වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලි නිෂ්පාදනය ගැහැනු අපිට කොහොමද?

ටෙලි නිෂ්පාදනය ගැහැනු අපිට කොහොමද?

වර්තමානයේදී ලොව කාන්තාවට ඇති ස්ථානය දෙස බැලූ විට කලා ක්ෂේත්‍රය තුළද කාන්තා දායකත්වය රංගනයට පමණක් නොව තාක්ෂණික අංශවල මෙන්ම නිෂ්පාදන අංශයේද විශේෂ වන්නකි. මේ දිනවල විකාශය කෙරෙන ටෙලි නිර්මාණ සමඟින් නිෂ්පාදනයට සම්බන්ධ වූ කාන්තාවන් රැසකි. අද ඒ අතරින් තිදෙනෙකුට ඉදිරිපත් කළ එකම ප්‍රශ්න පෙළකට ඔවුන් පිළිතුරු දුන්නේ මෙලෙසින්.

ඇන්ජලා කුරුප්පු

නිෂ්පාදිකා - මෙඩි සිනා

“මේ දිනවල මෙඩි සිනා ටෙලි නාට්‍යය කරගෙන යනවා. ඊට අමතරව කලාවට ඉතාම විශේෂිත වූ කටයුත්තක් ආරම්භ කරන්න සූදානමින් ඉන්නේ.”

ටෙලි නාට්‍ය නිෂ්පාදනයට පිවිසීමට විශේෂ වූ හේතුව?

ටෙලි නාට්‍ය නිෂ්පාදනය තෝරා ගත්තේ කලාවට තියෙන විශේෂ කැමැත්ත නිසාමයි. ඒ නිසාම තමයි මගේ ප්‍රථම නිෂ්පාදනය ලෙසින් විශ්නු සංක්‍රාන්තිය නිෂ්පාදනය කළේ. එයින් මට සාධාරණයක් ඉටු වුණේ නැතත් ආයෙමත් මෙඩි සිනා නිෂ්පාදනය කරන්න මම තීරණය කළා.

මෙඩි සිනා ටෙලි නාට්‍ය මේ දවස්වල අපේ පුංචි තිරයේ විශේෂ වෙලා තියෙනවා. එහි සරල ප්‍රහසනය විවිධ තරාතිරම්වල මිනිසුන් එය නරඹන තත්ත්වයට පත් කරලා තියෙනවා. හැමදාම මට උවමනා කළේ ප්‍රේක්ෂකයන්ට හොඳ දෙයක් දෙන්නයි. මොන දේ වුණත් නිෂ්පාදනයට නිර්මාණයක් තෝරා ගැනීමේදී මම පිටපත ගැන නම් සියයට සියයත් බලනවා.

කාන්තාවක ලෙසින් නිෂ්පාදන කාර්යයේදී මුහුණ දෙන අභියෝග?

කාන්තාවක් විදියට නිෂ්පාදන අංශයේදී එන ගැටළු නම් අනන්තයි. මම විශේෂයෙන් කියන්න ඕනි අධ්‍යක්ෂවරුන්ගෙන් නිෂ්පාදකට කිසිම සයෝගයක් ලැබෙන්නේ නැහැ. පටන් ගැන්ම හොඳයි. අවසානයේදී නිෂ්පාදකට ටෙලි නිර්මාණය තමන්ගේ තනි නිර්මාණයක් විදියට තමයි කරන්න වෙන්නේ. මම ව්ශ්නු සංක්‍රාන්තිය අවසානයේදී ආයෙමත් ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ නැහැ කියලත් හිතුවා. ඒ වුණත් කලාව වෙනුවෙන් ඇති වූ ළෙංගතුකම මට හොඳ නිර්මාණයක් ජනතාවට තිළිණ කරන්න උනන්දු කරවනවා. මම D & S Holgings  ආයනතය හරහා ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටිනවා.

මම ගොඩක් වෙලාවට නිර්මාණයේ වටිනාකම ගැන උනන්දු වෙනවා. අපි මොනතරම් මුදල් යට කළත් අවසාන නිර්මාණය බාල එකක් නම් වැඩක් නැහැනේ. හොඳම කණ්ඩායමක් නිර්මාණය කාර්යයට යොදා ගන්න මම නිතරම මහන්සි ගන්නවා. මොකද මට අසාධාරණයක් වුණත් නිර්මාණයට අසාධාරණයක් වෙනවාට මම කැමැති නැහැ.

ඉදිරියේදී ඔබේ දායකත්වය ලබන නිර්මාණ?

හැමදාම දකින ආදරයට වඩා වෙනස් තේමාවක් ගෙන එන ටෙලි නිර්මාණයක් වගේම චිත්‍රපටයක් ආරම්භ කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

ප්‍රියංකා අමරතුංග

නිෂ්පාදිකා - කුරුළු පිහාටු

“නිර්මාණකරණය තුළ නිෂ්පාදනයේදී ලොකු වගකීමක් අරගෙන කටයුතු කරන්න නිෂ්පාදකයා වගබලා ගත යුතුයි. මොනම හේතුවක් නිසාවත් නිර්මාණයේ අගය අඩු නොවෙන්න කටයුතු කළ යුතුයි. ඒ නිසා අධ්‍යක්ෂවරයාගේ සිට තාක්ෂණික අංශය වගේම නළු නිළියන් තෝරා ගැනීමේදි මම විශේෂයෙන් සැලකිලිමත් වෙනවා.”

ටෙලි නාට්‍ය නිෂ්පාදනයට පිවිසීමට විශේෂ වූ හේතුව?

මීට පෙර මගේ නිර්මාණ හතක් ටෙලි නාට්‍ය ලෙසින් නිර්මාණය වෙලා තියෙනවා. කලින් නිර්මාණ ගැන තියෙන්නේ අඳුරු මතක සටහන්. එලෙස ඇති වූ කළකිරීම් සමඟින් මගේ නිර්මාණ වෙනත් කෙනෙකුට නොදී මම ලියලා මම ම නිෂ්පාදනය කරන්න තීරණය කළා.

කාන්තාවක ලෙසින් නිෂ්පාදන කාර්යයේදී මුහුණ දෙන අභියෝග?

ඇත්තටම බොහෝ තැන්වලදී කාන්තාවක වූ නිසාම වන කරදර වැඩියි. ටෙලි නාට්‍ය ක්ශේත්‍රයට සම්බන්ධ අය පවා මම නිෂ්පාදනය කරනවාට නැමැති වුනේ නැහැ. ඒ හැමෝම කිව්වේ මගේ නම වෙනුවට මහත්තයාගේ නම දාන්න කියලයි. කාන්තාවක යටතේ වැඩ කරන්න ඇතැමුන් තුළ අකමැත්තක් පවතින බවකුත් පෙනුණා.

ක්ෂේත්‍රයට අවතීර්ණ වුනාට පස්සේ තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබුණා. පහසුකම් නම් කප්පාදු කරන්න මම කොහෙත්ම කැමැති නැහැ. නිර්මාණයට කිසිම අසාධාරණයක් වෙන්න ඉඩ නොතබන්න මම වගබලා ගන්නවා. මගේ තිර රචනා නිෂ්පාදනය කරන එක මට පහසුවක්.

නිෂ්පාදන කටයුත්ත ආරම්භ කළාට පස්සේ මගේ ලේඛන කලාවට නම් පොඩි බලපෑමක් වුණා. නමුත් අපේ පවුලේ සිව්දෙනාම මේ කාර්යයට දායක වීම නිසා පවුලේ එකතුව මේ කටයුත්තේදීත් තියෙනවා. පොඩි පුතා සංස්කරණය කරනවා. මහත්තයා විධායක නිෂ්පාදන අංශය භාරව සිටිනවා. මූල්‍යමය අංශය සොයා බලන්නේ ලොකු පුතා.

ඉදිරි නිර්මාණ කටයුතු?

පවුලේ හැමෝම වෙනුවෙන් තමයි කුරුළු පිහාටු නිෂ්පාදනය කළේ. ඇත්තටම ඉදිරියටත් ඒ වගේම හැමෝටම බලන්න පුළුවන් ටෙලි නිර්මාණ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

අජානි පෙරේරා

නිෂ්පාදිකා - බිඟු

“කලාවට අපි හැමෝම ආදරෙයි. හොඳ නිර්මාණයක් කිරීම තුළින් ලබන සතුට වචනයෙන් විස්තර කරන්න අමාරුයි. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට වගේම සිනමාවටත් නිෂ්පාදනයෙන් දායක වෙන්න ලැබීම ගැන හිතේ තියෙන්නේ ලොකු සතුටක්.”

ටෙලි නාට්‍ය නිෂ්පාදනයට පිවිසීමට විශේෂ වූ හේතුව?

මම කොහොමත් කුඩා කාලයේ පටන්ම කලා ක්ශේත්‍රයට විශේෂ ඇල්මක් වගේම ලැදියාවක් දැක්වූ කෙනෙක්. ඒ නිසා මගේ හිතේ රංගනයටත් ලොකු කැමැත්තක් තියෙන්නේ. මම වෘත්තීය වශයෙන් ව්‍යාපාරවල නිරත වුණත් හොඳ කලා නිර්මාණයක් කරන්න උනන්දුව හැමදාම තිබුණා. ඒ නිසා තමයි ‘සොඳුරු වසන්තේ’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ.

කාන්තාවක ලෙසින් නිෂ්පාදන කාර්යයේදී මුහුණ දෙන අභියෝග?

නිෂ්පාදන කාර්යය ලොකු වගකීමක් සහිත දෙයක් වුණත් එය අපහසු තත්ත්වයට පත් වෙන්නේ අපේ කලාකරුවන් නිසාමයි. ඔවුන්ගේ සහයෝගය නිෂ්පාදන කටයුත්තට විශාල ශක්තියක්. බිඟු නිෂ්පාදන කාර්යයේදීත් මට ලොකු අපහසුතාවයකට පත් වෙන්න සිදු වුණා. නිර්මාණයේ සාර්ථකත්වයේ කොටසක් නළු නිළියන් සතුවත් පවතිනවා. මිතුරුකම නිසාම මම ඒ වෙනුවෙන් දායක කරගත් නළු නිළි යුවළක් මට නිර්මාණයෙන් අයින් කරන්නත් සිදු වුණා.

අපි හැමවිටම උත්සාහ කරන්නේ හොඳ නිර්මාණයක් එළිදක්වන්නයි. ඒ නිසා ලබා දෙන්න පුළුවන් උපරිම පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවිටදීත් හදිසියේ ඇති වූ කරදරයකදි නළු නිළියන්ගේ සහයෝගය අපට නොලැබෙනවා නම් මේ වගේ තීරණත් අපට ගන්න සිදු වෙනවා.

ඉදිරි නිර්මාණ කටයුතු?

මොන තරම් බාධක අභියෝග එල්ල වුණත් කලා ලොවෙන් මිදෙන්න නම් මට හිත දෙන්නේ නැහැ. නැවතත් ටෙලි නාට්‍යයක් වගේම චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා.