වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




මං රඟපාන්නේ චිත්‍රපටවල පමණයි

මං රඟපාන්නේ චිත්‍රපටවල පමණයි

වීරවර්ණ චිත්‍රපටයෙන් දොරට වඩින අලුත්ම නිළිය
මල්ෂි මද්දුමගේ

වීරවර්ණ සිනමාපටය සමඟින් රිදී තිරයට පායා ආ මේ තාරකාව නමින් මල්ෂි මද්දුමගේ ලෙසට මම ඔබට හඳුන්වා දෙමි.

වීරවර්ණ සිනමාපටයේ කවුද ඔබ?

මම අයේෂා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය?

ඔව්.

කොහොමද ඔබට වීරවර්ණ සඳහා අවස්ථාව ලැබෙන්නේ?

සම්මුඛ පරීක්ෂණයක් හරහා තමයි මට අයේෂාව හිමිවන්නේ.

ඒ ගැන වැඩි විස්තර කියමු?

මං පොඩි කලේ ඉඳලා රඟපාන්න ආසයි. ඒ සඳහා අවස්ථාවක් සොයමිනුයි හිටියේ. ඔය අතරේ මට දැනගන්නට ලැබුණා බස්නාහිර පළාත් සෞන්දර්ය ආයතනයේ අලුත් චිත්‍රපටයකට කට්ටිය ගන්න ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා. ඉතින් මං ඒකට ගියා. ඉන් සමත් වුණා. වීරවර්ණ අධ්‍යක්ෂතුමා වන ෂාහිරු රණසිංහ මහත්මයා තමයි මාව මේ චරිතයට තෝර ගත්තේ.

මොකද හිතුණේ?

ගොඩක් බය හිතුණා.

පළමු රංගන අත්දැකීම හින්දා වෙන්න ඇති?

ඔව්. ඊටත් වඩා ඒක අභියෝගාත්මක වීර චරිතයක්.

හා හා පුරා කියලා ඔබට රඟපාන්න තිබුණේ ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක?

ඒක නම් ඇත්ත. රවින්ද්‍ර රන්දෙණිය, සිරිල් වික්‍රමගේ වැනි අයත් එක්ක මට රඟපාන්න තිබුණා. ඔවුන් මගේ ලෝකේ වීරයන්. ඒ වගේ ඒ අයත් එක්ක පළමු රංගනය ඉදිරිපත් කරන්නට ලැබීම භාග්‍යයක් කොට මා සලකනවා.

වීරවර්ණහි අයේෂා වෙද්දී අමුතු අමුතු අත්දැකීම්වලට ඔබ මුහුණ දුන්නා කියලා දැනගන්නට ලැබුණා?

අමුතු අමුතු අත්දැකීම් කියනවාට වඩා ඒවා හරි භයානක අත්දැකීම්. එකක් සිදු වුණේ රූමස්සලදී. ඒ කන්දෙදි ගල් ගොඩක් උඩ තමයි අපි එදා හිටියේ. එහා පැත්තේ මුහුද. රූගත කිරිම් අතරතුරදී මාව ලිස්සුවා, පහළටම ලිස්සුවා. එතැන හිටපු ඉමේෂා සහ සංකල්ප කියන මගේ මිතුරන් දෙන්නා තමයි පැනලා බේර ගත්තේ. නැත්නම් මුහුදට වැටෙනවා.

තව දවසක් හොරෙක් මගේ පසුපස එලවාගෙන එන දර්ශනයක් තිබුණා. ළඟ තිබුණු පොල්ලක් ඔහුගේ ඔළුවෙ වැදිලා ලේ ගලන්න ගත්තා. ලේ දැකලා මම බය වුණා හොඳටම. ඔහු බය වුණා මං බය වෙනවා දැකලා. ඔළුවෙන් ලේ එන එක ගැන හිතීම පැත්තක කියලා ඔහු මාව සැනසුවා.

සෑහෙන්න ආපදා සිදු වෙලා තියෙනවා ඔබට වීරවර්ණ කරද්දී?

ඒක තමයි. ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. ආපදාම තමයි වුණේ.

මල්ෂිගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

සිනමා නිළියක් වීම තමයි.

එතකොට ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැතිද?

නැහැ.

ඇයි ඒ?

මම වඩාත් කැමැති සිනමාවට. ඉස්සර නම් හැම නිර්මාණයකටම දායක වන්නට කැමැත්තෙන් හිටියා. ඒත් වීරවර්ණ රඟපෑවට පස්සේ මට හිතුණා සිනමාවෙම පමණක් රැඳී හිටියොත් හොඳයි කියලා.

කවදා හරි සම්මානනීය වන්නටත් හිතක් තියෙනවා වගෙයි?

මොකද නැත්තේ. මං කවදා හරි මේ රටේ සම්මානනීය සිනමා නිළියක් වෙනවාමයි.

මොනවද ඔබ ඒ වෙනුවෙන් කරන්නේ?

කියන්න කනගාටුයි, අපේ රටේ සිනමාව ගැන හදාරන්න විධිමත් තැනක් නැහැ. ඒක විශාල පාඩුවක්. ඒත් මං ඒවා බලාගෙන ඉන්නේ නැතුව චිත්‍රපට බල බල රංගනය ඉගෙන ගන්නවා.

ඔබ කැමැතිම නිළිය කවුද?

අංක එක මාලිනී ෆොන්සේකා මහත්මිය. දෙවනුව ආසයි බොලිවුඩයේ දීපිකා පදුකෝන්ට.

මල්ෂිගේ ගෙවල් කොහෙද?

මහරගම.

එතකොට ඉගෙන ගත්තු පාසල?

මහරගම විද්‍යාකර බාලිකාව.

මල්ෂි ෆේස්බුක් එකේ ඉන්නවද?

ඔව්. මේ නමින්ම තමයි ඉන්නේ.

තරුණ නිළියක විදිහට ඔබට මොන වගේ ප්‍රයෝජනයක් ද ෆේස්බුක් නිසා ලැබෙන්නේ?

ඇත්තටම ලොකු ප්‍රයෝජනයක් මට ලැබෙනවා ෆේස්බුක් නිසා. මං කරන කලා කටයුතුවල ෆොටෝස් මං ඒකට අප්ලෝඩ් කළාම මට සුබපතලා එවනවා. ගොඩක් අය මං රංගනයට ආවා කියලා දැනගත්තේ ෆේස්බුක් එකෙන්.

ෆේස්බුක් එක කරදරයක් වෙලා නැතිද?

අපෝ නැහැ. කොහෙත්ම නැහැ.

ඔබේ පරපුරේ නිළියන් ජනප්‍රිය වෙන්නට නොයෙක් දේවල් කරනවා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

ඒවා නම් විහිළු වැඩ. ජනප්‍රියත්වය අපට ලැබෙන්න ඕනෑ අපි කරන නිර්මාණත් එක්ක. නැතුව මේ නොයෙක් විකාර කරලා නෙවෙයි. එහෙම වුණාම ගොඩක් දෙනා බය වෙනවා මේ ක්ෂේත්‍රයට එන්න.

මල්ෂි කට කතා ගැන මොකද කියන්න තියෙන්නේ?

කට කතා නම් ඔය හැදෙන්නේ. නමුත් අපි ඒවට බය වෙන්න ඕනෑ නැහැ. කට කතා හැදිලා ඉබේම යටපත් වේවි.

ජනප්‍රිය නළුවකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් මොකද කරන්නේ?

සලකලා බලනවා. මට ඔහු ජනප්‍රිය ද නැද්ද කියන එක නෙවෙයි වැදගත්. ඔහුගේ ආකල්ප ගැන තමයි මං බලන්නේ. එම තැනැත්තා හොඳ නම් ඔහුව මගේ ජීවිතයට ළං කර ගනීවි.

ඔබ කතා කරන අයුරින් පේනවා ඔබට තවම පෙම්වතකු නැහැ කියලා?

ඔව්. තවම වයස 21 යිනෙ.

මල්ෂිට තුති පුදන්න තියෙන්නේ කාටද?

ෂාහිරු රණසිංහ, අජිත් නිශාන්ත සහ නිලන්ත ගුණවර්ධන යන අයට.