වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




ඇරියුම්පතට ඇඩ්ඩ්‍රස් නෑ

ඇරියුම්පතට ඇඩ්ඩ්‍රස් නෑ

හෙළ සිනමා කිවිඳිය හෙවත් අපේ සුමිත්‍රා පීරිස් මහත්මියව ඔන්න මෙවර මගදිගට රස කතා පිටුවට එකතු කර ගත්තා ඊයේ පෙරේදා දිනෙක ඇයට සිදු වූ අපූරු අකරතැබ්යක් හින්දා. ඇය අකැමැති වෙන එකක් නැහැ ඒක පත්තරේ දැම්මට. මෙන්න මේකයි සිදුවීම. ඔන්න මේ ළඟදී සුමිත්‍රා මහත්මියට ඇරැයුම් පතක් ආවා. ඒ පොතක් එළිදැක්වීමක්. සුමිත්‍රා මහත්මිය එම උත්සවය තියෙන දිනය සහ වෙලාව සනිටුහන් කර ගත්තා. ඔන්න එදින උදා වුණා. එම උත්සවයට සහභාගිවන්න හිතාගෙන ලක ලැහැස්ති වෙලා ඇරැයුම්පත අතට ගත්තා. එය තිබෙන තැන කොහෙද කියලා දැනගන්නයි ඇය ඇරැයුම්පත බැලුවේ. මෙන්න වැඩක්. අනෙක් සියලු විස්තර තියෙනවා. උත්සවය තියෙන තැන නැහැ. අඩුම තරමේ ඇරැයුම්පතහි දුරකතන අංකයක්වත් නැහැ. ඇය ඉතින් මේ වැඩේට නොගිහින් ඉන්න හිතුවේ නැහැ. මොකද ඒක වටින පොතක් හින්දා. හතර වටේ ඉන්න හිතවත් අයට කතා කරලා තමයි සුමිත්‍රා මහත්මිය පොත එළිදක්වන තැන හොයා ගත්තේ.