වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood

ඔබාමා ‘රැප්’ කරපු හැටි

අමෙරිකා එක්සත් ජනපදයේ ජනපති බැරක් ඔබාමා විමෝදයට බොහොම ප්‍රිය පුද්ගලයෙක් බව කවුරුත් දන්නා දෙයක්. ලෝක බලවතා ලෙසින් වගකීම් රැසක් සමඟින් කටයුතු කළත් තමන්ගේ ජීවිතයේ විමෝදය වෙනුවෙන් යම් කාලයක් වෙන් කරන්නත් ඔහු අමතක කරන්නේ නැහැ.

පසුගිය දවසක ඔහු හමු වෙන්න අමුත්තෙක් ධවල මන්දියට පැමිණියා. ඒ රැප් ගායක ලින් මැනුවෙල් මිරෙන්ඩා. සාමාන්‍යයෙන් ධවල මන්දිරයට පිරිසක් පැමිණි විටදී ජනාධිපති ඔබාමා ඔවුන් අමතන්නේ එහි වූ රෝස් ගාඩ්න් නම් ස්ථානයේදීයි. නමුත් ලීන්ගේ පැමිණීම සමඟ මේ තත්ත්වය තරමක් වෙනස් වෙලා.

එදින ජනපති ඔබාමා කිසි දිනෙක දැක නැති අපූරු සංගීතමය ක්‍රීඩාවක නිරත වෙලා. ඔබාමා අතෙහි වූ ‘සුප්‍රිම් කෝට්’, ‘නාසා’, ‘ඉමිග්‍රන්ට්ස්’ වැනි වූ වචන, වාක්‍ය, විවිධ නාමයන් සඳහන් වූ කාඩ් පත් පෙන්වන විට ලීන් ඒවා යොදා ගනිමින් අපූරු රැප් ගීතයක් ගායනා කිරීම තමයි සිදු කළේ. ලීන්ගේ රැප් ගීතය ජනපති ඔබාමාට ඉමහත් විනෝදයක් ගෙන දෙන්නක් වෙලා. “එය බොහොම සිත් ඇද ගන්නා දෙයක්’ යැයි ජනපති ඔබාමා පවසා තිබුණා. මේ දෙදෙනා හරි හරියට මේ අපූරු සංගීත ක්‍රීඩාවේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවත් දැන් අන්තර්ජාලයේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් සැරිසරනවා.

ඒකත් එකක්

හොලිවුඩ් නළු බෙන් ඇෆ්ලෙක් ජෙනිෆර් ගානර් සමඟින් තිබූ විවාහයට තිත තැබීම දැන් ප්‍රසිද්ධියට පත් කරලා. බැට් මෑන් වර්සස් සුපර් මෑන් චිත්‍රපටයේ ප්‍රචාරණය වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවකදී බෙන් මේ බව සඳහන් කළා. ඊට පෙර ජෙනිෆර් එය මාධ්‍යයට හෙළි කිරීම සම්බන්ධයෙන් ඔහු සිටියේ අධික කෝපයෙන්.

විවාහය වගේම දික්කසාදයත් හොලිවුඩයට සාමාන්‍ය දෙයත්. මේ දෙන්නත් විවාහය දික්කසාදයකින් අහවර කරන්න තීරණයට එළැඹුනත් දෙදෙනාම හොඳින් සිටින බවයි බෙන් පවසන්නේ.

“ජෙනී හරිම හොඳ කාන්තාවක්. ඇත්තටම මම කැමැතියි ඇය දකින්න. මම මගේ ජීවිතය ඉදිරියේදී ඇයගෙන් වෙන්වී ගත කරන්න තීරණය කළත් ඇය සහ අපේ ළමයින් නිතර මා හමු වේවි. ඒ වගේම තමන්ගේ තාත්තා බැට්මෑන් තාත්තා කෙනෙක් වීම ගැන මගේ පුතා ගොඩක් සතුටින් ඉන්නේ” බෙන් පවසනවා.

ලොවට හොරා සෙලීනා

ගායනයෙන් සේම රංගනයෙන් ලොවම වසඟ කළ සුරූපිණියක ලෙසින් සෙලීනා ගෝමස් ඉහළ ප්‍රසිද්ධියක් ලබා ගෙන තියෙනවා. ඒ වගේම ගායක ජස්ටින් බීබර් සමඟින් වූ ප්‍රේම සම්බන්ධය නිසාත් ඇයගේ නම නිතර කියවුණා. බීබර් සමඟ සම්බන්ධය නම් පැවතුනේ තරහ වෙමන් සහ යාළු වෙමින්.

මේ වතාවේ නම් දෙදෙනා දෙපැත්තට වුණේ ආයෙමත් එක් වෙන්න නොවෙයි කියලයි දෙදෙනාගේම සමීපතමයන් කියන්නේ. මේ නිසා සෙලීනාට අලුත් හොඳ සබඳතාවයක් පටන් ගන්නත් අපහසු තත්ත්වයක් උදා වෙලා. සෙලීනා ළඟම මිතුරු මිතුරියන්ට කියලා තියෙන්නේ හැමදාම තනිකඩව ඉන්න කැමැති බවයි.

ඒ වුණත් ඇය එක් වතාවත් බිබර් සමඟ සබඳකම නැති කාලයක සෙඩ් නැමැති පුද්ගලයෙක් සමඟින් මෙන්ම ඊට පසු අවස්ථාවකදී ගායක නියොල් හොරාන් සමඟින් සබඳකම් පැවැත් වූ අයුරු කාහටත් රහසක් නොවෙයි.

මැඩෝනා, මොකද මේ ?

සංගීත ක්ශේත්‍රයේ ඉහළ ප්‍රසිද්ධියකට හිමිකම් කියන මැඩෝනා දැන් වෙනස් චරිතයක් බවට පත් වෙලා කියලා ආරංචි වෙනවා. ඇයගේ පුතා රොකෝ රීච් මීට සති කිහිපයකට පෙර ඔහුගේ පියා සමඟින් පදිංචි වීම නිසා මැඩොන්ගෙන් වෙන් වී ගියා.

වයස අවුරුදු පනස් හතක් වූ තැන ඇය දැන් විකාර දේ කියවන බවට ඇතැමුන් චෝදනා කරනවා. සංගීත සංදර්ශන සඳහා සහභාගිවීමේදී ප්‍රේක්ෂකාගාරයේ රසික රසිකාවන්ට පෙනෙන සේ මත් පැන් පානය කරන්නත් ඇය පුරුදු වෙලා.

ඒ විතරක් නොවෙයි හරිම මුරණ්ඩු ගතියක් ඇයගෙන් දකින්න ලැබෙනවා කියලා හොලිවුඩයෙන් ආරංචි වෙනවා. පිළිවෙලක් නැති ජීවන රටාව නිසා ඇයගේ ගීතවල පසුබැස්ම සංගීත දර්ශකවලත් පෙන්නුම් කරලා.

එහෙමත් වෙනසක්

2012 වසරේදී ‘මෙන් ඉන් බ්ලැක් 2’ චිත්‍රපටයෙන් හොලිවුඩයට පැමිණි ජේඩ්න් ස්මිත්හට 2010 වසරේදී ‘ද කරාටේ කිඩ්’ චිත්‍රපටය නිසා ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. රැප් ගායකයෙක් ලෙසත් ඔහුට දැන් ලොකු ජනප්‍රියත්වයක් හිමි වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් දැන් දහහත් වැනි වියේ පසුවන ජේඩ්න් ගැන කවුරුත් කතා කරන්නේ ඔහුගේ ඇඳුම් මෝස්තර නිසා.

ළඟදි දවසක ජේඩ්න් සායක් ඇඳගෙන අවධානයට ලක් වුණා. ඇතැම් වෙලාවට ඔහු ස්ත්‍රී, පුරුෂ භාවය ගැන හිතන්නේවත් නැති බව බොහො දෙනා පවසවා. ඔහු මේ පිළිබඳ පවසන්නේ මෙවැනි කතාවක්. “මං හිතන්නේ මිනිස්සු කාන්තා හෝ පිරිමි ලෙස වෙන් කරලා විලාසිතා කරන්න ඕනි නැහැ. ඇත්තටම ගැහැනු පිරිමි ලෙස ඇඳුම්වල වෙනසක් නොතිබිය යුතුයි. මම නම් පිරිමියෙක් ගැහැනු ඇඳුම් ඇඳීම ගැන වෙනසක් දකින්නේ නැහැ.