වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රශ්ණ හා පිළිතුරු

‘රාජසිංහ’ ඇයි ප්‍රමාද?

Q - ශ්‍රී වික්‍රම රාජසිංහ කතා පුවත ඇසුරෙන් ඔබ නිර්මාණය කරන්නට සූදානම් වූ 'සෙංකඩගල රාජසිංහ' චිත්‍රපටයට මොකද වුණේ. ඒ වැඩේ කෙරෙන්නේ නැතිද?

A - නොකෙරෙනවා නෙවෙයි. ඒ වැඩේ කෙරෙනවා. නමුත් ටිකක් කල් දාන්න සිද්ධ වුණා. මොකද ඒක ටිකක් විශාල ආයෝජනයක්. නිෂ්පාදකයෝ දෙතුන් දෙනෙක්ම චිත්‍රපටය කරන්න ඉදිරිපත් වුණා. ඒත් ඒ වැය පාර්ශවය සඳහා තව හිඩැසක් තියෙනවා. විශේෂයෙන්ම අපි මේකේ තිර රචනය නිම කරන්න සෑහෙන කාලයක් වැය කළා. තව පුංචි, පුංචි සංශෝධන තිබෙනවා. සුළු සුළු කාරණා සෙමින්, සෙමින් තාමත් කෙරෙමින් පවතිනවා.

ඒ නිසා ඒ වැඩේ අත් හැරලා නෑ. ස්ථිරවම කෙරෙනවා. නමුත් අපට සැලසුම් කර තිබූ කාලයේදී එය පටන් ගන්න බැරි වුණා. නළු, නිළියන්ගේ ඇඳුම්, පසුතල පවා සැළසුම් කරලා, සමහර තිර පරීක්ෂණ පවා සූදානම් කරලා තිබුණේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ චරිතෙට බිමල් ජයකොඩි, ඊට පස්සේ පිළිමතලාවේට සනත් ගුණතිලක, ඇහැළෙපොලට ජැක්සන් ඇන්තනි, එතනින් ගියාම ඇහැළේපොල කුමාරිහාමිගේ චරිතයට ඒ වෙනකොට අපි නිළියෝ දෙන්නෙක් හිතේ තියාගෙන හිටියා. එක් කෙනෙක් පූජා උමාශංකර්. අනෙක් කෙනා දිල්හානි ඒකනායක. චිත්‍රපටය කෙරෙන කාලේ වෙන කොට අපිට අනුගත වෙන්න පුළුවන් කෙනා එක්ක තමයි ඒ චරිතය තීරණය වෙන්නේ.

උපන් දිනය නොවන විශේෂ දිනයක්

Q - දිනේෂ්. මොකක්ද මේ වේදිකාවේ නටන්න හදන අලුත්ම නාඩගම?

A- නාඩගමක් නොවුණත් ඇත්තටම මේ අලුත්ම තාලේ වැඩක්. කිංස්ලි ලෝස්ගේ 'තාත්තා' වේදිකා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය බාර වුණේ මට. මම රඟපාන්නේ පොතේ ගුරාගේ චරිතය. හැබැයි ඒ අර සාම්ප්‍රදායික පොතේ ගුරාගේ චරිතය නෙවේ. මට දෙබස් නෑ. පොතේ ගුරාගේ කාර්යභාරය කරන්න තියෙන්නේ වයලීනයෙන්. ඒ කියන්නේ සමස්ත කතාව මම ප්‍රේක්ෂකයාට කියන්න ඕනෑ වයලීන වාදනය හරහා ඉදිරිපත් කෙරෙන සංගීතයෙන්.

වචන වෙනුවට මගේ ප්‍රකාශන මාධ්‍යය වෙන්නේ සංගීතය. මම හිතන්නේ අපේ වේදිකාවේ එබඳු කාර්යයක් කෙරෙන පළමුවැනි වතාව මෙයයි. මේ වෙනකොට මම වේදිකා නාට්‍යය දාහතකට සංගීත නිර්මාණයෙන් දායක වී තිබෙනවා. මේ දහ අට. විශ්ව නාට්‍ය කලාවෙත් මම හිතන්නේ මේක විරල අත්දැකීමක්. 'තාත්තා' මංගල දර්ශනය තියෙන්නේ අප්‍රේල් පළමුවැනිදා. හැබැයි ඒ මගේ උපන් දිනය නෙවේ.

ආදරය උරුම නැද්ද?

Q - ඔබ ප්‍රේමයේ සුන්දරත්වය වගේම එහි විරහ වේදනාවත් අපේ හද සසල කරමින් ගැයූ ගායිකාවක්. 'සිනහව අතරින්' චිත්‍රපටයේ ඔබම සංගීතවත් කොට ගැයූ 'සිර වී තිබුණා සිත පතුළේ' ගීතය ඔබේ ප්‍රේම ගීතාවලියේ සුවිශේෂි නිර්මාණයක් බවට සැකයක් නෑ. ප්‍රේමයට එතරම් සුන්දරත්වයක්, අරුතක් ඔබේ ආදරණීය හඬින් එක් කළත් ඇත්තටම නිරෝෂා ඔබට සැබෑ ලොවේදී ඒ ආදරය උරුම නැහැ කියලයි මට හිතෙන්නේ?

A - විවාහය සහ ආදරය කියන්නේ දෙකක්. ආදරය මේ ජීවිතයේදී උපරිමයෙන් ලබපු හා ඉදිරියේදීත් ලබන්න පුළුවන් කෙනෙක් මම. ආදරය මට උරුම නෑ කියලා කවදාවත් මම හිතන්නේ නෑ. විවාහයකින් සිද්ධ වෙන්නේ පොතේ අත්සන් කරලා කෙනෙක් තමන්ටම කියලා නීත්‍යානුකුලව අයිති කර ගන්න එකනේ. ජීවිතයේ ඉදිරිය කොහොම වෙයිද කියලා තීරණය කරන්න මේ මොහොතේ මට පුළුවන්කමක් නෑ.

මොකද අද හිතන දේ නෙවෙයි හෙට වෙන්නේ. නමුත් විවාහයක් කියන දේ මට දැන් ඔළුවට එන්නේම නැති තරම්. හැබැයි මම ආදරය උපරිමව විඳින කෙනෙක් නිසා තමයි ඔබ ඔය කියන ආදරණීය විදිහට මට ගීත ගායනා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ආදරය මට හැමදාම උරුම වෙලා තිබුණ දෙයක්. ආදරය කියන්නේ හැමදේම අයිති කර ගැනීම නෙවේනේ. ඒක අත හරින්න පුළුවන් දෙයක්. මගේ ගීතවල මිහිරත්, රසයත් රසිකයන්ට දැනෙන්නේ මම ආදරය විඳින කෙනෙක්, මා එය බෙදන කෙනෙක් නිසා වෙන්නට ඇති. සැබෑ ආදරය හරිම සුන්දර, පූජනීය දෙයක්.

‘රන් දේදුන්නක’ සොඳුරු ප්‍රේමය

Q - 'අඟර දඟර' ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණය වුණත් ඊට නොමඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වුණා. ඔබේ දෙවැනි චිත්‍රපටය 'රේන්බෝ' තිරගතවීමට ප්‍රමාද ඇයි. එය කවර මාදිලියේ චිත්‍රපටයක්ද?

A - 'රේන්බෝ' (රන් දේදුන්නක්) යොවුන් ප්‍රේමය තේමා කරගත් ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයක්. ත්‍රාසය, භීතිය, කුතුහලය මේ සියල්ලක්ම චිත්‍රපටයේ අඩංගුයි. මම හිතන විදිහට ඔක්තෝබර් මාසය වන විට CEL මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය නැරඹීමේ හැකියාව ලැබේවි. මට අවශ්‍ය වුණේ හොලිවුඩ්, බොලිවුඩ් සිනමාවට යම් අභියෝගයක් කළ හැකි චිත්‍රපටයක් නිර්මාණය කරන්න. අපේ ජනප්‍රිය සිනමාවේ සුපුරුදු රටාවෙන් බැහැරව ගිහින් මේ චිත්‍රපටය මම කරලා තියෙනවා. නමුත් ඒක පවුලේ සැමට එකට ඉඳන් නරඹන්න පුළුවන් විනෝදාත්මක, ආදරණීය චිත්‍රපටයක්. විශේෂයෙන්ම රොෂාන් රණවනගේ සුපුරුදු රංගන ශෛලියෙන් මිදුණු වෙනස්ම ආරක චිත්‍රපටයක් මේක.

'Action Hero' කෙනෙක් හැටියට තමයි රොෂාන් මේ චරිතය ඉදිරිපත් කරන්නේ. 'රේන්බෝ' චිත්‍රපටයෙන් සිනමාවට එක්වන අලුත්ම කතා නායිකාව තමයි ටනාෂා සතරසිංහ. විශේෂයෙන්ම කියන්න ඕනෑ මේ චිත්‍රපටයේ උද්වේගකර සටන් ජවනිකා කිහිපයක්ම තියෙනවා. රොෂාන් දැඩි කැපවීමකින්, හැදෑරීමකින් ඒ සටන් ජවනිකා ඉදිරිපත් කළා. එහි සටන් අධ්‍යක්ෂවරයා වුණේ වසන්ත කුමාරවිල. 'රේන්බෝ' සංගීත අධ්‍යක්ෂණය උදය ශ්‍රී ගේ. ඔහු ගායනයෙනුත් මේ චිත්‍රපටයට දායක වෙනවා. මොහාන් වික්‍රමසූරිය කියන නවක ගායන ශිල්පියාත් මේ චිත්‍රපටයෙන් දොරට වඩිනවා. ඒ ගීතය සංගීතවත් කළේ කසුන් කල්හාර. 'රේන්බෝ' කියන්නේ දේදුන්නක් වගේ වර්ණවත් චිත්‍රපටයක්.