වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




ලෝක නාට්‍ය සැමරුම් උලෙළ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ

ලෝක නාට්‍ය සැමරුම් උලෙළ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ

2016 ලෝක නාට්‍ය දිනය නිමිති කරගනිමින් පැවැත්වෙන සැමරුම් උලෙළ මේ මස 25, 26, 27 වැනි පෙරවරු 9.00 සිට රාත්‍රි දක්වා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වෙයි. ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල ජයවර්ධන හා ප්‍රවීණ නාට්‍යවේදී සයිමන් නවගත්තේගම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මේ උලෙළේ දී අධ්‍යාපන වැඩසටහන් රැසක් ද පැවැත්වෙයි. මේ අධ්‍යාපනික වැඩසටහන් සඳහා ඕනෑ ම කෙනෙකුට සහභාගි විය හැකි අතර මේ මස

25 වැනිදා - මහාචාර්ය කුසුමා කරුණාරත්න, ආරියවංශ රණවීර යන විද්වතුන්ගේ ආරාධිත දේශන දෙකක් පැවැත්වෙන අතර බන්දුල ජයවර්ධනයන් වෙත උපහාර පිදීමක් හා ‘බෙරහඬ’ නාට්‍ය වේදිකා ගතවෙයි.

26 වැනිදා - කේ. කේ. සමන් කුමාර, දීප්ති කුමාර ගුණරත්න යන විද්වතුන්ගේ ආරාධිත දේශන දෙකක් පැවැත්වෙන අතර සයිමන් නවගත්තේගමයන් වෙත උපහාර පිදීමක් හා ‘සුදු සහ කළු’ නාට්‍ය වේදිකා ගතවෙයි.

27 වැනිදා - මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ආරාධිත දේශනයක් පැවැත්වෙන අතර ලාංකේය නාට්‍ය කලාව පෝෂණය කිරීමට සක්‍රීයව දායක වුණු ජයලත් මනෝරත්න, ලූෂන් බුලත්සිංහල, ශ්‍රියන්ත මෙන්ඩිස්, මහාචාර්ය එස්. මවුනගුරු යන නාට්‍යකරුවන්ට උපහාර පිදීමක් හා සුජීව ප්‍රියාල් යක්දෙහිගේ ‘ලෝරන්ස්ගේ මනමාලි’ නාට්‍ය වේදිකා ගතවෙයි.

නෝනි නෝනා අත්හදා බැලීමක් ලලිත් පේ‍්‍රමතිලක

ලලිත් ප්‍රේමතිලක අධ්‍යක්ෂණය කරනු ලබන ඔහුගේ කුලුඳුල් වේදිකා නාට්‍ය නිර්මාණය නෝනි නෝනා හි මංගල දර්ශනය මෙම මස 26 වැනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ රංග ශාලාවේදී රංග ගතවේ. මෙරට දැඩිව පවතින විරැකියාව යන ගැටලුව පදනම් කර ගනිමින් හෙක්ටර් කුමාරසිරි විසින් රචිත පිටපතකට අනුව නිර්මාණය වූ ප්‍රහසනයක් ලෙස මෙය හැඳින්විය හැකිය.

විජයරත්න වරකාගොඩ, රොඩ්නි වර්ණකුල, දීපානි සිල්වා, වසන්ත මුහන්දිරම් සමඟ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ රංගනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනකු නෝනි නෝනා හි රංගන දායකත්වය සපයති. මෙහි අධ්‍යක්ෂ ලලිත් මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වීය.

වර්තමානයේ පවතින හාස්‍ය රැල්ල ගැන මං බලාගෙන හිටියා. ඉතින් මට හිතුණා එයට අත්හදා බැලීමක් ලෙස නෝනි නෝනා වේදිකා ගත කරන්න. මෙය ආරම්භ කොට රිහසල්වලින් අනතුරුව මට මංගල දර්ශනය පවත්වන්න යද්දී තමයි තරු පෙනුණේ. මොකද මේ වන විට ලුම්බිණි, එල්ෆින්ස්ටන් සහ ජෝන් ද සිල්වා කියන රඟහලවල් අලුත්වැඩියා කටයුතු නිසා වහලා දාලා තියෙන්නේ.

අනෙකුත් පෞද්ගලික ශාලා තව කාලයක් යනකම් බුක් කරලා. ඉතින් සෑහෙන මහන්සියක් ගන්න වුණා හොඳ ශාලාවක් හොයා ගන්න. ඔය අතරතුරදි තමයි කොළඹ විශ්ව විද්‍යාලයට යාබදව ඇති බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය පිළිබඳ විස්තර දැනගන්නට ලැබුණේ. මං එහි නෝනි නෝනා හි මංගල දර්ශනය පවත්වන්න තීරණය කළා. මෙය ඕනැම වයස් මට්ටමක ප්‍රේක්ෂකයන්ට රස විඳිය හැකි වේදිකා නාට්‍යයක් කියලා මෙහිදි කියන්නට කැමැතියි.

මෙවර සුන්දර බිරිඳට ප්‍රේමා කපුගේ

විශාරද ගුණදාස කපුගේ අප අතරින් වියෝ වී එළඹෙන අප්‍රේල් මස 03 වැනිදාට වසර 12 ක් සපිරෙයි. ඒ වෙනුවෙන් ධර්ම දේශනයක් සහ දානමය පින්කමක් අප්‍රේල් 02 වැනිදා කපුගේ ගේ නිවසෙහි පැවැත්වීමට නියමිතය. මෙහිදී දහම් දෙසුම පාතේගම ඥානිස්සර හිමියන් විසින් පවත්වනු ලබයි. ලබන සෙනසුරාදා එනම් 26 වැනිදා රාත්‍රී 9 ට සිරස චැනල් වන්හි විකාශය වන සුන්දර බිරිඳ වැඩ සටහන සඳහා පැමිණෙන්නේ කපුගේ ආදරණිය බිරිය වූ ප්‍රේමා කපුගේය.

‘අලුත් හොරෙක් ඕනෑ

මංගල දර්ශනය බිෂොප් ශ්‍රවණාගාරයේදී

අජිත් මෙන්ඩිස්ගේ ‘අලුත් හොරෙක් ඕනෑ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය මේ මස 30 වැනිදා කොළඹ 07 බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී වේදිකා ගතවෙයි.

විජය නන්දසිරි, රොෂාන් පිලපිටිය, සමන් හේමරත්න, සේනක ටයිටස්, මිහිරි ප්‍රියංගනී, කුමාරි සේනාරත්න චරිත නිරූපණය කරන මෙහි සංගීතය ප්‍රවීණ සංගීත සංගීත ශිල්ලී ඇන්තනී සුරේන්ද්‍රගෙනි. වේදිකා පසුතල නිර්මාණය ලුවොලින් වැන්ඩවෝල්ගෙන් වන අතර වේදිකා පරිපාලනය සුමේධ ප්‍රසන්නගෙනි. වේදිකා ආලෝකකරණය සහ ශබ්ද පරිපාලනය මිහිඳු මධුසංඛගෙනි.

26 දා දෙව්ලොව යනකං

ආනන්ද එස්. විජේසිරි අධ්‍යක්ෂණය කරනු ලබන ‘දෙව්ලොව යනකං’ වේදිකා නාට්‍යය මේ මස 26 වැනිදා දෙහිවල එස්. ද එස්. ජයසිංහ රංග ශාලවේදී වේදිකා ගත වේ.

නාලක හපුආරච්චි, සංජනා පීරිස්, ප්‍රහක්මණගේ සුසන්ත, කාවින්දි අමාශා, චන්ද්‍රසේන නිලවීර, දිල්රංග ජයවර්ධන, සමන් මිහිරිපැන්න, ආශා සේපාලිකා, මනෝජ් ලක්මාල් ගුණරත්න, ගාමිණී කොස්තා ආදීහු මෙහි රංගන දායකත්වය සපයති.

පැරැණි හින්දි ගී අහන්න

27 දා සවස බිෂොප් විදුහලට එන්න

පැරැණි හින්දි චිත්‍රපට ගීත රසික සමාජය ඉදිරිපත් කරන පැරැණි හින්දි ගායනා ඇතුළත් සංගීතමය ප්‍රසංගයක් මෙම 27 වැනිදා සවස කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. සරත් ද අල්විස් මෙදින සංගීතය මෙහෙයවනු ලබයි. පැරැණි හින්දි ගීත ඇතුළත් පොත් C D තැටි සහ නෞෂාඩ්, සංකර් ජායිකිශන්, සී. රාමචන්ද්‍ර, එස්. ඩී. බර්මන් ආදී සංගීත අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ ඇතුළත් ඩී. වී. ඩී. තැටි ද එහිදී ලබාගත හැකිය.

සංසාර චාරිකා ජාතික පුස්තකාලයේ දී

‘මිහිතුරු සඟරාවේ මාධ්‍ය වේදිනියක ලෙස සේවය කරන නන්දි අලුත්ගේ රත්නවීරගේ ‘සංසාර චාරිකා’ ග්‍රන්ථය මේ මස 28 වැනිදා පස්වරු 3.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වෙයි. මුලසුන දෙසුම පවත්වනු ලබන්නේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි විසිනි. පොත පිළිබඳ කෙටි දෙසුමක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා සිදු කිරීමට නියමිත අතර මහාචාර්ය කුසුමා කරුණාරත්නගේ විශේෂ දෙසුමක් ද පැවැත්වෙයි.

ෂෝක් සවුත්තුයි බොරැල්ලේ

ඩෙන්සිල් ලියනගේගේ ‘ෂෝක් සවුත්තුයි’ වේදිකා නාට්‍යය හෙට (25 වැනිදා) බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේදී වේදිකා ගතවෙයි.

කුමාර රණපුර, විජේ එම්. හේවගේ, දිනුෂි රාමනායක, එස්. දයාරත්න, සමන් පෙරේරා, එම්. ජයශාන්ත, කෞශල්‍යා මධුශානි, ඩෙන්සිල් ලියනගේ, රත්නසිරි රණසිංහ, සුනිල් ඩයස්, තක්ෂිලා මධුශානි, දිනිති ඉමාෂි, එම්. නිහාල්, එච්. ප්‍රේමරත්න, ලලිත් කුමාර යන නළු - නිළියෝ මෙහි රඟපාති. සංගීතය නිරෝධවංශ රත්නායකගෙනි.

මහරගම කලාකරුවෝ සංධ්වනියට රැස්වෙති

2016 වසරේ මහරගම සංස්කාතික බලමණ්ඩලය පිහිටුවීමෙන් අනතුරුව පවත්වනු ලබන ප්‍රථම මහ සභාව සහ පාසල් ළමයින් සඳහා සංස්කෘතික බලමණ්ඩලය පැවැත්වූ චිත්‍ර තරගයේ ප්‍රදර්ශනය අද (24) පෙරවරු 10.00ට මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංධ්වනිහිදී පැවැත්වෙයි. මහරගම කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් මහ සභාව ප.ව. 2.00ටත්, මහා සභා විචිත්‍ර ප්‍රසංගය ප.ව. 3.00ටත් පැවැත්විමට නියමිත ය.