වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ මනුස්සයා බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ...

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය

ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්
 

ඒ මනුස්සයා බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ...

'ඉස්සර නම් කට්ටිය වැඩ කළේ මහන්සි වෙලා. දැන් මේ කට්ටිය හාන්සි වෙලා'

ජිතේන්ද්‍ර නින්දක පසු වූ රංගනා කොනිත්තමින් පැවසුවාය. ඈ නිදා සිටියේ පුටුවකය. නින්දට බාධා කළ නිසා ඇයට කේන්ති ගියාය.

'නිදාගන්න දියංකෝ'

'බුදිය ගන්න? ඒවා ගෙදර කරපං. මෙහෙදි නෙවේ'

ජිතේන්ද්‍ර ඇය තවත් කෝප ගැන් වූවාය.

'කොහෙද උඹලා බුදිය ගන්නවයැ රෑට'

ජිතේන්ද්‍ර යළිත් ඈ අවුස්සන්නට පටන් ගත්තේය. රංගනා ජිතේන්ද්‍රට කොට්ටයකින් දමා ගැසුවේය. ඔහු එයින් මිදී එය උදුරා ඇයටම දමා ගැසුවේය.

'මේකිත් එක්ක බුදියගන්න බෑ. බුදිය ගන්න දෙන්නෙත් නෑ'

ජිතේන්ද්‍ර පැවසුවේ දෙපිට කැපෙන වචනයකි. නිරන්ජන් විහිළුවට එක් නොවී සිනාසුණේය. නිරන්ජන් කඩවසම්ය. පැහැපත්ය. අවුරුදු තිස් පහක්වත් ඇත. ඔහුගේ ඇඟිලි පහේමද, ගෙල ද රත්තරනින් සැරසිලාය. ඔහුගේ අලුත්ම මෝටර් රථය දර්ශන තලයට එපිටින් වූ ගසක් යට ගිමන් හරිමින් පැවතිණ. එහි රියැදුරු ද හොඳින් ඇඳ පැලඳ සිටියේය.

'ඔය නංගි කොයි පළාතේද?'

ඔහු මානවී දෙස තියුණු බැල්මක් හෙළමින් ඇසුවාය. රංගනා අඩ නින්දක සිටියේ එයට මඳක් එහායිනි.

'අනුරාධපුරේ'

'කවුද අප්පේ මෙහාට එන්න පාර කිව්වේ'

ඔහු ඇසුවේ සිනහවෙමිනි. එම සිනහව ආකර්ෂණීය එකක් විය. ධර්මලාල් ද එතැනට පැමිණියේය. ඒ තවත් කාන්තාවක සමඟය. ඇය ඇඳ සිටියේ ඩෙනිම් කලිසමක් හා එයට සරිලන බ්ලව්සයකි. ඇය නිරන්ජන් ළඟ වාඩි වූවාය.

'මේ අපේ ටෙලියට ආපු අලුත් නංගී. මොකක්ද නංගි නම'

නිරන්ජන් මානවී තම බිරින්දෑට හඳුන්වා දුන්නාය.

'මානවී'

'සුජිත්ලැයි ගමේ කිව්වේ'

ඇය පැවසුවාය.

'ඔය ඔක්කොම හොයගෙන තියෙන්නේ'

නිරන්ජන් සිනහ වුණේය. අනතුරුව ඔහු ලාල් වෙත හැරුණේය.

'ලාල් වැඩේ අඩුවක් නෑනේ'

'නෑ. ඔක්කොම හොඳට කෙරෙනවා'

තවත් ටික වේලාවකින් නිරන්ජන් සිය බිරින්දෑ සමඟ ගියේය.

'මේකෙ සල්ලි ධර්මලාල්ගෙම නෙවේ. ඌට මෙච්චර සල්ලි නැ. සල්ලි වැඩි හරියක් නිරන්ජන්ගේ. අපරාදේ කියන්න බෑ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ. හොඳට අත පය දිග ඇරලා ගෙවනවා'

සුජිත් නිරන්ජන් ගැන පැවසුවේ එහෙම කතාවකි.

'කොහෙන් සල්ලි එනවද මන්දා. කොළඹ එපාට්මන්ට්ම දෙක තුනක් තියෙනවා. හෝටල් තියෙනවා. වතු තියෙනවා. හැබැයි මස් මාළුවත් කන්නේ නෑ. අඩියක් ගහන්නේ නෑ'

'කවුද?'

ජිතේන්ද්‍ර කතාවට කට දැම්මේය.

'නිරන්ජන් කාරයා'

'මාර බඩුවක් තමා. වෙන හුට පටත් නෑ'

ජිතේන්ද්‍ර සුජිත්ගේ කතාවට අවුල්පත් සැපයුවේය.

දවසක් දෙකක් ගතවද්දී මානවී රෑ බෝ වී ඒම නිර්මලාට අරුමයක් කොට නොගත්තාය. තුන්වෙනි දවස වන විට රාත්‍රී ආහාරය ද ගෙන එන නිසා රෑ බත ගැන පසුතැවෙන්නට ද වුවමනා නොවීය. එහෙත් නිර්මලාගේ සිත යටින් දොස් නැඟෙන්නට ද විය.

රාත්‍රියේ වෑන් රියක දොරගුළු ඇරී වැහෙන හඬත් 'බායි' යනුවෙන් කියැවෙන හඬත් ඇසෙන තුරු නිර්මලා ගත කළේ නින්දත් නොනින්දත් අතරය. රාත්‍රිය වනතුරු රූ ගැන්වීම් යෙදෙන දවස්වල පසුවදා අම්මා වැඩපොළට යන තුරුම මානවී නිදා ගත්තාය.

'මගේ කෙල්ල අප්පාවත් නැතුව මං දුක් මහන්සියෙන් හදා ගත්තේ. අතුරු ආන්තරාවක් වෙන්න එපා'

ඈ උදේට බුදුන් වැඳ දෙවියන්ගෙන් අයැදින්නට පටන් ගත්තාය.

රූ ගැන්වීම් අතරතුර සුජිත්ගේ ආලිංගනයේ වෙලෙන්නට මානවීගේ තිබූ වුවමනාව දර්ශන තලයේ රහසක් නොවීය. රූ ගැන්වීම් නිම වනතුරු ඇය සිටියේ නොඉවසිල්ලෙනි.

'උඹ කොහොමද කෙල්ලේ මේ යකා එක්ක ඉන්නේ'

සුජිත්ගේ ආලවන්තකම දුටු ටෙලි නාට්‍යයේ මහලු කාන්තාවකගේ චරිතය රගපෑ නන්දා ඇසුවාය. ඈ කලක් ජනප්‍රිය චිත්‍රපට නිළියකව සිටියාය.

'ඒ කාලේ අපි චිත්‍රපට කරන කල් වගේ නෙවේ. දැන් මේ උඹලා වැඩ කරනව දැක්කම හිතාගන්න බෑ'

ඈ අනුනට දොස් පවරමින් කියා සිටියාය. බොහෝ යුවතියනට නන්දා පෙන්නන්ට බැරිය. නන්දා දර්ශන තලයේ වැඩියෙන්ම කැමැති මානවීටය. මානවී හැමවිටම නන්දාට ගරු කළාය. ඇය සිටගෙන සිටිනවා දුටුවිට මානවී නන්දාට අසුනක් ලබා දුන්නාය.

'හැබැයි දැන්ම දරුවෝ හදිස්සි වෙන්න එපා. මට පේනවා උඹට ලොකු ගමනක් යන්න පුළුවන්. එක එක්කෙනා ජීවිතේට හම්බුවෙන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ තමන්ගේ ජීවිතේ. ඒ ගැන තීරණ ගන්න අනික් අයට ඉඩ දෙන්න එපා'

නන්දා පැවසුවාය. මෙයට දශක තුනකට මත්තෙන් ඇය ජනප්‍රිය නිළියක වූවාය. ඈ සමඟ ප්‍රේමයේ යෙදුණ ජනප්‍රිය නළුවන් රැසක් වූයේලු. ඇතැම් විට ඔවුන් ගැන කියමින් ජිතේන්ද්‍ර ඇයට උසුළු විසුළු කරන්නේය. මේ විහිළුවලට ප්‍රතිඋත්තර දුන්නද නන්දා හෙමිහිට සුසුම් හෙළන අයුරු මානවී දුටුවාය.

'මානවී ඔතැන කතා නෙමේ. දැන් ස්ක්‍රිප්ට් එක බලනවා'

මානවී උඩ ගිහින් බිම වැටුණේ සුජිත්ගේ කීමටය. ඉතා ආදරයෙන් කතා කරන සුජිත් එකවරම කෝපයෙන් පසුවන්නේය. දර්ශන තලයේ ප්‍රමාදයක් එන විට සුජිත්ගේ මුවඟට එන්නේ කුණුහරුප වැලකි.

සුජිත් කෙරෙහි තමාගේ ඇති හැඟීම කවරෙක්දැයි මානවී සිතා බැලුවාය. මේ ටික දවසකට වෙන කිසිවකුට හෝ සිතට නොබැඳුණ හැඟීමක් ඔහු කෙරෙහි ඇතිව තිබේ. ලැබෙන ඕනෑම මොහොතක ඔහුට තුරුලු වන්නට ඇය ආසා කළාය. සුජිත් ඒ අවස්ථාව ලබා ගනුයේ හැන්දෑ වෙලාවටය.

'අර ගෑනි මොකද කිව්වේ?'

සුජිත් මානවීගෙන් විමසුවේය. මානවී ඔහු දෙස බැලුවේ කොයි ගෑනිද අසන්නටය.

'නන්දා'

'මුකුත් නෑ'

'මුකුත් නැත්නම් ළඟ තියාගෙන කියව කියව හිටියේ?'

'ඒ කාලේ චිත්‍රපට ගැන'

'හොට බිම ඇනුණාම පික්චර් නැති වුණාම මේවාට එනවා'

සුජිත් පැවසුවේ ඕනෑවට එපාවට මෙනි.

'පව් අනේ'

'පව්, මොකද?'

'ඒ මනුස්සයා බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ'

'පුළුවන් කාලේ හම්බ කර ගන්නවා වගේම ඉතුරු කර ගන්නත් ඕනෑ. ඒ අයට වුණේ ඒක'

සුජිත් කියා සිටියේය.

'දැන් ඔයා ඉතුරු කර ගත්තද?'

සුජිත් හිස කැසුවේය. මානවී එවැන්නක් අසාවි යැයි ඔහු නොසිතුවේය.

'හලෝ ගෑනියෙක්ගේ වයසයි, පිරිමියෙක්ගේ පර්ස් එකයි අහන්න එපා කියලා කතාවක් තියෙනවා'

සුජිත් මානවිට පැවසුවේ දබර ඇඟිල්ල දිගු කරමිනි. ඈ ඔහුගේ ඇඟිල්ල අල්ලා ගත්තාය.

'ඔය කතාව කවුද කිව්වේ?'

'හ්ම්, ඒක නම් මට කිව්වේ මගේ පරණ ගෑනු ළමයෙක්'

සුජිත් ඉවත බලාගෙන පැවසුවේය.

'පරණ ගෑනු ළමයි කොච්චර හිටියද?'

'ගොඩක්'

මානවීගේ සිත යට ගින්දරක් දැල්විණ. ඒ බව කියන්නට ඇය අකැමැති වූවාය.

'දැන් කී දෙනෙක් ඉන්නවද?'

'දන්නා තරමින් එක් කෙනයි'

ඇසට නැඟෙන්නට ආ කඳුළ වළකාලන්නට මානවී වෙහෙසුණාය.

'කවුද ඒ?'

ඇගේ හඬ බිඳෙන්නට ආසන්නය. තමා සිටින්නේ දර්ශන තලයකැයි සිත්නට ඕ උත්සාහ දැරුවාය.

'ඔයා'

'මම?'

'ඔව්'

'මානවී මං කැමැතියි ඔයා බඳින්න'

ඇය ගල් ගැසුණාය.

'ඇයි?'

'ඔයා වෙනස්. ඔක්කොටම වඩා වෙනස්'

සියොළඟම රත් වී එන්නේ යැයි මානවීට දැණින. මේ කවර කෙළිකවටකමක්දැයි ඇයට සිතිණ.

ලබන සතියේ

මානවීගේ ප්‍රේමය ඉදිරියට