වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - එච්. ආර් ජෝතිපාල සරසවිය සම්මාන උලෙළේ හොඳම ගායකයා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ කුමන චිත්‍රපටයේ ගීතයක් වෙනුවෙන්ද?

උපාලි අමරසිංහ, වඳුරාගොඩවත්ත, නාන්කුරුගම, මාවනැල්ල

අර්ජුන් - ‘ඔබට දිවුරා කියන්නම්’ චිත්‍රපටයේ ‘පාළු සුසානේ ප්‍රේම පුරාණේ’ ගීතය

ප්‍රශ්නය - ජනප්‍රිය නළු විජය කුමාරණතුංග වේදිකා නාට්‍යවල රඟපා තිබේද? ඒවා මොනවාද?

එස්. එල් වික්‍රමසිංහ, මාවනැල්ල

අර්ජුන් - විජය කුමාරණතුංග ධර්මසිරි වික්‍රමරත්නගේ ‘රන්තෝඩු’ වේදිකා නාට්‍යයේ රඟපෑවා.

ප්‍රශ්නය - ‘රන්මුතු’ දූව චිත්‍රපටයේ නළු නිළියන් අතරින් දැනට ජීවතුන් අතර සිටින්නේ කවුරු ද?

එස්. එස් නීලවාහිනි, කැටන්දොළ, පැල්වාඩිය, රත්නපුර

අර්ජුන් - ‘රන්මුතු දූව’ චිත්‍රපටයේ නළු නිළියන් අතරින් ජීවරාණි කුරකුලසූරිය සහ හෙක්ටර් ඒකනායක දැනට ජීවතුන් අතර සිටිනවා.

ප්‍රශ්නය - අර්ජුන් ටීවී දෙරණින් විකාශය වන ‘දේදුන්නයි ආදරේ’ ටෙලි නාට්‍යය නවකතාවක් ඇසුරින් නිර්මාණ වූවක් ද? නැත්නම් හින්දි හෝ දෙමළ ටෙලි නාට්‍යයක කොපියක් ද?

සරත් සේනාධීර, කලඑළිය, ජා-ඇල

අර්ජුන් - අපොයි සරත් ඕක හින්දි කොපියක්.

ප්‍රශ්නය - ජමුනා රාණිගේ දුරකථන අංකය සහ ලිපිනය සොයා දෙන්න.

විල්සන් විජේතිස්ස, කඹුරුපිටිය

අර්ජුන් - ජමුනා රාණිගේ තොරතුරක් ලද වහාම දන්වන්නම්. දැනට අපට තොරතුරක් ලැබුණේ නැහැ.

ප්‍රශ්නය - ලීනා ද සිල්වා පළමුවෙන් රඟපෑවේ ‘සුරතලී’ චිත්‍රපටයේ ද?

ආරියදාස පින්දෙණිය, බටවල

අර්ජුන් - අහංකාර ස්ත්‍රී චිත්‍රපටයෙන්

ප්‍රශ්නය - අර්ජුන් ඔබට මතකද ‘සූරයා’ චිත්‍රපටයේ සුරඹා අත ඉස්සූ කලට මුළු කොළඹත් හෙල්ලෙනවා. එහි සටන් කළ නළුවන් දෙදෙනා කවුද?

ඊ. දයානන්ද ද සිල්වා, සීනිගම, හික්කඩුව

අර්ජුන් - සුරඹා ලෙස රඟපෑවේ ලැඩී රණසිංහ. අනෙක් නළුවා ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න.

ප්‍රශ්නය - මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන අර්ජුන් මොකද හිතන්නේ?

අශේන් කරුණාතිලක, යටවත්ත, මාතලේ

අර්ජුන් - මේ මැච් ටික ඉවර වෙලා අපේ කණ්ඩායම ඉක්මනට ලංකාවට එනවා නම් හොඳයි. මොකද ඒ වෙනුවෙන් කියන සිංදු ටික අහගෙන ඉන්න හරිම අමාරුයි.

ප්‍රශ්නය -‘ජග්තේ රාහෝ’ හින්දි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ කවුද?

එච්. එස් සැමුවෙල්, රොමෙලා, පන්චිකාවත්ත, මරදාන

අර්ජුන් - අමිත් මිත්‍රා සහ සෝභු මිත්‍රා

ප්‍රශ්නය -විජය කුමාරණතුංග රඟපෑ චිත්‍රපට අතරින් ඔබ වඩාත් ප්‍රිය කරන චිත්‍රපටය කුමක්ද?

පී. වයි අනුලාවතී, කුඩගම, අවිස්සාවේල්ල

අර්ජුන් - විජය රඟපෑ චිත්‍රපට කිහිපයකටම මා කැමැතියි. ඒ අතරින් ‘තුෂාරා’, ‘හන්තානේ කතාව‘, ‘බඹරු ඇවිත්’, ‘පාර දිගේ’, ‘ගඟ අද්දර’ විශේෂයි.

ඔබේ සිනමා පැන විසඳුම්
අර්ජුන්ගෙන් පිළිතුරු.
සරසවිය, ලේක්හවුස්, කොළඹ 10