වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




ගෙදර ඉන්නේ කොහොමද

ගෙදර ඉන්නේ කොහොමද

සඳුන් විජේසිරිගේ බිරින්දෑ මේ දවස්වල නිතර කියන වාක්‍ය කණ්ඩයක් තියෙනවලු. ඒ 'කවදද ඔයා ගෙදර ඉන්නෙ' කියන එක. මොකද සඳුන් කොයි වෙලාවෙත් දැන් ගෙදර නැහැලු. ඔහුත් ගෙදර ඉන්න ආසයිලු. ඒත් බැහැලු. පාන්දර ජාමෙ ගෙදරින් පිටත්වෙන සඳුන් එන්නේ මහ රෑ ජාමෙ කියලයි නෝන මහත්තයා කිව්වෙ. මොකද අප්පේ මේ සඳුන්ට වෙලා තියෙන්නේ. කොහෙද මෙයා සැරින් සැරේ යන්නෙ? මෙන්න මේකයි කාරණය. ඉතාම දිගු කාලෙකට පසු සඳුන්ට වැඩ ගොඩක් ලැබිලා. ඒ වගේම සමාජ සද්කාර්යයන් ඉහටත් උඩින්.

මේ දිනවල චිත්‍රපට දෙකක සඳුන් රඟපානවා. ඒ උපුල් සුදත් පෙරේරාගේ වීර කුමාරි සහ සංජය සමරකෝන්ගේ ජුදාස්ට එරෙහිව ජුදාස්. චාරිත ධීරසිංහගේ සිනමටෝ ග්‍රැෆික් කියන ටෙලි චිත්‍රපටයේ සඳුන් ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට රඟපෑවා. අතුල සමරවීර වේදිකාවට ගෙනා සූටි ගමරාල රයිගම් බණ්ඩාර කියන වේදිකා නාට්‍යයේ ඔහු ඉන්නවා. ඒ වගේම දයාරත්න රටගෙදරගේ සිත නිවන කතා හි සඳුන් චරිතයකට පණ පෙව්වා. මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගේ සිත් සතුටු කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන වැඩසටහන් සඳහා ගී ගයන්න නිරන්තරයෙන් සඳුන් යනවා. හත් ඉලව්වේ මෙච්චර වැඩ ගොඩක් කරන සඳුන් ලොකු අයියා කොහොමද ඉතින් ගෙදර යන්නේ. වයසට ගියත් හවසට ගෙදර කියලා ජනවහරේ කියමනක් තියෙනවා. සඳුන් හවසටවත් ගෙදර නැත්තේ තවම වයසට ගිහින් නැහැ කියලා හිතාගෙන ඉන්න හින්දා වෙන්න ඇති.