වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




ජිවිතේ පළමු වතාවට බිත්තර ආප්පයක් කෑවේ ශී‍්‍ර ලංකාවේදී

ජිවිතේ පළමු වතාවට බිත්තර ආප්පයක් කෑවේ ශී‍්‍ර ලංකාවේදී

විශිෂ්ට ඉන්දීය නළු ඕම් පූරි ලංකාවේදී කළ පළමුවෙනි සංවාදය

පුද්ගලිකව වැඩ අධික කාලයක්. එනමුත් ලංකාවේ රූ ගත කරන දැවැන්තම හොලිවුඩ් චිත්‍රපටය පසෙකින් තිබියදී ඒ ගැන අවධානය යොමු නොකරම බැරිය.මේ ලියන මොහොතෙත් ලංකාවේ රමණීයම දර්ශන තල වල දිවා රෑ නොබලා රූ ගත වන ‘සෝලාර් ඉක්ලිප්ස්’ චිත්‍රපටයේ කටයුතු වලට ලංකාවේ පසින් විශාල දායකත්වයක් ලබා දේ. අපි ඒ ගැන පසුවට ලියමු. අදඅපේ කතා නායකයාද සෝලාර් ඉක්ලිප්ස් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පන පොවයි. ඒ සඳහා මේ දිනවල ඔහු ශ්‍රී ලංකාවේ කාර්යබහුල කාලසටහනකට අනුගත වී සිටී.

දැනට 65 වන වියේ පසුවන ඕම් රාජේශ් පූරිහින්දි සිනමාවේ ජෙෂ්ටයෙකි, දැවැන්තයෙකි. 1975 දී ‘චෝර් චෝර් චුප්කේ’ චිත්‍රපටයෙන් රංගනයට අවතීර්ණ වූ ඔහු බොලිවුඩය අතික්‍රමණය කොට හොලිවුඩය සහ ඉංග්‍රීසි සිනමාව ද ජයගත්තෙකි. එමෙන්ම ඔහු ඉන්දියාවේ රංගනය ගැන විදිමත් අධ්‍යාපනය ලත් ඇකඩමි අභාශයේ රංගධරයෙකි.ඔහු ගැන සෙවීමේ පිපාසාවෙන් යු ටියුබ් ජාලය පිරික්සද්දී එහි අපූරු වීඩියෝ පටයක් විය. ‘අනුපම් කේර් ෂෝ’ නම්ඒ ඉන්දීය රූපවාහිනී වැඩසටහන මෙහෙයවන්නේ ඕම් පූරි ගේ සමකාලීන ප්‍රවීණයකු වන අනුපම් කේර් ය. ඔහුගේ වැඩසටහනේ ආරාධිතයන් වන්නේ තවත් සමකාලීනයකු වන නස්රුදීන් ෂා සමගින් ඕම් පූරිය.වැඩසටහනේ ගලා යාම අනුව පළමුව පැමිණෙන්නේ නස්රුදීන් ෂා ය. එකෙනෙහිම ඕම් පූරි පැමිණෙන විට අනුපම් සමගින් නස්රුදීන් කපා හෙළු කෙසෙල් කඳන් මෙන් ඕම් පූරිව වන්දනා කරයි. ඒ ගෞරව සම්ප්‍රයුක්ත ආකාරයෙනි. එතරම්ම ඕම් පූරි ප්‍රතිරූපය දැවැන්ත එකකි.

එමෙන්ම බ්‍රිතාන්‍ය රජයෙන් පිදෙන ඉහලම සම්මානයක් වන ‘ඕඩර් ඔෆ් බ්‍රිටිෂ් එම්පයර්’ සම්මානයෙන් පිදෙන ඔහු ඉන්දියාවේ අග්‍රගන්‍ය පුරවැසියන්ට පිදෙන ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන්ද පිදුම් ලබයි. ෆිල්ම් ෆෙයා සම්මාන ලබන හෙතෙමවරෙක බැෆ්ටා සම්මානයද ලබයි. ඕම් පූරි ගේ නාමය පසුගිය සමයේ ඉන්දියාවේ වැඩිපුරම කතා බහට ලක් වූයේ ඔහු පළමු වරට පකිස්තානයේ චිත්‍රපටයකට සම්බන්ධ වීමත් සමගය. ඔහු ඒ ගැනද අප සමග අදහස් දැක්වූවා. ලංකාවේ හින්දි සිනමා ලෝලීන්ට මෑත කාලයේ ඔහු වැඩියෙන්ම සමීප වූයේ දබාන්ග්, බිල්ලු බාබර්, අග්නීපත්, සිං ඉස් කිං, ඩොන් 1 හා 2 වැනි ජනප්‍රිය චිත්‍රපට හරහාය. එමෙන්ම ටොම් හෑන්ක්ස් සමග රඟපෑචාර්ලි විල්සන්ස් වෝ, ද රිලක්ටන්ට් ෆන්ඩමන්ටලිස්ට්, ද හන්ඩ්‍රඩ් ෆුට් ජර්නි, ඊස්ට් ඉස් ඊස්ට්, මයි සන් ද ෆෑනටික් වැනි හොලිවුඩ් සහ බ්‍රිතාන්‍ය චිත්‍රපට වලද ඕම් පූරි විශිෂ්ට නමක් තබා ඇත.

ඔහුගේ තතු කෙසේ වුවද දැඩි පරිශ්‍රමයකින් පසු ඔහුගේ හෝටල් කාමරයට ගියෙමි. ඔහුගේ කාලයට ගරු කල නිසා මම ලංකාවේ ‘වෙලාවට’ වැඩ නොකලෙමි.ධූප ගන්ධයක් ආග්‍රහණය කරගනිමින්ම ඇතුලට වැදි නිසාදෝමා ඔහුගේ වෘත්තීය පෞරුෂයට සම වැදුනා සේය.සැහැල්ලු අකාරයෙන් පිළිගත් ඔහු හා මා අතර ඇතිවූ සංවාදය මෙසේය.

මම හිතන විදිහට ‘සෝචාර් ඉක්ලිප්ස්’ කියන්නේ ඉන්දියාවේ පශ්තාත් ගාන්ධි සමය නිරූපණය කරන්නක්..

නැහැ. පශ්චාත් ගාන්ධි අවධියට වඩා මෙයින් නිරූපණය කරන්නේ ජීවත්ව සිටින ගාන්ධි ගේ සමය ගැන. චිත්‍රපටය වඩාත්ම යොමු වෙන තැන තමයි ගාන්ධිගේ ඝාතන කුමන්ත්‍රණය. එක්තරා රැඩිකල් මතධාරී කණ්ඩායමක් ගාන්ධි තුමන් ඝාතනයට සුදානම් වීමත් පොලිසිය විසින් ඒ බව දැනගන්නට යෙදීමත් යන කාරණා තමා මේ චිත්‍රපටයට පදනම් වෙන කරුණු. ඒ සිද්ධීන් තමා චිත්‍රපටය හරහා ගොඩ නැගෙන්නේ.

මේ වගේ ඉන්දියානු සන්ධර්භයේ කතාවක් ඉන්දියාවේ රූ ගත කරන්නේ නැහැ. ඒ අවස්ථාව ලංකාවට එනවා.

මුලිකවම වුනේ ඉන්දියානු රජය මේ සඳහා ඉඩ නොදීම. ගාන්ධි ඝාතනය නිසා ඇතිවුණු තත්වයන් නිසා ඉන්දියාවට අවශ්‍යයි යම් යම් කරුණු සඟවන්න. ඔවුන් විශ්වාස කරනවා ඒ දේවල් හෙළිදරවු වුනොත් වෙනත් ප්‍රශ්න ඇති වේවි කියලා.

ඒ කියන්නේ ඒ දේ මත භේදයකට තුඩු දෙනවා කියන එකද?

අනිවාර්යෙන්ම ඒ දේ නැවත මත භේදයකට තුඩු දෙනවා. ගාන්ධි ඝාතනය නිසා අතීතයේ බෝම්බායේ කල්කටාවේ වුනා වගේම බොහෝ කලබල කාරී වටපිටාවකට ඉන්දියාව ලක් වේවි කියන මතය ඔවුන් දරා තිබෙනවා.

එතකොට මේ චිත්‍රපටයේ ඔබේ චරිතය කොයි ආකාරයේ එකක්ද?

මගේ චරිතය වෙන්නේ එවකට ඉන්දීය පොලිස් ප්‍රධානියාගේ චරිතය. ඔහු තමයි නිදහස් ඉන්දියාවේ පළමු පොලිස් ප්‍රධානියා. 1948 ගාන්ධි ඝාතන කුමන්ත්‍රණය සිද්ද වෙන මොහොතේ ගාන්ධි ගේ ආරක්ෂාව ගැන ඔහුට වගකීමක් පැවරෙනවා. ඔහුට එක මොහොතකදී උවමනා වෙනවා පුද්ගලික දේපලක් වුවත් ගාන්ධි තුමා පදිංචි වී සිටි දිල්ලියේ බිර්ලා හවුස් නිවාසයට එන සියලුම දෙනා පරික්ෂා කරන්න. නමුත් මේ දේට ගාන්ධි තුමා කැමති වෙන්නේ නැහැ. ඔහු එහිම ඝාතනය වෙනවා.

ඔබ හිතනවද චිත්‍රපටය සඳහා ලංකාව තුල ඉන්දියාව නැවත ප්‍රතිෂ්ටාපනයකරන එක ලංකාවට හැකි වැඩක් කියලා?

අනිවාර්යෙන්ම. නිදහසෙන් පස්සේ ඉන්දියාව අද වෙනකොට ගොඩක් වෙනස් වෙලා. ශ්‍රී ලංකාවත් එහෙමයි. බටහිර ජාතින් ඉන්දියාව අතීතේ පාලනය කළා. ශ්‍රී ලංකාවත් එහෙම පාලනය වුනා. ඒ නිසා ලංකාවත් ඉන්දියාවට බොහෝ දුරට සමානයි. ලංකාවේ ජනතාවත් ඉන්දියානුවන් වගේ. ඒ වගේමයි ඇඳුම් පැළඳුම් ගත්තත්. ඔබ අද කලිසම් ටී ෂර්ට් අඳීනවා වගේ තමයි මමත් අද කලිසම් ටී ෂර්ට් අඳීනවා. ඒ නිසා ලංකාවට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.

එයින් අදහස් කරනවා මෙවැනි දැවැන්ත චිත්‍රපට කිරීමෙහිලා ලංකාව සාර්ථකයි කියලා...

ඔව්. හෙට ලංකාව තීරණය කළහොත් අපි චිත්‍රපටයක් කරනවා හින්දියෙන් හෝ ඉංග්‍රීසියෙන් කියලා ඒ දේ කරන්න අනිවාර්යෙන් පුළුවන්. එහෙම නොකර ලංකාවේ දේවල් වලින් පමණක් යැපුනොත් කොහොමද වියදම් කරපු මුදල් නැවත හොයාගන්නේ. හැකි තරම් ජාත්‍යන්තරෙත් එක්ක ගනුදෙනු කරන තරමටයි ලංකාව සාර්ථක වෙන්නේ.

ඔබ මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවද?

මම වසර 40 ක් තිස්සේ විවිධ රටවල සිනමාවත් එක්ක සිනමා උළෙලවල් එක්ක ගනුදෙනු කළා. නමුත් ලංකාවට නං එන්න බැරි වුනා. කුඩා කාලේ හැම දරුවෙක්ම වගේ මම ලංකාව ගැන දැනගත්තේ රාම රාවණා කතන්දරයෙන්. ඒ වගේමයි නම ඇසුවත් බය වෙන ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම. මම ඔවුන්ටත් ගොඩක් කැමතියි.

පසුගිය දින කිහිපයේ ඔබ ලංකාවේ අසිරිය බලන්න ගියා කියලා මට ආරංචියක් ලැබුනා...

ඔව්. මේ මම ලංකාවට ආපු ප්‍රථම වතාව. මට අලි බලන්න ආසාවක් ආවා. ඒ නිසා මම පින්නවල ගියා. යනකොට තමයි දැක්කේ ලංකාවේ අසිරිය. මේක ඉතාම සුන්දර රටක්. හරිම ලස්සනයි. ඒ වගේම හරිම පිරිසිදු රටක්. බොහොම සුහද ලස්සන හදවත් තියෙන මිනිස්සු ලංකාවේ ඉන්නේ. ඒ වගේම ලංකාවේ තේ වලට මම හරිම ආසයි. ඒවා ලෝකේ ඉස්තරම්ම ඒවා. මෙහෙ හදපු චිත්‍රපටයේ දර්ශන තලත් ඉතාම ලස්සනයි. මට මතක් වුනේම ඉන්දියාවේ කේරල ප්‍රාන්තය. එහෙත් මෙහෙ වගේමයි. පොල් ගස් කෙත් වතු කඳු කේරලේ වගේමයි. ඒ වගේමයි මම ලංකාවේ දැක්ක තවත් සුන්දර දෙයක් තමා කුණු කසල පාරේ නොතිබීම. ඒ අතින් ලංකාව හරි පිරිසිදුයි. ඉන්දියාවේ වගේ සත්තු පාරවල් දිගේ එහෙ මෙහෙ යන්නෙත් නැහැ. ලංකාවේ පැරණි ගෘහනිර්මාණ ශිල්පය මෙන්ම අලුත් ඒවත් ලංකාවේ ඉතාම ලස්සනට තිබෙනවා. මං මිලදී ගත්තා ලක්සලෙන් විසිතුරු බඩු වගයක්. ඒවත් ලෝකේ අනෙක් රටවල සිහිවටන වලට දෙවෙනි නැහැ.

ඔබට ලංකාව ගොඩක් දැනිලා වගෙයි?

නැතුව. අර ඔයගොල්ලෝ කන ඉදියාප්පම් (ඉදියාප්ප) පොල් සම්බෝලෙත් එක්ක කනකොට හරි අගෙයි. ඒ විතරක්යැ මම අප්පම් (හින්දු සම්ප්‍රදායේ ආප්ප සහ ලංකාවේ ආප්ප අතර වෙනස්කම් ඇත) කාලා තියෙනවා ඕන තරම්. ඒත් මැද්දට බිත්තරයක් දාල බිත්තර ආප්ප කෑවේ ජිවිතේ පළමුවෙනි වතාවට.

ඔහුගේ හිත ලංකාවේ හැම තැනම ගොසිනි. මාගේ ප්‍රශ්න ඇසීම නැවතී ඔහු මගෙන් ප්‍රශ්නඅසන්නට පටන් ගත්තේ ඔහු ලංකාවේ හතර වටේ සුන්දරත්වයට වශී වු නිසාය. මගේ මාර්ගෝපදේශන අවසාන වූ සැනින් මා පැවසුවේ කේරලයේ සහ ලංකාවේ ඔහු නොදන්නා සමානකමක් ගැනය. ඒ මධු විත සප්පායමේදී ඉන්දියාවේ වඩාත්ම ඉදිරිගාමී වැසියන් වන්නේ කේරල වැසියන්ය. ලංකාවේ තැබෑරුම් පෝලිම් කේරලයට සමානය. විටෙක ලංකාවට වඩා කේරලයේ තත්වය දරුණුය. එයට ප්‍රතිචාර දැක්වූ ඕම් පූරි සිනාමුසු මුහුණින් පැවසුවේ ‘හැබැයි ලංකාවේ කිසි විටකත් බීමතින් ඉබා ගාතේ යන පුද්ගලයන් නුදුටු බවයි’ ලංකාවෙන් මා හැරුනේ පකිස්තානය වෙතටයි.

ඔබ පකිස්තානයේ චිත්‍රපටයක් වෙනුවෙන් ළඟදී දායකත්වය සැපයුවා නේද?

ඔව් ඉතාම ළඟදී තමා ඒ චිත්‍රපටයේ වැඩ ඉවර කළේ. චිත්‍රපටයේ නම ‘ඇක්ටර් ඉන් ලෝ’. ඒක ‘බෝල්’, ‘කුඩා කේ ලියේ’ චිත්‍රපට හා සමානම චිත්‍රපටයක්. පකිස්තානයට විශාල චිත්‍රපට කර්මාන්තයක් නැහැ. ඔවුන්ගේ ටෙලිවිෂනය තමා ජනප්‍රියම.

ඒ පකිස්තානු සංචාරය මත භේදයට තුඩු දෙන්න ඇති නේද?

කොහෙත්ම නැහැ. මම පකිස්තානයටපස් වතාවක් ගියා. මට කිසිම ආකාරයක බලපෑමක් එල්ල වුනේ නැහැ. පකිස්තානු ජනතාව ආගන්තුක සත්කාර දන්නා පිරිසක්. කිසිම මොහොතක ඔවුන් අපි ගැන වෛරී ප්‍රකාශ කරලා නැහැ. ඔවුන් ඉන්දියාවට ඉතාම කැමතියි.

ඔබේ රංගනය පිලිබඳ අධ්‍යාපනය විධිමත්. මා අසා තිබෙන විදිහට ඔබ පූනේ හි පිහිටි ‘ඉන්දියානු රූපවාහිනී හා චිත්‍රපට අභ්‍යාස ආයතනයෙන්’ බිහිවූ රංගධරයෙක්.

මම පූනේ අභ්‍යාස ආයතනයට අවේ 1974 දි. හැබැයි මම රංගනය මුලින්ම ඉගෙන ගත්තේ දිල්ලියේ පිහිටි ‘ජාතික නාට්‍ය පාසලේදී’ එතැනින් තමයිමම රංගනය ගැන හොඳම අධ්‍යාපනය ලැබුවේ. මට පූනේ එන්න වුනේ බොම්බායේ චිත්‍රපට කර්මාන්තය හා දිල්ලියේ ජාතික නාට්‍ය පාසැල සමග විශාල සබඳකම් නොතිබිච්ච නිසා. ජාතික නාට්‍ය පාසලේ විෂය මාලාව හරි විධිමත්. සැලසුම් සහගතයි. කෙනෙකුට අවශ්‍ය නළුවෙක් වෙන්න වුනත් එහි පළමු වසරේදී කලාව සම්බන්දයෙන් සියල්ල ඉගෙන ගත යුතුයි. එවිට ඔහු රංගනය අධ්‍යක්ෂණය,වේශ නිරුපණය ආදීසියල්ල ඉගෙන ගන්නවා. දෙවෙනි වසරේදී තමා ඔහු තමන්ට අවශ්‍ය පැත්ත තෝර ගන්නේ. නමුත් රූපවාහිනී හා චිත්‍රපට අභ්‍යාස ආයතනයේ එහෙම නෑ. මට එයින් ලබා ගන්න අමුතු පුහුණුවක් තිබුනේ නැහැ. හැබැයි පූනේ අභ්‍යාස ආයතනයෙන් තමා මම ලෝක සිනමාවත් එක්ක සම්බන්ධ වෙච්ච තැන. අපිට හැමදාම දේශන අවසානයේ හැන්දෑවට චිත්‍රපට ප්‍රදර්ශනය කරනවා. අපි පෝලන්ත, ජපාන, චීන, ඉංග්‍රීසි වගේම මලයාලම්, බෙංගාලි සිනමාව ගැන වැඩියෙන් අධ්‍යනය කරන්න ගත්තේ ඒ නිසා. කොහොම වෙතත් පූනේ ආයතනයේ රංගන පාඨමාලාව අදටත් දුර්වලයි. නමුත් අනෙක් පාඨමාලා විශිෂ්ටයි.

මා අසා තිබෙන විදිහට ඔබේ සමකාලීන ප්‍රවීණ නළු නස්රුදීන් ෂා ඔබත් සමග පූනේ වල අධ්‍යාපනය ලැබුවා...

ඔව්. පූනේ වලටත් කලින් ඔහු මට මුණගැසුනේ දිල්ලියේ ජාතික නාට්‍ය පාසලේදී. ඊට පස්සේ තමා අපි පූනේ වලත් එකට හමු වෙලා වැඩ කටයුතු කළේ.

වෙනත් රංගධරයන් ටවගේම ඔබටත් ඉන්නට ඇති රංගන පරමාදර්ශයන්...

දිලිප් කුමාර්, බාල්රාජ් සහානි,මෝතිලාල් වගේම ධාරා සිංග් කියන්නේ මම වැඩියෙන්ම අගය කරපු චරිත. එයිනුත් මම ධාරා සිංග් ට වැඩියෙන්ම කැමතියි. මොකද ඔහු යථාර්තය නිරුපණය කරන අන්දම මගේ ගොඩක් සිත් ගත්තා.

 ඒ කියන්නේ යථාර්තවාදී චරිත නිරුපණය තමයි ඔබව රංගන ශිල්පියෙක් ලෙස ගොඩනැගෙන්න හේතුව?

ඇත්තෙන්ම ඔව්. මම සමාජ සන්නිවේදනය ගැන උනන්දුයි. ළමා අවධියේ ඉදන්ම මම ජිවිතයේ යථාර්තය ගැන හිතපු කෙනෙක්. මිනිස්සු දුප්පත් වෙන්නේ කොහොමද ඒඅය එහෙම ඉද්දි පොහොසතුන් ඉන්නේ කොහොමද කියන මේ අන්ත ගැන කල්පනා කලා. ඒ දේවල් මට නිරුපණය කරන්න කරලා පෙන්නන්න ආසාවක් ඇති වුනා. ඒ නිසාමයි මම නාට්‍ය කණ්ඩායමකට බැඳීලා ඒ සමාජ අත්දැකීම් ලබාගත්තේ.

ඔබේ ජාත්‍යන්තර රංගන පරිචය ඉතා විශිෂ්ටයි. ඒ වගේම ඔබ එහි සම්මාන ලාභියෙක්. ඒ ගැන ඔබේ මතකයේ තිබෙන දේ මට කියන්න.

මගේ අත්දැකීම් හරි ප්‍රසන්නයි.ඒ වගේම මම කැමතියි ජාත්‍යන්තර තලයේ ඕනෑම කෙනෙක් එක්ක වැඩ කරන්න. චාලි විල්සන්ස් වෝ චිත්‍රපටය මම රඟපාපු විශිෂ්ට චිත්‍රපටයක්. ඒ වගේමයි මට ජුලියා රොබර්ට්ස් එක්කත් වැඩ කරන්න ලැබුනා. ඒ වගේම තමයි හෙලන් මිරෙන් කියන නිළිය. මම අගය කරන ප්‍රවීනම කෙනෙක් තමයි ඇය. මට භාග්‍ය ලැබුනා ඔෆ්රා වින්ෆ්‍රී සහ ස්ටීවන් ස්පිල්බර්ග් එක්ක කටයුතු කරන්න. ඇත්තෙන්ම ඒ මතකයට මම කැමතියි.

කොළඹ අහසත් කළු වීගෙන එන මොහොතක්. ලැබුණු සුළු මොහොතේ හමාර බව මට දැනෙමින් තිබිණ. ලංකාවට අතිශය ආදරය කරන මේමිනිසා මට ඩී.වී.ඩී පටයක් පෙන්වීය. මේකත් ලංකාවේ හදපු චිත්‍රපටයක්. නම‘බොම්බේ වෙල්වට්’ කලකට ඉහතදී ලංකාවේ රූ ගත කරන ලද දැවැන්ත හින්දි චිත්‍රපටයක්.ඒ චිත්‍රපටයට හැදු පසුබිමත් ඔබේ චිත්‍රපටයටත් පාවිච්චි කරන බව ඔහුට කීවෙමි. ඔහු මට උණුසුම් ලෙස සමු දුනි. මට ඔහු නැවත නැවත කීවේ නිවාඩුවක් සඳහා අනිවාර්යනේ ලංකාවට එන බවයි.