වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

අමීර් ගෙන් සල්මන්ට මඟුල් කපුකම

කාර්යබහුල සිනමා ජීවිතය අතරේ සුපිරි නළු අමීර් ඛාන් අලුත් වගකීමක් කරට අරගෙන. ඉදිරි කාලය ඇතුළත ඔහු තම ආදරණීය මිතුරා වන සල්මන් ඛාන් විවාහයට උනන්දු කරවීමට උපරිමයෙන් උත්සාහ කරන්න සූදානම්. අමීර් පසුගියදා පනස් එක් වැනි වියට පා තැබුවා සේම සල්මනුත් දැන් සිය ජීවිතයේ පනස් වැනි කඩඉමේ සිටින්නේ.

අමීර් නම් කියන්නේ සල්මන් තනිකඩ ජීවිතයට ආදරය ප්‍රකාශ කර ඇති බවයි. කොහොම නමුත් මේ වසරේදී කෙසේ හෝ සල්මන් විවාහ කරවීම අමීර්ගේ බලාපොරොත්තුවයි.

අමීර් අපට මීළඟට දකින්න ලැබෙන්නේ ‘ධන්ගාල්’ චිත්‍රපටයෙන්. එහිදී අමීර් මල්ලවපොර සූරයෙකුගේ චරිතයට පණ පොවනවා. සල්මන්ගේ මීළඟ නිර්මාණය වන සුල්තාන් චිත්‍රපටයේදී ඔහුත් මල්ලව පොර සූරයෙක් ලෙසින් රිදි තිරයට පැමිණෙනවා.

වැටෙන්නේ නැති වීරයෙක්

ජෝන් ඒබ්‍රහම් වැඩියෙන්ම ප්‍රිය කරන්නේ ක්‍රියාදාම චිත්‍රපටවලටලු. සාමාන්‍යයෙන් පිරිමි ළමයෙකුගේ ජීවිතය ගත්තෙත් ඔහු කුඩා වියේදීත් තරුණ වියේදීත් වැඩිහිටි වියට පත් වූ පසුවත් පි‍්‍රය කරන දෙයක් කිව හොත් ඒ ක්‍රියාදාම චිත්‍රපට බව ජෝන්ගේ අදහසයි. “ඇත්තටම අපි ක්‍රියාදාම චිත්‍රපටවලට කැමැතියි” ඔහු පවසනවා.

“මම ගොඩක් සුපිරි වීර චිත්‍රපට නරඹලා තියෙනවා. වැටෙන්නේ නැතුව සටන් කරන වීරයන්ගේ කතාවලට මම හරිම කැමැතියි. මටත් ඕනි වුණේ ඒ වගේ කවදාවත් පසුපසට යන්නේ නැති වීරයෙක් වෙන්නයි” ජෝන් කියන්නේ එලෙසින්. ජෝන්හට ඒ වගේම ක්‍රියාදාම චිත්‍රපටලට දායක වෙන්නත් අතීතයේදී ඔහු නැරඹු ක්‍රියාදාම චිත්‍රපට ලොකු බලපෑමක් කරලා.

ජෝන්ගේ අලුත්ම චිත්‍රපටය ‘රොකී හැන්ඩසම්’ චිත්‍රපටයත් ඒ වගේ චිත්‍රපටයක් බව ජෝන්ගේ අදහසයි. නිෂිකාන්ත් කමාන් අධ්‍යක්ෂණය කළ ‘රොකී හැන්ඩසම්’ හි ශ්‍රෘති හසන් ජෝන් සමඟින් රංගනයේ යෙදෙනවා. හෙට (මාර්තු 25) එය තිරගත වීම ආරම්භ කරන්නත් සූදානම්.

කරන්ගෙන් කපූර් සහ පුතුන්

බොලිවුඩයේ පවුලේ චිත්‍රපට නිර්මාණය කරන්න ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා නම් ඒ වෙන කවුරුවත් නොවෙයි කරන් ජොහාර් තමයි. ‘කුච් කුච් හෝතා හේ’, ‘ කභි කුෂි කභිගම්’ වැනි චිත්‍රපට රිදි තිරයට ගෙන ආ කරන්ගේ අලුත්ම චිත්‍රපටය ‘කපූර් ඇන්ඩ් සන්ස්’. පසුගිය 18 වැනිදා ‘කපූර් ඇන්ඩ් සන්ස්’ තිරගතවීම ආරම්භ කළා.

“කපූර් ඇන්ඩ් සන්ස් ගොඩක් ලස්සන චිත්‍රපටයක්. එයින් පවුල දෙස වෙනස් කෝණයකින් බලන්න පුළුවන්. ඔයා කවුරු වුණත් ඒ චිත්‍රපටයේ කොතැනක හරි ඔයා ඉඳිවි” කරන් තමන්ගේ අලුත්ම චිත්‍රපටය ගැන කිව්වේ එලෙසින්.

‘කපූර් ඇන්ඩ් සන්ස්’ අධ්‍යක්ෂණය කරන්නේ ශකුන් භත්‍රා විසින්. ජනප්‍රිය යොවුන් තරු ත්‍රිත්වයක් වන ආලියා භාත්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ ෆාවද් ඛාන් මෙහි රංගනයෙන් එක් වෙනවා.

රිතික් මීළඟ ‘බොන්ඩ්’ ?

දැන් බොලිවුඩය ගැන කතා කළත් හොලිවුඩය ගැනත් කියවෙනවා. ඊළඟට හොලිවුඩ් යන්නේ කවුද යන්න කාටත් කුතුහලයක්. මේ ප්‍රශ්නය පසුගිය දවසක යොමු වුණේ රිතික් රෝෂන්ට.

“මම කැමැති ජේම්ස් බොන්ඩ් වගේ බොලිවුඩයේ රහස් ඔත්තු සේවා නිළධාරියෙකුගේ චරිතයකට පණ පොවන්න. ඒ වුණත් බය වෙන්න එපා මම ඩැනියෙල් ක්‍රෙග්ගේ චරිතය නම් කරන්නේ නැහැ. මගේ හදවත තියෙන්නේ මා උපන් බිමේ” රිතික් පැවසුවා.

රිතික් අපට අවසන් වරට හමු වුණේ ‘බැන්ග් බැන්ග්’ චිත්‍රපටයෙන්. නමුත් ඔහු මීළඟ ‘ඩූම්’ චිත්‍රපටයේ සිටිනවාද නැතිද යන්න තවම තීරණය කරලා නැතත් දැනට යෂ්රාජ් චිත්‍රපට සමඟින් ‘වික්ටරි’ නමින් චිත්‍රපටයකට ගිවිසුම් අත්සන් කරලා. ලබන අගෝස්තු මාසයේදී රිතික්ගේ අලුත්ම රංගනය ‘මොහෙන්දාජාරෝ’ චිත්‍රපටයෙන් බලා ගන්න පුළුවන්.

ශ්‍රද්ධා ගැස්සිලා

බොලිවුඩය බලා සිටින මීළඟ චිත්‍රපටය වන ‘භාගී’ හි ක්‍රියාදාම දර්ශන තිහක් විතර ඇතුළත් පූර්ව ප්‍රචාරක පටය දැන් නිකුත් වෙලා. එහි රංගනයෙන් දායන වෙන්නේ යොවුන් නළු නිළි යුවළක වන ටයිගර් ශරොෆ් සහ ශ්‍රද්ධා කපූර්.

ක්‍රියාදාම චිත්‍රපටයක් වන ‘භාගි’ සිනමාව තුළ තමන් ඊළඟ තලයට ඔසවා තබන චිත්‍රපටයක් වනු ඇති බව ටයිගර් කියනවා. ජනප්‍රිය නළු ජැකී ශරොෆ් ගේ පුත්‍රයා වන ටයිගර් සිනමාවට පිවිසියේ 2014 වසරේ ‘හීරෝපන්ති’ චිත්‍රපටයෙන්.

‘ආෂික් 2’ චිත්‍රපටයෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලද ශ්‍රද්ධා කපූර් දායක වන පළමු ක්‍රියාදාම චිත්‍රපටය ‘භාගි’. ඒ නිසා ශ්‍රද්ධා නම් ටිකක් තිගැස්මෙන් සිටින බවයි ආරංචි. ටයිගර්ගේ සහ ශ්‍රද්ධාගේ මේ අලුත්ම රංගනය දකින්න ලැබෙන්නේ ලබන අප්‍රේල් මාසයේදී යි.