වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




ඩිජිටල් දෝෂය

ඩිජිටල් දෝෂය

අද නොවේ හෙට
 

උදයකාන්ත වර්ණසූරිය විසිනි

චිත්‍රපටයක රූපගත කිරීම් සංස්කරණය හා ශබ්ද මිශ්‍රණ ඇතුලු සියලු කටයුතු ඩිජිටල් තාක්ෂණයෙන් සිදු වෙද්දී සිනමා ශාලා තුළ සිදුවන ප්‍රක්ෂේපණ කටයුතු පමණක් තවමත් සිදු වන්නේ මි. මි. 35 පටලපටයේ පැරණි ක්‍රමවේදය ඔස්සේය. මෙරටට වඩා පහළ ආර්ථික මට්ටම් ඇති බොහෝ රටවල් පවා මෙම ඩිජිටල් තාක්ෂණයෙන් නවීකරණය වෙද්දී අපගේ සිනමා කර්මාන්තයට තවමත් එවැනි තත්ත්වයක් උදා නොවී ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි වහා සොයා බැලිය යුතුය.

මෙම අර්බුදයේ දැඩි අවදානමක් රැඳී ඇත්තේ දැනට බොහෝ සිනමා ශාලාවල පෙන්වන මි. මී. 35 පොසිටිව් පටල පට නිපදවීමත්, ඒවායේ චිත්‍රපට මුද්‍රණය කිරීමත් ඉතාමත් සුළු කාලක් තුළදී අවසන් කෙරෙන බවට කතා අසන්නට ලැබෙන නිසාය. නව නිපැයුම් සමඟ පැරණි බොහෝ දේවල් යල්පැන යන්නේය. මීට පෙර අප චිත්‍රපට නැරඹූ VHS නමින් යුතු වීඩියෝ පට හා ඊට අදාළ යන්ත්‍ර දැන් දකින්නටවත් නැත. අද ඇත්තේ DVD හා Blue-Ray ය. අනාගතයේදී ඒවාත් නැති වී ගොස් වෙනත් මෙවලම් නිර්මාණය වනු ඇත.

පැහැදිලි විවිධාකාර ශබ්ද ඇතුව නවීන තාක්ෂණය මුසු වූ ඩිජිටල් ප්‍රක්ෂේපණය ඔස්සේ අද දවසේ සිනමා පේ‍්‍රක්ෂකයන්ට විඳ දරා ගත හැක්කේ ආශ්වාදනීය නැවුම් සිනමා ඇත්දැකීමකි. ඩිජිටල්කරණය නිසා සිනමා ශාලාවලට දැන් වැඩි පේ‍්‍රක්ෂක පිරිසක් පැමිණෙන බව සිනමා ශාලාවලිනුත් අසන්නට ලැබේ. නමුත් ලංකාවේ තවමත් ඩිජිටල්කරණය වී ඇත්තේ සිනමා ශාලා සීමිත ප්‍රමාණයකි. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඒ සඳහා සිනමා ශාලාවලට දරන්නට සිදුවන අධික වියදමයි.

මේ ක්‍රියාවලිය තුළින් නිෂ්පාදකයන්ට පිටපත් මුද්‍රණය කිරීම සඳහා වැය වන ලක්ෂ හතලිහක, පනහක පමණ මුදලක් ඉතිරි කර ගත හැකි වුවත් සිනමාහල් හිමියාට නම් තම සිනමාහල නව ප්‍රමිතියකින් යුතු ඩිජිටල් ප්‍රක්ෂේපණ හා ශබ්ද යන්ත්‍ර සවි කොට නවීකරණය කර ගැනීමට අඩුම තරමින් ලක්ෂ හැට හැත්තෑවක මුදලක් වැය කිරීමට සිදු වේ. නගරබද සමහර සිනමා ශාලා හිමියන්ට මෙම මුදල දැරීමට හැකියාව තිබුණත් ග්‍රාමීය සිනමා ශාලා හිමි බොහෝ පිරිසකට මෙය කවර අන්දමකින් හෝ දරාගත නොහැකි විශාල මුදලකි.

සිනමාහල් හිමියන්ට දරන්නට සිදුවන මුදල් අපහසුතා කෙසේ වෙතත් ඩිජිටල් ප්‍රක්ෂේපණය නිසා ලැබෙන වාසි හා පහසුකම් රැසකි. මෙහිදී චිත්‍රපට නිෂ්පාදකයින්ට එක් චිත්‍රපට පිටපතක් වෙනුවෙන් වැය කරන්නට සිදු වන රුපියල් එක් ලක්ෂ පනස් දහසක පමණ මුදල සම්පූර්ණයෙන්ම වාගේ ඉතිරි වේ. රුපියල් දෙලක්ෂයකින් පමණ ඩිජිටල් ක්‍රමයෙන් ඩ්චපඤ ච්ඪඵජ එකක ඇසුරුම් කරන පිටපතකින් ඩිජිටල් ප්‍රක්ෂේපණය සැකසූ ඕනැම සිනමාහලකට පිටපත් ලබා දිය හැකිය. යකඩ පෙට්ටිවල ඇසුරුම් කරන ලද කිලෝ 800 ක් පමණ බර මි. මි. 35 පටල පිටපත් තිහ හතලිහක් රැගෙන යාමට ලොරියක් අවශ්‍ය නමුත් සිනමා ශාලා සියයකට වුවත් ඩිජිටල් ඩ්චපඤ ච්ඪඵජ පිටපත කලිසම් සාක්කුවේ දමාගෙන ගොස් ප්‍රක්ෂේපණ යන්ත්‍රයකට කැවූ පසු ඕනෑම මොහොතක බොත්තමක් එබීමෙන් චිත්‍රපටය තිරය මත පතිත කළ හැකිය. මෙයින් ලැබෙන ශබ්දය ද රූපය ද ඉතා පැහැදිලිය.

කොතෙක් ප්‍රදර්ශනය කළ ද පටල පටයේ ප්‍රදර්ශනයේදී මෙන් රූපය මත සීරීම් හෝ පැල්ලම් දැකිය නොහැකිය. ඔපරේටර්වරයකු නොමැතිව සිනමා ශාලාවේ සිටින සුළු සේවකයකුට පවා මෙම යන්ත්‍ර ක්‍රියාත්මක කළ හැකිය. ප්‍රක්ෂේපණ කාමර තුළ ගබඩා ඉඩ පහසුකම් කිසිසේත්ම අවශ්‍ය නැත. මා දන්නා තරමින් දැනට ලංකාවේ සිනමා ශාලා 55 ක් ඩිජිටල් ප්‍රක්ෂේපණයෙන් නවීකරණය වී ඇත. මෙයින් සිනමා ශාලා 23 ක් සිංහල චිත්‍රපට වෙනුවෙන් පමණක් වෙන් කළ සිනමා ශාලා වන අතර 10 ක් ඉංග්‍රීසි හා හින්දි චිත්‍රපට වෙනුවෙන් ද ඉතිරි 22 ද්‍රවිඩ චිත්‍රපට පමණක් පෙන්වන ශාලා ලෙසින් ද වෙන් වී තිබේ. මේ වන විට විදේශීය චිත්‍රපට ඩිජිටල් ප්‍රක්ෂේපණයෙන් නවීකරණය වී ඇත.

ද්‍රවිඩ චිත්‍රපට පෙන්වන සිනමා ශාලා බොහොමයක් ඇත්තේ ' ඡ් සිනමා' නැමැති ලාබදායි ප්‍රමිතියෙන් පහළ සිනමා ප්‍රක්ෂේපණ ක්‍රමවේදයකි. නමුත් අබලන්, පැරණි ප්‍රක්ෂේපණ යන්ත්‍රයකින් ලැබෙන බොඳ, අඳුරු රූපවලට වඩා ඡ් සිනමා ප්‍රක්ෂේපණයෙන් ලැබෙන රූප හොඳය. එහෙත් ප්‍රමිතියට අමතරව මෙහි ඇති තවත් ගැටලුවක් වන්නේ ඉංග්‍රීසි හෝ බොහෝ හින්දි චිත්‍රපට මේ වර්ගයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවලින් පෙන්වීමට නොහැකි වීමය. තවද ඉතාම අඩු මුදලකට ලංකාවේ සිනමා ශාලාවල මෙලෙස සවි කරන්නේ මේ දිනවල ඉන්දියාවේ සිනමා ශාලාවලින් ඉවත් කෙරෙමින් පවතින යන්ත්‍රය. මෙම ක්‍රමවේදය ද දැන් ලෝකයෙන් තුරන් වෙමින් පවතී.

චිත්‍රපට පෙන්වීම සඳහා මෙතෙක් ලංකාවේ අනුමත කර ඇත්තේ සිනමාවේ ප්‍රමිතිගත 2ම් නැමැති ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයයි. නමුත් දැරීමට සිදුවන අධික වියදම හේතුවෙන් තවමත් සිනමා ශාලා විශාල ප්‍රමාණයක් මෙම ක්‍රමයට හැඩ ගැසී නැත. ඒ සඳහා රජයෙන් ද මෙතෙක් කිසිදු අනුග්‍රහයක් ලැබී නැත. එහෙයින් සිංහල චිත්‍රපට පෙන්වන සමහර සිනමා ශාලා ද දැන් ප්‍රමිතියෙන් පහළ මෙම ඡ් සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රවලින් සිංහල චිත්‍රපට පෙන්වීමේ ප්‍රදර්ශන කටයුතු අරඹමින් සිටී. නමුත් මෙම තාක්ෂණ ක්‍රමය ලාබදායී වුවත් දිගුකාලීනව නම් එතරම් යහපත් නොවන බව නම් පැහැදිලිය.

අද මෙරට ඇති බොහෝ සිනමා ශාලා පවත්වාගෙන යනු ලබන්නේ සිනමා ශාලා හිමියන් නොව මාසයේ කුලියට එම සිනමා ශාලා බද්දට ලබා ගත් වෙනත් පිරිසක් විසිනි. එහෙයින් අමතර විශාල මුදලක් වැය කර සිනමා ශාලාව නවීකරණය කරන්නට මෙම දෙපිරිසම උනන්දුවක්, ඕනෑකමක් ඇති බවක් නොපෙනේ. නගරවල අලුතින් ඉදිවන සිනමා ශාලා නම් නවීන ඩිජිටල් තාක්ෂණයෙන් හැඩ ගැන්වේ. මෑතකදී ජාඇල, මාලබේ, රත්මලාන යන නගරවල ඉදි කෙරුණු සිනමා ශාලා ඊට හොඳ නිදසුන්ය.

දැනට ඩිජිටල්කරණය කරන ලද සිංහල චිත්‍රපට පෙන්වන්න පමණක් වෙන් කර ඇති සිනමා ශාලාවල සිංහල චිත්‍රපට පෙන්වන නියමිත දර්ශන තුනට අමතර වෙනත් අමතර දර්ශනයක් ලෙස විදේශීය චිත්‍රපටයක් පෙන්විමට අවසර ලබා දී ඩිජිටල් ණය සඳහා එම සිනමා ශාලාව වැය කළ අධික මුදල පියවා ගැනීමේ සහනයක් වශයෙනි.

විදුලි බිල්, සේවක පඩි නඩි ඇතුළුව සිනමා ශාලාවක් පවත්වාගෙන යන්න අද සිනමා ශාලා හිමිියන්ට දරන්නට සිදුවන වියදම ඉතා අධිකය. එහෙත් බොහෝ සිනමා ශාලා හිමියන්ට මෙය තවත් වෙළඳාමක් පමණි. පාඩු පිට තම ව්‍යාපාරය පවත්වාගෙන යන්නට කිසිම වෙළෙන්දෙකු කැමැති නැත. නිෂ්පාදකයන්ගේ දැඩි සිත්තැවුල් මැද්දේ වුව ද අඩු ආදායම් ලබන චිත්‍රපට ඔවුන් ගලවා දමන්නේ ඒ නිසාය. නමුත් චිත්‍රපට බැලීමට සිනමා ශාලාවට සෙනඟ එන්නේ නම් ඔවුන් එසේ කරන්නේ නැත. මෙයින් තේරුම් ගත හැකි සරල කාරණාව වන්නේ ප්‍රේක්ෂක මනදොළ සපුරන ගුණාත්මක චිත්‍රපට බහුල වශයෙන් සිනමා ශාලාවලට එන්නේ නම් සිනමා කර්මාන්තයේ බොහෝ ගැටලු විසඳෙන බවයි.

විසඳුම එසේ තිබුණත් මෙම ඩිජිටල් ප්‍රක්ෂේපණ ගැටලුව නිසා අද බොහෝ සිනමා ශාලා වැසී යාමේ බරපතළ අර්බුදයකට ලාංකේය සිනමාව මුහුණ දෙමින් සිටී. එහෙයින් එයට වහා ප්‍රතිකර්ම යෙදීම සිනමාව වෙනුවෙන් අද දවසේ කළ යුතු වැදගත්ම කාර්යභාරය වන්නේය.

මෙරට තවත් එක් සංස්කෘතික අංගයක් බවට පත්ව ඇති සිනමාව පිළිබඳ රජයේ වගකීම තවමත් පැහැර හැරෙමින් පවතින්නේය. මෙම අවදානම පිළිබඳ දැනුවත්ව ඩිජිටල්කරණය පිළිබඳ 2008 කමිටුවක් ද පත් කළ නමුත් තවත් අවුුරුදු 8 ක් ගත වී ගියත් මේ සඳහා පැහැදිලි විසඳුමක් ලබාදීම කිසිදු රජයක් සමත් වී නැත.

පසුගිය රජය මහ මැදුරුවල පාටි දමමින් කලාකරුවන් හුරතල් කළා මිස ඩිජිටල් වෙනුවෙන් කළ කිසි දෙයක් නැත. යහ පාලනයෙන් තවම පාටිත් නැත, ඩිජිටලයත් නැත. සියලු දේ අගෝස්තු මාසය දක්වා කල් දැමූ බවක් ද කියැවේ. අගෝස්තු මස වන විට සිනමා ශාලා කීයක් වැසී යා දැයි දන්නේ නැත. එහෙත් සිනමා ශාලා කිසිවක් ද රජයෙන් ද සියලු පිළිසරණ පතා නොසිට තම ශක්ති ප්‍රමාණයෙන් ද තම ව්‍යාපාරයට යමක් කිරීමට උත්සාහ ගත යුතුය.

ඩිජිටල්කරණය කෙසේ වෙතත් මුළු සිනමාවම පුද්ගලීකරණයට මුදා හැරෙන කතාබහ ද මේ දිනවල අසන්නට ලැබෙන්නේය. සිනමාව වෙනුවෙන් රජය මොන තීරණ ගත්තත් ලාභය පමණක් පෙරදැරි කරගෙන කටයුතු කරන අතළොස්සක් වූ ව්‍යාපාරිකයන්ට තනිකරම දේශීය සිනමාව පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ලබාදීමේ බරපතල පාප කර්මයෙන් නම් මේ ආණ්ඩුව වැළකී සිටිය යුතුය. එමෙන්ම සිංහල චිත්‍රපට සඳහා වැඩි තිර කාලයක් ලබාදීම, සම්භාව්‍ය චිත්‍රපට පෙන්වීම හා නව, තරුණ සිනමාකරුවන්ට සිනමා ක්ෂේත්‍රයට ඇතුළුවීමට ඉඩකඩ විවර කර දීමේ වගකීම සඳහා ද රජය අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතුය.