වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




බිරියට චරිත හොයන්නේ නැත්නම් මා චරිත හොයන්නේ කාටද?

බිරියට චරිත හොයන්නේ නැත්නම් මා චරිත හොයන්නේ කාටද?

මා ද ඔබම විය තැනූ සහන් විජේසිංහ අසයි

ප්‍රවීණ නිෂ්පාදකවරයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වන සහන් විජේසිංහ මේ වනවිට ‘සුදු හාමිනේ’, ‘මේ සුරම්‍ය පාරාදීසේ’ ආදී නිර්මාණ රැසක් ම කලා ක්ෂේත්‍රයට දායාද කළ අයෙකි. ඔහුගේ නිෂ්පාදනයෙන් හැඩවන අලුත් ම නිර්මාණය වන්නේ සෑම සෙනසුරාදා දිනකම ස්වාධීන රූපවාහිනියේ රාත්‍රි 8.00 ට විකාශය වන ‘මාද ඔබ ම විය’ ටෙලි නාට්‍යයයි. මේ ඒ පිළිබඳත්, ටෙලි නාට්‍ය කලාව අද මුහුණ දී තිබෙන අර්බුද පිළිබඳත් සහන් විජේසිංහ සරසවිය සමඟ කළ සාකච්ඡාවකි.

මේ පිටපත ඔබට ලැබෙන්නේ කොහොම ද?

ප්‍රියංකා අමරතුංගයි මෙහි පිටපත ලිව්වේ. ඇගේ පිටපත ගැන මට මුලින් ම දැන ගන්නට ලැබෙන්නේ ශ්‍රීමාල් වෙඩිසිංහගෙන්. ඔහු පැවසු තොරතුරු අනුවයි පිටපත සොයාගෙන මා යන්නේ. පිටපත කියෙව්වට පස්සේ එය මට අවශ්‍ය පිටපතක් බව මා තීරණය කළා. ඒ අනුව එහි අවසානය මෙසේ විය යුතු බවත් මා ප්‍රියංකාට පැවසුවා. මේ අනුවයි මේ ටෙලි නාට්‍යය කිරීමට අවශ්‍ය අධ්‍යක්ෂවරයා ඇතුළු නළු නිළි පිරිස, සංගීත අධ්‍යක්ෂවරයා නම් කරන්නේ. නිර්මාණයේ සියලු පසුබිම නිර්මාණය කිරීමෙන් පස්සේ මා අධ්‍යක්ෂවරයාට සියලු කටයුතු භාර දුන්නා. ඉන්පසුව ඔහුයි ‘මාද ඔබම විය’ මෙහෙය වන්නේ.

ඔබ නිෂ්පාදනය කළ නිර්මාණ රැසක ම ප්‍රධාන චරිතය නිර්මාණය වන්නේ ස්ත්‍රියක් මූලික කරගෙනයි. එහෙම කිරීමට විශේෂ හේතුවක් තිබෙනවා ද?

මගේ අම්මා වගේ ම මගේ බිරියත් කාන්තාවක්. මේ දෙන්නට ම මා එක සේ ආදරය, ගෞරවය කරනවා. මෙවැනි නිර්මාණයක් එළිදකින්නත් එයත් එක් හේතුවක්. සමාජය ඇතුළේ ස්ත්‍රියකට සමතැන ලැබී තිබෙන බවට කවුරු කොහොම පැවසුවත් නිවෙසේ ලැබිය යුතු නියම ස්ථානයවත් ඇයට ලැබිලා නැති බවයි මගේ පෞද්ගලික හැඟීම වන්නේ. අපට මේ සමාජයේ දී සුන්දර බිරින්දෑවරු වගේ ම බුදුරදුන් දැක් වූ විවිධ විදියේ බිරින්දෑවරුන් මුණ ගැසෙනවා. ඔවුන් ගැන කතා කරන්නට මම ආසයි. ඒ අය ගෙදරදොර වගේ ම සමාජයෙත් විශාල බරක් අඳීන පිරිසක්. එවැනි අය ගැන බොහෝදෙනා කතා කරන්නේ නැහැ.

එවැනි අය පිළිබඳයි මා මේ නිර්මාණයෙන් කතා කරන්නේ. හිංසනයට ලක්වන කාන්තාවන් පිළිබඳ මේ මා කළ පළමු නිර්මාණය නොවෙයි. එවැනි කාරණා කිහිපයක් ම නිර්මාණ කිහිපයකින් ම මා කතාබහ කළා. ඒ වගේ ම මෙවැනි ම නිර්මාණ තෝරා ගැනීමට විශේෂ වූ තවත් හේතුවක් තිබෙනවා. ඒ කාන්තාවක් ඉස්මතු කිරීමටත්, කාන්තාවගේ වටා යන චරිත සහිත නිර්මාණ මා සොයන්නේත් මගේ බිරිය ගයනා සුදර්ශනීට රඟපාන්න උවමනා නිසයි. එතැනදි වෘත්තිය නිෂ්පාදකවරයෙක් විදියට මා මගේ බිරියට ම චරිත සොයනවා කියන කාරණයට ගොඩක් අය මට දොස් කියන බව සත්‍යයක්. එහිදී මගේ බිරියට චරිත සොයන්නේ නැත්නම් මම කාට ද චරිත සොයන්නේ කියලත් අහන්න කැමැතියි. අම්මා මියයනතුරු ම මගේ ලෝකේ අංක එකවුණේ ඇයයි. දැන් මගේ ලෝකයේ අංක එක බවට පත් වී ඇත්තේ බිරියයි.

හදිසියේවත් බිරියට හරියන විදියේ චරිතයක් ලැබුණේ නැති වුණොත් ඔබ කරන්නේ මොනවා ද?

මා නිෂ්පාදනය කළ සමහර නිර්මාණවල ඈ රඟපෑවේ නැහැ. ඒ ඒ නිර්මාණවල ඇයට රඟපාන්න චරිතයක් නොතිබුණ නිසයි. මගේ බිරිය වුණත් ඇයට රඟපාන්න සුදුසු චරිතයක් ඒ නිර්මාණයේ නැතිනම් මගේ බිරිය කියලා මම කිසිම විටෙක ඒ චරිතය ඈට ලබා දෙන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. බොහෝ වෙලාවට ඇයට ඔබින චරිතයක් තිබෙන කතාවක් තෝරා ගන්න මා උත්සාහ කරන්නේ ඒ නිසයි.

අනෙක් නිෂ්පාදකවරුන් මෙන් නොව ඔබට නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට කාලයක් ගත වෙනවා. ඒ කාලය ගතවීම ද ඔබගේ නිර්මාණවල තිබෙන වෙනස තීරණය කරන්නේ?

ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරවලින් පැවසෙන්නෙත් ඔබ කියන අදහසයි. නිතර ම ඔවුන් පවසන්නේ සහන් විජේසිංහ හා ගයනා සුදර්ශනී කරන නාට්‍ය අපි අතහරින්නේ නැහැ, නරඹනවා යන්නයි. ඒවා බොහොම හොඳ නිර්මාණ කියලා ඔවුන් දන්න වග පවසන්නේ අප පිළිබඳ සියයට සියයක විශ්වාසයෙන්. එවැනි ප්‍රසාදයක් ඔවුන්ගේ සිත් ඇතුළේ අප ගැන තිබෙනවා. මේ මොන දේ කළත් මා ගොඩක් ආදරේ සිනමාවටයි.

ඒ නිසා ම පසුගිය කාලයේ ඔබගේ ‘තුෂාරා’ සිනමාපටය තිරගත වුණා?

ඒ ගැන විවිධ අයගෙන් විවිධ ප්‍රතිචාර ලැබුණා. ඒ චිත්‍රපටය සම්භාව්‍ය චිත්‍රපටයක් නොවුණත් ලැබුණු ප්‍රතිචාර මා ධෛර්යවත් කළා. විද්වතුන් හා නඩුකාරවරුන් මේ නිර්මාණ පිළිබඳ මාත් සමඟ කතා කළා. එහෙත් සිනමා ශාලා හිමියන්ගෙන් අපට කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ. ඒ නිර්මාණය දින හැත්තෑ ගණනක් දිව්වත් මට රුපියලක්වත් ලැබුණේ නැහැ. ඒ වගේමයි විජය - මාලිනීලාව නැවත මවන්න බැහැ. නැවත කරන එවැනි චිත්‍රපටයකින් එවැනි නළු - නිළියන් ම බලාපොරොත්තු වන්නට බැහැ. ඒකයි සැබෑ තත්ත්වය වන්නේ. ඒ වගේ ම අද සිනමාවේ ආකර්ෂණීය නළු - නිළියන් ඇත්තේ නැහැ. එකයි අද සිනමාවට මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ.

ටෙලි විෂනයේ නිතර ම දකින නළු නිළියන් සිනමාවෙත් දැකීමෙන් වැඩි ආකර්ෂණයක් නරඹන්නන්ගේ සිතු ඇතුළේ ඇති වෙන්නේ නැහැ. එහෙම වුණා ම සිනමා රසිකයන් නිවෙස්වලට වෙලා ඉන්නවා මිසක් සිනමා ශාලාවට ගිහින් චිත්‍රපටය නරඹන්න පෙලඹෙන්නේ නැහැ. මගේ ළඟත් චිත්‍රපට පිටපත් දෙකක් තිබෙනවා. අනාගතයේ දී ඩිජිටල් ක්‍රමය පැමිණියාට පස්සේ ඒ නිර්මාණ කරන්න අදහසකුත් තිබෙනවා. ආසාවටවත් චිත්‍රපටයක් කරන්නට එවිට බලමු. මා එහෙම පවසන්නේ මගේ ජීවිතය සිනමාව නිසයි.

මේ ප්‍රශ්න නිසා සිනමාව පැත්තක තබා ඔබ ටෙලි නාට්‍ය මාධ්‍යයට පිවිසෙන්නේ ඒ නිසා ද?

කලාවේ රැඳීලා ඉන්න ඕන නිසා හා මගේ ජීවන වෘත්තිය නිසයි ටෙලි නාට්‍ය මාධ්‍යයේ මා රැඳීලා ඉන්නේ.

බොහෝ නිෂ්පාදකවරුන්ට මෙන් ඔබටත් එක් නිර්මාණයක් සඳහා ඔය තරම් කාලයක් ගන්නේ නැතිව එක් නිර්මාණයක නියැළෙන ගමන් ම තවත් නිර්මාණ කාර්යයක නියැළිය හැකියි නේද?

බැරි නැහැ. මට පුළුවන්. නමුත් මේ නිර්මාණ ඒ විදියට කළත් විකාශනය වීමේ ගැටලු රාශියක් පවතිනවා. ටෙලි නාට්‍යයක් කරනවා කියන්නේ දැඩි අභියෝගයක්. එනම් මේ මාධ්‍යයේදී ඒ සඳහා ආයෝජනය කරන මුදල නැවත ලබා ගැනීම පිළිබඳ ගැටලු පවතිනවා. නිර්මාණයක් අවසන් කර පෙන්විය යුත්තේ ප්‍රදර්ශන මණ්ඩලයකටයි. ඒ ප්‍රදර්ශන මණ්ඩලයෙන් පාස් වුණොත් පමණයි ටෙලි නාට්‍ය විකාශය කරන්න අවස්ථාව ලැබෙන්නේ.

එතැනට යනතුරු ඒ භාරධුර කටයුත්තේ දී තිරරචනයේ පටන් නිෂ්පාදයේ අවසානය දක්වාම බොහොම විමසිල්ලෙනුයි සිටිය යුත්තේ. කතා පිටපත් බොහොම හිඟයි. ඒ නිසා ඒවා හොය බලමින් හොඳ නිර්මාණ එකතු කරන එක මගේ කාර්යයක්. ඒ විදියට පිටපත් සොයා ගන්න විට අර කිව්ව කාලය ගතවෙලා. අනෙක් කාරණය නම් ආප්ප බානවා වගේ ටෙලි නාට්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඒත් ඒ නිර්මාණ මිනිස්සුන්ගේ සිතේ කාලයක් ජීවිත් වන්නේ නැහැ. එහෙම කාලයක් අරගෙන කරන හොඳ නිර්මාණ මිනිස්සුන්ගේ හදවතේ ජීවත් වෙනවා.

පිටපත් රචකයන්ගේ අඩුව ද රූපවාහිනිය නරඹන්නන් විදේශීය ටෙලි නාට්‍යවලට නඹුරුවීමට හේතු වී තිබෙන්නේ?

පිටරටින් එන සෑම දෙයක් ම අල්ලා බදා ගන්න කොටසකුයි ලංකාවේ සිටින්නේ. මේ කියන කාරණය මට අදාළ නොවෙන්නේ මා දේශීයත්වයට බොහොම ගරු කරන නිසයි. අපි රස වින්දේ හැට, හැත්තෑව දශකයේ සිනමාවයි. දැන් ඉන්න තරුණ කොටස්වලට ඒ සුන්දරත්වය විඳීන්න චිත්‍රපට ඇතුළු වෙනත් නිර්මාණ හැදෙනවා ද කියන කාරණය ගැන ප්‍රශ්නයක් තිබෙනවා.

විදේශිය නිර්මාණ නැරැඹීමට නරඹන්නන්ගේ සිතේ ඇති කරන ආකර්ෂණය අපේ නිර්මාණවල දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ?

අතීතයේ එවැනි නිර්මාණ අපට තිබුණා. අද එහෙම නිර්මාණ කරන්න බැරි හේතුවක් තිබෙනවා. සමස්ත රූපවාහිනි ආයතන ටෙලි නාට්‍යයකට ගෙවන මුදල මේ කාරණයට එක් හේතුවක්. කවුරුත් පාඩුවට නිර්මාණ කිරීමට පෙලඹෙන්නේ නැහැ. ඒ නිසා හොඳ ගෙවීමක් කරනවා නම් විදේශීය ටෙලි නාට්‍ය අපට අවශ්‍ය වන්නේ නැහැ.

‘මාද ඔබම විය’ ටෙලි නාට්‍ය සඳහාත් පසුගිය කාලයේ තිබුණු මේ ගැටලු බලපෑවා ද?

‘මාද ඔබම විය’ ටෙලි නාට්‍ය සඳහාත් විවිධ බාධක තිබුණා. එය ආරම්භ කළ දා පටන් තිබුණු බාධක සෙමෙන් සෙමෙන් මා ජය ගත්තා. මා ඕනෑම අවස්ථාවක එල්ල වන ඕනෑ ම බාධකයක් ජය ගන්න කැමැති කෙනෙක්. එහෙම නොවුණත් සෑම කටයුත්තක් ම බින්දුවේ ඉඳලා පටන් ගන්න සිදුවුණත් ඒ සඳහාත් ආත්ම ශක්තිය මට තිබෙනවා.

‘මාද ඔබව විය’ රූ ගත කරන්නේ මූදු කරයේ. මොනවගේ අත්දැකීම්වලට ද ඔබ ඇතුළු පිරිස මුහුණ දුන්නේ?

හලාවත තොඩුවාව කියන ප්‍රදේශයේයි රූගත කිරීම් කළේ. ධීවර ජනතාව කියලා කියන විට බොහෝ දෙනෙක් සිතන්නේ ඔවුන් බොහොම තද සිතුවලිවලින් යුක්ත මිනිසුන් කියලයි. එහෙම නැහැ. අපි වගේ ම සාමාන්‍ය මිනිසුන් පිරිසකුයි මෙහි ජීවත් වන්නේ.

ඉදිරි කටයුතු පෙළ ගැසිලා තිබෙන්නේ කොහොම ද?

මේ වනවිට පිටපත් දෙකක් මට ලැබිලා තිබෙනවා. ඒ නිසා ඉන් එකක වැඩකටයුතු ආරම්භ කරන්න මේ වනවිට සියල්ල සූදානම්. මැයි මාසයේ එහි කටයුතු ආරම්භ කරන්නයි අදහස් කරගෙන සිටින්නේ.