සුරගුණේ උදෙසා කළ කැපකිරීමෙන් ඵල ලැබුණා

සුරගුණේ උදෙසා කළ කැපකිරීමෙන් ඵල ලැබුණා
- රුවන් පෙරේරා

බෙහෝ වැර වෑයමෙන් ගොඩ නඟා ගත් රංගන ජිවිතය තුළ රුවන් පෙරේරා පසුගිය දිනෙක එක් සන්ධිස්ථානයක් පසු කළේය. ඒ රයිගම් ටෙලීස් හි වසරේ නැඟී එන නළුවා ලෙසට සම්මානයට පාත්‍ර වෙමිනි. ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ දස්කොන් ටෙලි සිතුවමේ සුරගුණේගේ චරිතයට පණ පොවමින් පෑ රංගන ප්‍රතිභාව ඔහුව මෙසේ සම්මානනීය කරන ලදී. ඒ සම්මානයේ උණුසුම වියැකී යන්නට මත්තෙන් රුවන් පෙරේරා සරසවියට පැමිණියේය.

රුවන් සම්මානයේ බර ගතට වඩා හිතට දැනෙනවා ඇති. ඒ මේ ඔබගේ පළමුවැනි සම්මානය නිසා?

ඒක ඇත්ත. මට මේ වෙලවේ මතක් වෙනවා එම සම්මානයට මා නිර්දේශ වුණා කියලා ලැබුණු දුරකතන ඇමතුමෙන් පසු මට සිදු වෙච්ච දේ. මාව හීතල වෙලා ගියා. ඒත් සමඟම මට මගේ අතීතයක් සිහි ගැන් වුණා. පොඩි කාලේ මගේ එකම හීනය වුණේ නළුවෙකු වීම. එතකොට එහෙම වෙන්නේ කොහොමද කියලාවත් මං දැනගෙන හිටියේ නැහැ. කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා රඟපෑවා. ගෙදර කවුරුවත් නැති වෙලාවට සම්මාන උලෙළක නිවේදකයා වගේ කතා කරමින් මම මගේ නම කියා ගත්තා. ඒ කාලේ ඉඳලා නළුවකුවීමේ හීනයහි පුංචි තැනක සම්මානයක් කියන දේ තිබුණා. අද ඒ සිහිනය සැබෑ වුණා. මේ සම්මානය මගේ කුලුඳුල් සම්මානය හින්දා ඔබ කිව්වා වගේ මගේ හිතට තදින් දැනුණා.

සම්මානය සඳහා ඔබගේ නම කියද්දී ඔබට මොකද හිතුණේ?

මගේ නම නිර්දේශ වෙලා කියලා කියූ මොහොතේ මගේ ගෙදර අයටයි මගේ ගුරු පියාණන් වූ ජැක්සන් ඇන්තනී සර්ටයි මං කතා කළා. ඔවුන් කතා කරපු විදිහෙන් මට තේරුණා මටත් වඩා ඒ අය සම්මානය ගැන බලාපොරොත්තුවෙන් ඉන්නේ කියලා. මමත් හරිම තිගැස්මෙන් හිටියේ. මං සම්මානය ගන්නවා හීනෙන් පවා දැක්කා. අන්තිමේ මගේ නම කියද්දී ඇඟට කුල් වතුර එකක් වැටුණා වගේ දැනුණා.

නිවේදයා හොඳම සහය නළුවා තෝර ගන්නේ දස්කොන් ටෙලි නාට්‍යයෙන් කියලා කියද්දී එතැන ඉතිරි වෙලා තිබුණේ ඔබ සහ අකිල ධනුද්දර පමණයි. අකිල ඔබේ ගුරාගේ පුතා?

මම දන්නේ නැහැ ජැක්සන් සර්ට මොනවා හිතුණද කියලා. එක පැත්තකින් ඔහුගේ ගෝලයා වූ මම. අනෙක් පැත්තෙන් පුතා. අවසානයේ සම්මානය ගත්තේ මම. අපේ ගෙදර අය පසුවදා ජැක්සන් සර්ට කතා කරලා තිබුණා. ඔහුගේ පුතාට සම්මානයක් නොලැබී යාම ගැන අම්මා සොව පළ කරලා තිබුණා. එතකොට ජැක්සන් සර් කියලා තිබුණෙ 'රුවන් කියන්නෙත් මට මගේ පුතකු හා සමාන කෙනෙක්' කියලයි.

ජැක්සන් ඇන්තනී හා ඔබගේ සබඳතාවය ගොඩනැඟෙන්නේ කෙසේද?

අබා චිත්‍රපටයේ ඔහුගේ සහායකයා හැටියට වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ ඔහුගේ මඟ පෙන්වීම යටතේ. මං එහි පණ්ඩුල බ්‍රහ්මණයාගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු හැටියටත් රඟපෑවා. ඒ නිර්මාණය තුළදී මා ජැක්සන් ඇන්තනී සර්ව වඩාත් හඳුනා ගත්තා. ඔහු ද එලෙසමයි. පසුව ඔහුගේ වැඩසටහන් කිහිපයකටම සහායකයා හැටියට එකතු වුණා. මං එතකොට මගේ ගම වූ රත්නපුරේ හිටියේ. පසුව මට හිතුණා නළු හිනය සැබෑ කරගන්න කොළඹ එන්න ඕනෑ කියලා. මං කොළඹ ආවා. ජැක්සන් සර් මාව අතහැරියේ නැහැ.

ඔය අතරෙදිද සුරගුණේ ඔබට හිමිවන්නේ?

ජැක්සන් සර් මට කතා කරලා කිව්වා 'මං උඹට චරිතයක් දෙනවා ඒක හොඳට කරන්න කියලා. ඊට පසුව පිටපත එහෙම දීලා මට චරිතය ගැන පැහැදිලි කළා. ඒ චරිතය මට සර් ලබා දුන්නේ නිකම් රඟපාන්න නෙවෙයි. දස්කොන් සඳහා චරිත තෝරද්දී ජැක්සන් සර්ගේ ඔළුවේ නළු නිළියන්ව මැවිලා තියෙනවා. සුරගුණේ සඳහා මාව මැවිලා. ඉතින් මං කෙරෙහි තැබූ ඒ විශ්වාසය මං කඩ කළේ නැහැ.

දස්කොන් ප්‍රමිලාගේ ආදරය විනාශ කරන්නේ සුරගුණේ?

ඔව්. ඔහුට ඕනෑ තම ස්වාමියා වූ පට්ටිය බණ්ඩාරව රජ කරවන්න. සුරගුණේ ඒ සඳහා කළ හැකි කැප කිරීම් කරනවා. මං චරිතය සඳහා සෑහෙන්න කල් ඉඳලා ලැහැස්ති වුණා. කෑම නොකා කෙට්ටු වුණා. රැවුල, නියපොතු වැව්වා. බුලත් කෑවා. අන්තිමේ මගේ යාළුවන්ටත් මාව එපා වුණා.

ඒ කිව්වේ?

මං රැවුල වවල මල පෙරේතයා වගේ. හරිම කැතයි. කෑම කනකොට බත් ඇට, මාලු කෑලි මගේ රැවුලෙ පැටලෙනවා. ඉතින් මාව ඉස්සරහ තියාගෙන බෝඩිමේ යාළුවන්ට කෑම කන්න පවා අප්‍රිය වුණා. ඒ නිසා මට සිදු වුණා එක්කො මුලින් කන්න නැතිනම් යාළුවො කාලා ඉවර වුණාම කන්න. ඇත්තම කිව්වොත් මට මගේ කැත පෙනුණා කණ්නාඩිය ඉස්සරහා.

ඒ කැපකිරීම්වල ප්‍රතිඵල තියෙනවා?

අනිවාර්යයෙන්ම. දස්කොන් ටෙලි සිතුවමේ අවසාන දවසේ ජැක්සන් සර් මගේ ඔළුව අතගාලා කිව්වා 'පුතා ඔය චරිතය සම්මානයකට පාත්‍ර වේවි' කියලා.

සුරගුණේ රඟපාන්න ගිහින් හරි අපූරු දේවල් වුණාලු නේද?

ඒකනේ. ඔන්න දවසක් මට ගසක මුල්වලින් හදපු ඇඳුමක් ඇඳගෙන ඉන්න වුණා. මං එදින කිසිම අවුලක් නැතිව ෂූට් කළා. මෙන්න ඒ ඇඳුම ඉවත් කරපු වෙලාවේ ඉඳලා ඇග කසනවා. පලු දැම්මා. පහුවෙනිදා තමයි කැසිල්ල අඩු වුණේ. දවසක් කළු ගඟට බැහැලා ෂූට් කරන්න තිබුණු වෙලාවක මාව ගඟේ ගහගෙන ගියා. නියපොතු තුඩුවලින් ගලක එල්ලිලා බේරුණේ. එදා ගසාගෙන ගියා නම් අද රුවන් කියලා කෙනෙක් නැහැ.

සුරගුණේ කියන්නේ ඇත්තටම හිටපු චරිතයක් නෙවෙයි?

ඔව්. නමුත් ඒ වගේ ගති ලක්ෂණ තියෙන චරිත ඕනෑ තරම් ඉඳලා තියෙනවා. ඒවා සියල්ලේ සංකලනයක් තමයි සුරගුණේ කියන්නේ.

රුවන් සුරගුණේ ලෙස

ඔබ දස්කොන් රඟපාන්නට පෙර නාට්‍ය ගණනාවක රඟපෑවා. නමුත් කැපී පෙනෙන චරිතයක් වුණේ නැහැ?

ඒ සේරම නාට්‍ය මෙගානේ. ඉතින් කැපකිරීම අඩුවෙන් ඒවායේ රඟපෑවේ. මං කිව්වේ ඒ නිර්මාණ නරකයි කියලාවත් මං අඩුවෙන් රගපෑවා කියලාවත් නෙවෙයි. ඒ මෙගාවල හැටි. කොයි නළු නිළියත් එහෙමයි. රුවන් මාලිගා, සුජාතා, කුටු කුටු මාමා, ලොක්කි, බිනරමලී ඉන් කිහිපයක්.

කරන්නට දෙයක් නැතිනම් ඇයි ඔය වගේ චරිත බාර ගන්නේ?

මං හම්බ කරන්නේ කලාවෙන්. බෝඩිං ගාස්තු, වාහනවල ෆිනෑන්ස් ගෙවන්න ඕනෑ නිසා මට සිදු වෙනවා ඊට සරිලන්න වැඩ කරන්න. ඒකයි නිර්මාණවලට දායක වෙන්නේ. නමුත් ඒවා නරක නිර්මාණ නෙවෙයි.

මේ ගමනේ උදව් පදව් කළ අය කවුද කියලා මතක් කළොත්?

ජැක්සන් සර් ඉහළින්ම ඉන්නවා. මගේ පවුලේ අය, රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක, දිනුෂා රාජපතිරණ, ජනක චමින්ද අත්තනායක, රන්ජන් ප්‍රසන්න, සුමිත් කුමාර වගේ අය.