වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




උද්‍යානයක් + පොලීසිය + සුරූපි යුවතිය = විකට චිත්‍රපට
සිනමාවේ විශිෂ්ටතම සිනමාකරුවන් ගැන කියවෙන වින්දනීය සිනමා ප්‍රේමය 05

උද්‍යානයක් + පොලීසිය + සුරූපි යුවතිය = විකට චිත්‍රපට

චාලි චැප්ලින්

උපත - එක්සත් රාජධානිය

අපේ‍්‍රල් 16, 1889 - විපත දෙසැම්බර් 25, 1977

චැප්ලින් යනු නිහඬ චිත්‍රපට යුගයේ ඉතා වැදගත් මෙන්ම ප්‍රබල බලපෑමක් ද කළ නිර්මාණ ශක්තියෙන් අනූන වූ පුද්ගලයෙකි. චැප්ලින් බොහෝ විට ඔහුගේ චිත්‍රපට රචනා කර අධ්‍යක්ෂණය කළ නමුත්, අධ්‍යක්ෂවරයකු හැටියට ඔහු තුළ තිබූ අසීමිත කුසලතාවය සහ සහජ හැකියාව අභිබවා රිදී තිරය බැබැල වූ ඔහුගේ සුවිශේෂී ස්වරූපය නිතරම පෙනී සිටියා. අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු තුළ වූ දක්ෂතා පමණක් සලකා බැලූ විට ද, චැප්ලින් ලොව බිහි වූ විශිෂ්ටතම සිනමාකරුවන් අතරට අවිවාදයෙන්ම ඇතුළත් වෙයි.

චාලි ස්පෙන්සර් චැප්ලින් 1889 වසරේ අප්‍රේල් මස 16 වන දින එංගලන්තයේ ලන්ඩන් නුවර උපත ලැබූ අතර ඔහුගේ දෙමව්පියන් මියුසික් හෝල් සම්ප්‍රදායට සම්බන්ධ වූ ශිල්පීන් යුවළක් වුණා. ඔහුගේ පියා වන චාර්ස්ල් ස්පෙන්සර් චැප්ලින් ජ්‍යෙෂ්ඨ හඬ ශිල්පියෙක් වගේම නළුවෙකුත් වූ අතර මව වූ හැනා චැප්ලින් ගායිකාවක් වාගේම නිළියකුත් වූවා. චැප්ලින්ගේ ජීවිතයේ මුල් කාලයේ ගත කළ දුප්පත්කම පසු කාලයේ ඔහු විසින් නිර්මාණය කළ චරිතවලට මහත් බලපෑමක් ඇති කළා. ඔහුගේ බොහෝ චිත්‍රපටවල තේමාවලින් එම ගෙවූ දුප්පත් කාලයට නැවත නැවතත් පිවිසෙන්නට චාලි පෙළඹුණා.

චාලි මුල්වරට ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කළේ 1910 ත් 1912 ත් අතර කාලයේ ෆෙඩි කාර්නෝ කණ්ඩායම සමඟයි. මාස පහක කාලයක් එංගලන්තයේ ගත කළ ඔහු දෙවන වරටත් ඇමරිකාවට පැමිණියේ 1912 ඔක්තෝම්බර් 2 වෙනිදාය. ඒත් කාර්නෝ කණ්ඩායම සමඟයි. 1913 අග කාලයේදී චැප්ලින් කාර්නෝ කණ්ඩායමත් සමඟ කළ රංගනය දුටු මැක් සෙනට්, චැප්ලින්ව ඔහුගේ චිත්‍රගාරය වූ කීස්ටෝන් චිත්‍රපට සමාගමට බඳවා ගත්තා.

ඉන් පසුව චැප්ලින්ව බාර දුන්නේ මෝමන්ඩ් වූ අතර ඇය ඔහුගේ මුල් චිත්‍රපට කිහිපයක්ම රචනා කර අධ්‍යක්ඹණය කළාය. නමුත් කාන්තාවක් විසින් තමන්ව අධ්‍යක්ෂණය කිරීම ගැන චැප්ලින් තුළ වූයේ නොසතුටක්. ඔහුත් ඇයත් එකඟ නොවූ අවස්ථාවන් ගොන්නක් මේ චිත්‍රපට නිර්මාණය කිරීමේ සිදු වුණා. චැප්ලින්ගේ ලෝ සුපතල වූ ඉබාගාතේ යන අහිංසක පුංචි රස්තියාදුකාරයාගේ චරිතය නිර්මාණය වූවේ මේ අතර කාලයේයි. මේ පුංචි රස්තියාදුකාරයාගේ චරිතයත් එක්ක චැප්ලින් ඔහු සේවය කළ කීස්ටෝන් අධ්‍යක්ෂ මැක් සෙනට්ගේ නළුවන් කණ්ඩායමේ වඩාත්ම ජනප්‍රියම නළුවා බවට පත් වුණා. ඉන් පසුව චැප්ලින් ඔහුගේ මේ ට්‍රෑම්ප් චරිතය කෙටි චිත්‍රපට දුසිම් ගණනක රඟා අනතුරුව එයම වෘතාන්ත චිත්‍රපට සඳහා දායක කළා.

ට්‍රෑම්ප් චරිතය නිහඬ චිත්‍රපට කාලයට ඉතා කිට්ටු සම්බන්ධයක් දැරූ අතර එය ජාත්‍යන්තර චරිතයක් බවටත් පත් වුණා. නවසිය විසි ගණන්වල අග භාගයේ කතානාද චිත්‍රපට බිහිවීම ඇරැඹුණු අතර, එම චරිතය ඇසුරු කර ගනිමින් කතානාද චිත්‍රපට සෑදීම චැප්ලින් ප්‍රතික්ෂේප කළා. ඒ අනුව 1931 නිෂ්පාදනය වුණු සිටි ඔෆ් ලයිට්ස් චිත්‍රපටය නිහඬ චිත්‍රපටයක් වූවා. චැප්ලින් අවසානයේ මොඩර්න් ටයිම්ස් චිත්‍රපටය තුළින් මේ ට්‍රෑම්ප් චරිතය නිළ වශයෙන් විශ්‍රාම ගැන්වූවා.

සිනමා ප්‍රේක්ෂකයෝ මේ පොළොවේ පය ගහගෙන සිටින ප්‍රීතිමත් නවක විකට නළුවාට දැඩි ආදරයක් දැක් වූවා. විචාරකයන් ඔහුගේ සමහර කෙරුම් යම් දුරක ආශෝභන බවක් නිරූපණය කරන බවට මත පල කළත් චිත්‍රපට ලෝලයන් එය ගණන් ගත්තේ නැහැ. ටික කලකින් ඔහුගේම චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නත්, සංස්කරණය කරන්නත් චැප්ලින්ටම බාර දෙන්නට නිෂ්පාදක සමාගම් තුළ ඔහු පිළිබඳ විශ්වාසයක් ඇති වුණා. චැප්ලින් මැක් සෙනට් සමාගමත් සමඟ ගත කරපු පළවෙනි අවුරුද්ද තුළ විතරක් කෙටි චිත්‍රපට 34 ක් සෑදුවා.

1916 දී මියුචුවල් චිත්‍රපට සංස්ථාව චැප්ලින්ට ඩොලර් 670000 ක ගෙවීමක් කළේ රීල් දෙකේ විකට චිත්‍රපට දුසිමක් නිෂ්පාදනය කිරීමටයි. ඔහුගේ කැමැත්තට මේ චිත්‍රපට නිම කිරීම සඳහා නිර්මාණ නිදහස චැප්ලින්ට මුලුමනින්ම වාගේ දී තිබුණා. ඒ අනුව චැප්ලින් මාස 18 ක කාලය තුළ නිෂ්පාදනය කළ ඒ චිත්‍රපට දොලස මුලු සිනමා ලෝකයේම විකට චිත්‍රපට වෙනුවෙන් සුවිශේෂී බලපෑමක් ඇති කිරිමට සමත් වුණා. චැප්ලින් අතින් නිපැයුණු මියුචුචල් විකට චිත්‍රපට සෑම එකක්ම වාගේ නොනැසෙන රසයෙන් යුක්ත සිනමා කෘති බවට පත් වුණා. ඊසි ස්ට්‍රීට්, වන් ඒ එම්, ද පෝන් ෂොප් සහ ඇඩ්වෙන්චරර් ඒ අතරින් වඩාත් නම් දැරූ නිර්මාණ වූවා.

1917 දී මියුචුචල් සංස්ථාවේ කොන්ත්‍රාත් කාලය අවසන් වූ පසු චැප්ලින් ෆස්ට් නැෂනල් සමාගමත් සමඟ කොන්ත්‍රාත්තුවකට අත්සන් තැබුවේ රීල් දෙකේ චිත්‍රපට අටක් නිර්මාණය කිරීමටයි. ෆස්ට් නැෂනල් සමාගම 1918-1923 කාලය තුළ මේ චිත්‍රපටවලට මුදල් යෙදවීම හා බෙදා හැරීම සිදු කළ නමුත්. ඒවායේ නිෂ්පාදනවල නිර්මාණ අධිකාරිය සම්පූර්ණයෙන්ම චැප්ලින් හට පවරන්නට තරම් ඔහු කෙරෙහි විශ්වාසය තැබුවා. මේ වෙනකොට චැප්ලින්ට තමාගේම චිත්‍රාගාරයක් ද හිමි අතර දැන් ඔහුට වඩාත් සැහැල්ලුවෙන් තම නිර්මාණවල ගුණාත්මකභාවය පිළිබඳ අවධානය යොමු කිරීමට තරම් කාලයක් ඉතිරි කර ගැනීමට හැකි වුණා. ෆස්ට් නැෂනල් සමාගම චැප්ලින්ගෙන් බලාපොරොත්තු වුණේ ඔහුගේ ඉතා ජනප්‍රිය ව ූමියුචුචල් සමාගම සඳහා නිපද වූ කෙටි චිත්‍රපට වාගේ නිර්මාණ වුවත්, චැප්ලින් වඩාත් කැමැත්තෙන් කළේ ඔහුගේ පුද්ගලික ව්‍යාපෘතිවලින් වැඩි හරියක් වෘතාන්ත චිත්‍රපට බවට පත් කිරීමයි.

ෂොල්ඩර් ආර්ම්ස්, ද පිල්ග්‍රිම් සහ කිසිදා රසයෙන් නොනැසෙන කිඩ් ද ඒ අතරින් කිහිපයක්.

1919 දී චැප්ලින් මේරි පික්ෆෝඩ්, ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස් සහ ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත් සමඟ යුනයිටඩ් ආර්ටිස්ට්ස් නම් චිත්‍රපට බෙදා හැරීමේ සමාගම පිහිටවූවා. මොවුන් හතර දෙනාම ඒ වන විට සිටියේ හොලිවුඩ් චිත්‍රාගාර පද්ධතිය තුළ තිබූ මුල්‍ය පහසුකම් ලබා දෙන්නන්ගේ සහ චිත්‍රපට බෙදා හැරීමේ ඒකාධිකාරයෙන් මිදීමට මඟක් සොයමිනුයි. මේ පියවර හේතුවෙන් තම චිත්‍රාගාරය තුළින් නිර්මාණ බිහි කිරීමේ සම්පූර්ණ පාලන බලයත් ලැබීමෙන් චැප්ලින්ට සිනමාකරුවෙකු ලෙස නිදහසේ ක්‍රියා කිරීමේ අවසරය තහවුරු වුණා. ඔහු 1950 දශකයේ මුල් භාගය වෙන තුරුම යුනයිටඩ් ආර්ටිස්ට්ස් චිත්‍රාගාරය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස දායක වුණා.

යුනයිටඩ් ආර්ටිස්ට්ස් වෙනුවෙන් චැප්ලින් නිපද වූ සියලුම චිත්‍රපට වෘතාන්ත ගණයට වැටුණා. ආරම්භක චිත්‍රපටය වූයේ 1923 දී තිරගත වූ අ වුමන් ඉන් පැරිස් වන අතර චැප්ලින් එහි ආරාධිත චරිතයක් ලෙස කෙටි ගරු රඟපෑමක යෙදුණා. ඉන් පසුව බිහි වූ ඉතා උසස් ගණයේ චිත්‍රපට අතරට ගෝල්ඩ් රෂ් (1925) සහ ද සර්කස් (1928) එක් වුණා.

1920 අග භාගයේ කතානාද චිත්‍රපට බිහිවීමට පටන් ගත්තත්, චැප්ලින් එවැනි චිත්‍රපටයක් සඳහා යොමු වුණේ ද සර්කස් (1928), සිටි ලයිට්ස් (1931) සහ මොඩර්න් ටයිම්ස් (1936) යන චිත්‍රපටත් නිර්මාණය කළාට පසුවයි. ඉහත සඳහන් චිත්‍රපට සියල්ලම නිහඬ සිනමා කෘති වූ අතර ඒවායේ සංගීතය සහ ශබ්ද ප්‍රයෝග සියල්ලක්ම සම්පාදනය කළේ චැප්ලින්මය. ඒ අතරිනුත් සිටි ලයිට්ස් චිත්‍රපටය තුළ චැප්ලින් ඉතා විශිෂ්ට ලෙස හැඟීම් සහ හාස්‍යය යන දෙකම මනා සමතුලිතතාවක් නිරූපණය කළා.

චැප්ලින්ගේ ප්‍රථම කතානාද චිත්‍රපටය වුණේ ද ග්‍රේට් ඩික්ටේටර් (1940)ය. එය නාසිවාදයට එරෙහි වූ චිත්‍රපටයක් වුණා. මෙම චිත්‍රපටය ඇමරිකාව තුළ තිරගත වූයේ ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේ මධ්‍යස්ථභාවය පසෙකට දමා දෙවන ලෝක යුද්ධයට අවතීර්ණ වීමට හරියටම අවුරුද්දකට කලිනුයි. මෙහි චැප්ලින් රඟපෑවේ ටොමේනියා නැමැති රටේ ඇඩිනොයිඩි හින්කල් නම් ඒකාධිපතියාගේ චරිතයයි. ඔහු මෙම චරිතයට පසුබිම් කරගත්තේ ඇඩෝල්ෆ් හිට්ලර්වයි. තවත් විකට නළුවෙකු වන ජැක් ඕකී එහි රඟපෑවේ බැක්ටීරියා නැමැති රටේ බෙන්සීනෝ සැපලෝනි නැමැති ඒකාධිපතිවාදියාගේ චරිතයයි. ඔහුත් ඒ සඳහා පසුබිම් කරගත්තේ ඉතාලියේ සිටි ඒකාධිපති බෙනීටෝ මුසොලිනීවය. මේ චිත්‍රපටය සඳහා චැප්ලින් හොඳම චිත්‍රපටය, හොඳම ස්වතන්ත්‍ර තිර නාටකය සහ හොඳම නළුවා සඳහා වන ඔස්කාර් සම්මාන 3 සඳහාම නිර්දේශ වුණා.

දෙවන ලෝක යුද්ධයෙන් පසු 1947 දී චැප්ලින් නිර්මාණය කළ කළු විකට (ඕතචජඬ ඛ්ධථඥඤර) චිත්‍රපටය වූ මිසියෙර් වරඩු ධනවාදය ඉතා තදින් විවේචනයට ලක් කළා. චැප්ලින්ගේ අවසාන ඇමරිකානු චිත්‍රපටය වූ ලයිම් ලයිට් දේශපාලනික තේමාවකින් ඈත් වූ වූ නමුත් ස්වයං චරිතාපදානයකට බොහෝ ළං වූවා. ඊළඟට ඔහු යුරෝපයේදී නිර්මාණය කළ අ කිං ඉන් නිව්යෝක් (1957) චිත්‍රපටය හාස්‍යයට ගනු ලැබුවේ ඊට අවුරුදු පහකට කලින් චැප්ලින්ට ඇමරිකාව දමා යාමට මුල් වූ එක්සත් ජනපදයේ පැවැති මර්ධනකාරී දේශපාලයත්, අනිසි බියත් යන කාරණා දෙකමය.

චැප්ලින් 1914 සිට 1953 දක්වා කාලය ජිවත් වූයේත්, ඔහුගේ සිනමා ජීවිතයේ ස්වර්ණමය අවධිය ඔහු ගත කළේත් ඇමරිකා එක්සත් ජනපදයේ වුවත්, ජාතිවාදී නොවූ මධ්‍යස්ථ ස්ථාවරයක් නිතරම පවත්වා ගැනීමට චැප්ලින් සමත් වුණා.

චැප්ලින්ගේ අවසාන චිත්‍රපට දෙකම නිමැවුණේ ලන්ඩන්හිදිය. අ කිං ඉන් නිව්යෝක් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑම මෙන්ම රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ද ඔහු විසින්ම කළා. 1967 දී ඔහු රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය යන තුනෙන්ම දායක වූ අ කවුන්ටස් ෆ්‍රොම් හොංකොං නම් චිත්‍රපටයට මාලන් බ්‍රැන්ඩෝ සහ සොෆියා ලොරේන් රංගනයෙන් දායක වුණා. චැප්ලින් අවසන්වරට රිදී තිරයේ පෙනී සිටියේත් එම චිත්‍රපටයේමයි. ඔහු එහි මුහුදු උණ සෑදුණු ආවතේවකරුවෙකුගේ චරිතය වෙනුවෙන් ගරු රඟපෑමක යෙදුණා.

බොහෝ කලක් ඉතා නිරෝගීව ශක්ති සම්පන්නව සිටි චැප්ලින්ගේ සෞඛ්‍ය 1960 දශකය අවසානයේදී කෙමින් කෙමින් හීන වෙන්නට පටන් ගත්තා. ඒ වනවිට චැප්ලින් ඔහුගේ අවසන් චිත්‍රපටය වූ අ කවුන්ටස් ෆ්‍රොම් හොංකොං හි නිර්මාණ කටයුතු සම්පූර්ණ කර තිබුණා. 1972 ඔස්කාර් සම්මානයක් ලැබූ චැප්ලින් තවත් දුබල වෙන්න ගත්තා. 1977 වන විට ඇසීමේ සහ කතා කිරීමේ අපහසුතාවයෙන් ඔහු දැඩි ලෙස පෙළුණා වාගේම රෝද පුටුවක ආධාරය ලබා ගැනීමට ද සිදු වුණා. අවසානයේදී 1977 වසරේ නත්තල් දවසේදී චාලි චැප්ලින් නින්දේදීම මෙලොව හැර ගියා. ඔහු මිය ගියේ ස්විට්සර්ලන්තයේ විවේ නගරයේදියි.

තමන්ගේ සිනමා ක්‍රම ගැන චැප්ලින් කතා කළේ ඉතා අඩුවෙනි. ඔහු උදාහරණයට ගත්තේ මැජික් කරුවෙක් තමන්ගේ මැජික් ක්‍රියා කරන හැටි පෙන්වීමෙන් එහි අගයක් නැති වෙන්නා සේ තමනුත් තමන්ගේ සිනමා රීතිය ගැන වැඩි විස්තර නොකියා සිටීමෙන් ඔහුගේ නිර්මාණකරණය ගැන අගයත් වැඩි වන බවයි. තවද, 1940 දී තම ප්‍රථම කතානාද චිත්‍රපටය නිපදවන තෙක්ම චැප්ලින් සම්පූරණ තිර පිටපතකින් චිත්‍රපටයක් පටිගත කර තිබුණේ නැහැ.

චැප්ලින් ඔහුගේ ජීවිත කාලය තුළ ඔස්කාර් සම්මාන 3 ක් දිනාගෙන තිබුණා. එකක් හොඳම සංගීතය සඳහා ද, දෙවැන්න ගෞරව සම්මානයක් ලෙස ද, තුන්වැන්න විශේෂ සම්මානයක් ලෙසද ඔහුට හිමි වුණා. නමුත් චැප්ලින් ක්‍රියාකාරි සිනමාකරුවෙකු ලෙස සිටි කාලයේ නම් ඔහු ඔස්කාර් හෙළා දැක්කේ ඒවා කිසි වැදගැම්මක් නැති බව ප්‍රකාශ කරමිනුයි. නොයෙකුත් සිනමා අගැයීම් ලැයිස්තුවල සිටි ලයිට්ස් සහ මොඩර්න් ටයිම්ස් ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම චිත්‍රපට අතරට අවිවාදයෙන් අයිතිවෙන බව සඳහන් වන නමුත් එම චිත්‍රපට දෙකම එකම ඔස්කාර් සමමානයක් සඳහාවත් නිර්දේශ වුණේ නැහැ.

චාලි චැප්ලින් ඇමරිකානු සිනමා ඉතිහාසය තුළ සිටි ශ්‍රේෂ්ඨතම සිනමාකරුවෙකු බවට සැලකෙන අතර ඔහුගේ නිර්මාණ අදත් මුළු ලොව පුරාම නොනැසෙන ජනප්‍රියත්වයක් පවත්වාගෙන යාමට සමත් වී තිබෙනවා. අවුල් වියවුල්වලින් පිරුණු ලෝකය පිළිබඳ පුංචි රස්තියාදුකාරයාගේ තිබුණු සුබවාදී දැක්ම තුළින් ඔහු ලොවටම පෙන් වූයේ මිනිස් ආත්මය සැමදාම නොවෙනස්ව පවතින බවයි.

විකට චිත්‍රපටයක් හදන්න මට අවශ්‍ය වන්නේ, උද්‍යානයක්, පොලිස් කාරයෙක් සහ ලස්සන කෙල්ලෙක් විතරමයි. චැප්ලින් කියා තිබුණා.