වර්ෂ 2016 ක්වූ මාර්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




සරච්චන්ද්‍ර හා නවගත්තේගම සමඟ සුන්දර දවස්

සරච්චන්ද්‍ර හා නවගත්තේගම සමඟ සුන්දර දවස්

1970 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලවත් රජයක් පිහිටුවීමන් පසු ලේක්හවුසිය රජයට පවරා ගන්නා තුරු වසර තුනක් සරසවිය සම්මාන උලෙළ පැවැත් වූයේ නැත. රංජිත් විජයවර්ධන මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයකි මේ. එහෙත් 'සරසවිය' පුවත්පතේ අලෙවිය වෙනදාටත් වඩා එන්ට එන්නටම වැඩි විය.

එකල වේදිකා නාට්‍ය කලාවේ ප්‍රබෝධයක් ඇති වී තිබුණි. ප්‍රතිභාපූර්ණ තරුණ නාට්‍යකරුවෝ කිහිප දෙනෙක්ම මතු වී ආහ. සරසවියේ ලක්ෂ්මන් වික්‍රමසිංහ, සෝමවීර සේනානායක හා මා ද තරුණ නාට්‍යකරුවන් හඳුන්වා දෙන විශේෂාංගයක් ගැන සාකච්ඡා කරමින් සිටියෙමු.

'ඔය වැඩේට හොඳම රන්ජිත්මයි. නිතරම ඒ අය හමු වෙනවානේ' සෝමවීර කීවේය.

ලක්ෂ්මන් එය අනුමත කළේය.

'එහෙම නං ආර්. ආර්. සමරකෝන්ගෙන් පටන් ගනිමු. සුමන ආලෝක බණ්ඩාර, සයිමන් නවගත්තේගම, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර වගේ අය ගැනත් ලියමු' මම කීවෙමි.

එකල ධර්මසිරි වික්‍රමරත්න 'සහන් එළිය' නමින් වේදිකා නාට්‍යයක් වේදිකා ගත කර තිබුණි. මේ නාට්‍යයේ රඟපෑ අලුත් නළුවෙකු වූ සයිමන් නවගත්තේගමගේ අපූරු රංගනය ගැන තිස්ස අබේසේකර හෝ සිරිල් බී. පෙරේරා හෝ ලියා තිබුණා මතකය. ගුවන් විදුලියේ නාට්‍ය නිෂ්පාදක ලෙස කටයුතු කළ සුගතපාල ද සිල්වා සමඟ සයිමන් හමු විය හැකි විදිහක් කතා කර ගත්තේය.

'සයිමන් දැන් අනුරාධපුරය පැත්තේ ඉස්කෝලෙක උගන්වන්නේ. අපිට ගුවන් විදුලි නාට්‍ය ලියනවා. මෙහෙ ආපු වෙලාවක මම උඹට ටෙලිෆෝන් කරලා කියන්නම්' සුගත් කීවේය.

'හෙට මම ගුවන් විදුලියට එනවා. තුනට විතර සුගත්ගේ මේසය ළඟදී හමු වෙමු' සයිමන් දිනක් ටෙලිෆෝනයෙන් කීවේය.

එකල ගුවන් විදුලියේ සුගත්ගේ මේසය වටා රැස් වූ සුවිශේෂී පිරිසක් වූහ. සුනන්ද මහේන්ද්‍ර, ජයසුමන දිසානායක, කරුණාරත්න අමරසිංහ, රංජිත් ධර්මකීර්ති, හේමරත්න ලියනාරච්චි, පාලිත පෙරේරා, දයානන්ද ගුණවර්ධන, තිලක සුදර්මන් ද සිල්වා මේ අතර කැපී පෙනුණි. සයිමන් කී පරිදි පසු දින ගුවන් විදුලියට ගිය මා සමඟ ඔහු කැන්ටිමට ගියේය.

'මා ගැන පළ වන පළමුවැනි ලිපිය' ඔහු සිගරැට්ටුවක් දල්වා ගත්තේය.

ඔහු හැඳ සිටියේ තද නිල් පැහැති අත් දිග කමිසයක් හා කළු පැහැති කලිසමකි. වරින් වර අකීකරු කොණ්ඩය අතගායි. අතේ ඉංග්‍රීසි පොතකි. සිගරට්ම බීම නිසා අතේ ඇඟිලි කහ පැහැ ගැන්විලාය. අපි තේ කෝප්ප දෙකක්ම බීවෙමු. ඔහුගේ ෆොර් ඒසස් සිගරට් පැකැට්ටුවේ භාගයක්ම ඉවර වී ඇත. ගිනි පෙට්ටියක් හෝ ලයිටරයක් නැත. අවසන් වූ සිගරට් කොටයෙන් අලුත් සිගරැට්ටුවක් දල්වා ගනී.

ඔහු කී කරුණු ඇසුරෙන් ලිපිය ලියා නවක පරපුර හඳුන්වා දෙන අලුත්ම විශේෂාංග වූ 'අලුත් ඉරක් යටින්' හෙඩිම යටතේ පළ කළෙමි.

ලිපිය පළ වී දෙසතියකට පමණ පසු සයිමන් මට හමු වූයේ ගුවන් විදුලිය ඉදිරිපස ඇති ක්‍රීඩාංගණයේ බාලිකාවන් සෙල්ලම් කරන ආකාරය බලා සිටින අවස්ථාවකය.

ඔහුගේ මුවෙහි ඇති සිගරැට්ටුව සුළඟ නිසා වේගයෙන් දැවෙයි.

සයිමන් මා දැක ධ්‍යානය බිඳ අලුත් සිගරැට්ටුවක් දල්වා ගත්තේය.

'හරි අපූරු වැඩක් වුණේ. සරසවිය පත්තරේ මහව පැත්තේ හැම පුංචි කඩයකම තියෙනවනේ. මට පෙන්නුවේ මම උගන්වන ඉස්කෝලේ ගාව කාඩේ මුදලාලි. මුළු ඉස්කෝලෙම ළමයි කියවල ද මන්දා 'සර් මේ පාර සරසවිය පත්තරේ අපේ සර් හිටියා' කියලා මාව වට කර ගත්තා. සයිමන් කියාගෙන යයි.

'සරසවිය කියන්නේ එසේ මෙසේ පත්තරයක්ද? ලක්ෂ ගාණක් විකිණෙන පත්තරයක්නේ' මම ආඩම්බරයෙන් කීවෙමි.

'අපි තේ එකක් බොන්න ඇතුළට යමු' ඔහු මට යෝජනා කළේය. ඔහු එදත් ඇඳ සිටියේ මුලින්ම දුටු දා යුනිෆෝම් එකමය. අතේ තිබූ පොත පමණි වෙනස. එය ආතර් මිලර්ගේ පොතකි.

'මාව කොළඹට මාරු කරලා. කැලණි විද්‍යාලයට. දැන් අපිට නිතර හමුවෙන්න පුළුවන්' සයිමන් කීය.

අප නිතර හමු වුණෙමු. ඇතැම් රෑ බෝ වුණු දිනවල ඔහු මා සමඟ මගේ ගෙදර යයි. එකල කුලරත්න ආරියවංශ (සම්මානනීය ගීත රචක) නවාතැන් ගත්තේ ද මගේ කාමරයේය. කුලේ එකල යුද හමුදා මූලස්ථානයේ ලිපිකරුවකු ලෙස සේවය කළේය.

'කුලේ මේ සයිමන් නවගත්තේගම. මේ මගේ මිත්‍රයා කුලරත්න ආරියවංශ. හොඳ කවියෙක්'

'අපි ඔයා හිටිය 'සහන් එළිය' නාට්‍යය දැක්කා. ඔයාගේ රඟපෑම විශිෂ්ටයි' කුලේ කීය.

'සනී අපි තියෙන විදිහට කෑම ටිකක් කමු' මම ඔහුට මුල්වරට 'සනී' නමින් ඇමතුවෙමි.

'මාව කරදරයක් කර ගන්න එපා' සනී කීවේය.

අමුත්තන්ට ඕනෑම වේලාවක හැකි අයුරින් සංග්‍රහ කිරීමට අපේ නිවස සූදානමින් තිබුණි. මගේ මිතුරන් මට වඩා මිත්‍රශීලී වන්නේ තාත්තා සමඟය. මගේ මිතුරන් වඩාත් සලකන්නේ තාත්තාටය. මගේ නංගී (ප්‍රියන්ලතා) මගේ අම්මා මිය ගිය පසු එහි අඩුපාඩු පිරිමසමින් මගේ මිතුරන්ට සංග්‍රහ කළාය. මගේ මිතුරන් මට නොකියන ඇතැම් රහස් පවා තාත්තාත්, නංගීටත් කියති. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධතා පවා මට පෙර කියන්නේ මේ දෙදෙනාටය. කොටින්ම මගේ කාමරයේ සිටි මා ළබැඳි මිතුරු කුලරත්න හා සීතාගේ ප්‍රේම සම්බන්ධය මා දැන ගත්තේ ද කලකට පසු නංගීගෙනි.

රාත්‍රී කෑමෙන් පසු සනී තමාගේ කළු පැහැති කළු බැගය ඇර ෆයිල් එකක් ද, ගිනි පෙට්ටියක් හා ඉටිපන්දම් කීපයක් එළියට ගත්තේය.

'මම මගේ අලුත්ම පොතේ පෲෆ් බලන්න රන්ජිත්ගේ මේසය පාවිච්චි කරන්නද? ඔයගොල්ලන්ට බාධාවක් නොවන විදිහට මේ ඉටිපන්දම් එළියෙන් මේක බලන්න පුළුවන්' සනී කිවේය.

'අපි ඔයාගෙ මුල්ම පොත 'ඔහුගේ කතාව' කියවලා තියෙනවා' කුලේ කීවේය.

'දන්නවද සනී, මම ආනන්දෙට යන කාලේ කෙටි කතා වගයක් ලියලා අපේ සිංහල උගන්වපු සාන්තන රාජපක්ෂ සර්ට (පසුව ඔහු මධ්‍යම පළාත් සභාවේ ලේකම් ධූරය ඉසිලීය) පෙන්නුවා. සර් බලලා කිව්වා මේ කතාවල අඩුපාඩු ගොඩක් තියෙනවා. හොඳ කෙටි කතා පොත් වැඩි වැඩියෙන් කියවන්න. දැනට මේ පොත බලන්න, එතකොට ඔයාගේ කතාවල අඩුපාඩු තේරෙවි' කියලා. මට ලැජ්ජා හිතුණා. සර් මට දුන්නේ ඔයා ලියපු 'ඔහුගේ කතාව' කෙටිකතා සංග්‍රහය'. මගේ පාසල් අත්දැකීමක් මම කීවෙමි.

කිසිවක් නොකී සයිමන් අලුත් සිගරැට්ටුවක් දල්වා ගත්තේය.

'මොකක්ද? අලුත් කෙටි කතා පොත, මේක ලොකු පොතක් නේ' කුලේ ඇසීය.

'සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා' අලුත් ප්‍රකාශන සමාගමක් 'හංස' කියලා. ඒ අය ගහන පළමුවැනි පොතලු. ඒක නෙවෙයි තවත් ප්‍රශ්නයක් තියෙනවා. මට මේ වැඩේ කරන්න තව සිගරැට් පැකට් දෙක තුනක් ඕනෑ කරනවා. මා අතේ සල්ලි නෑ. රංජිත් දන්න කඩයකින් බැරිද ණයට අරං දෙන්න, අනිද්දා පඩි'

කුලෙත්, සයිමන් හා මා කොස්ගස් හන්දියේ වෛත්‍යලිංගම් සුරුට්ටු කඩේ ගාවට ගියෙමු. කඩේ එක දොර පළුවක් ඇර තිබුණි. සනී බොන්නේ ෆෝර් ඒසස්ය.

'මුදලාලි මට ෆෝර් ඒසස් පැකට් 3 ක් දෙන්න පුළුවන්ද? මම දවස් දෙකකින් සල්ලි දෙන්නම්'

'රාලහාමි (කොස්ගස් හන්දියේ මා හඳුනන්නේ ඒ නමිනි) සිගරට් බොන්නේ නැහැ නේද?' මුදලාලි මට සිගරැට් පැකට් දෙන ගමන් කීය.

'මේ සිගරැට් මගේ යාළුවෙකුට. මම බොන්නේ වෛත්‍යලිංගම් සුරුට්ටු විතරයි' මම පුංචි විහිළුවක් කළෙමි. එකල කුලරත්නත් මාත් ඉඳහිට තම්ෂයර් පෙට්ටි සුරුට්ටු ඉඳහිට බීවෙමු.

එදින රාත්‍රී මම ඇහැ ඇරී බැලුවෙමි. කුලේ තද නින්දේය. සනී ඉටිපන්දම් එළියෙන් සෝදුපත් බලයි. මුළු කාමරයේම සිගරැට් දුමින් පිරිලාය.

සයිමන් හිඳහිට මගේ කාමරයට එයි. 'මම අලුත් නාට්‍යයක් ලිව්වා. ඔයා කියවලා බලන්න' යයි දිනක් ඔහු කීවේය. මම එක හුස්මට නාට්‍ය පිටපත කියවා ගියෙමි. එහි තිබුණේ චරිත දෙකකි. දැන් සයිමන් අපේ ගෙදර කෙනෙකු මෙනි. පඩි ගත් දා ඔහු සිගරැට් ණය ගෙවා අපට බුහාරි හෝටලයෙන් බුරියානි ගෙනවිත් තිබුණි. ඔහු නංගීට කතා කළේය. නංගී පැමිණියාය.

'මම නංගීගෙන් ණයක් ඉල්ලා ගත්තා. කැටේ කඩලා මට නංගී රුපියල් 50 ක් දුන්නා. මෙන්න නංගිට රුපියල් 75 ක් තියෙනවා' ඔහු නංගීට කීවේය.

'මම පොලියට දෙන්නේ නෑ. අයියා මට 50 ඇති' නංගී කීවද සනී රුපියල් 75 ම දුන්නේය. එකල (1970) රුපියල් 50 යනු ලෙකු මුදලකි.

මගේ ගේ අසල සිටි නාට්‍ය නිෂ්පාදක, නළු, කිංස්ලි දිසානායක තැපැල් ස්ථානාධිපතිවරයෙකි. එසේම කවියෙකි. විශේෂයෙන් හිටිවන කවියෙකි. කිංස්ලි අපේ ගෙදර පැමිණි දිනක මම සයිමන්ගේ නාට්‍ය පිටපත ගැන කීවෙමි. එය ඉල්ලා ගෙන ගිය කිංස්ලි නැවත මා හමු වන විට සයිමන් ද අපේ ගෙදර සිටියේය. ඔවුන් දෙදෙනා හඳුනා ගත් පසු කිංස්ලි කීවේ 'අපි මේ නාට්‍යය කරමු. චරිත දෙකනේ. මම වියදම් කරන්නම්'.

'මගේ හිතේ තියෙන්නේ ලලිතා සරච්චන්ද්‍රයි, සමන් බොකලවෙලවයි' සයිමන් කීවේය.

'හොඳයි දෙන්නම හොඳයි'

'අපිට පුළුවන් හැම සිකුරාදාම හවස පේරාදෙණියට යන්න. එහෙ නැවතිලා රිහසල් කරලා ඉරිදා හවස කොළඹ එමු' සයිමන් කීවේය.

සෑම සිකුරාදාම සයිමන් , කිංස්ලි සමන් හා මම කොටුවේ දුම්රිය පොළෙන් පේරාදෙණිය බලා ගියෙමු. එවකට සමන් 'සිංහබාහු' නාට්‍යයේ සිංහයාගේ භූමිකාව කරමින් සිටි අතර ඔහු ජනප්‍රිය වේදිකා නළුවෙකු ලෙස ප්‍රකටව සිටියේය. මහාචාර්ය සර්ච්චන්ද්‍ර මා හැඳිනගෙන තිබුණේ කේ. ජයතිලක මහතාගෙනි. පොත් පිටකවර ශිල්පියෙකු ලෙස පුංචි නමක් තිබූ මට සරච්චන්ද්‍රයන් ලියූ 'පබාවතී' ප්‍රංශ කෙටිකතා (ඒ. පී. ගුණරත්න සමඟ) පොත්වල නවතම මුද්‍රණවල පිටකවර ඇඳීමේ භාග්‍යය උදා වී තිබුණි.

එවකට මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නිල නිවෙස වූයේ අද පේරාදෙණියේ පොලීසිය තිබෙන නිවසය. එය නිසංසල පරිසරයක පිහිටි නිවෙසකි. කාමර ද පහක් පමණ විය. දයා අල්විස් නම් මෑතකදී මියගිය ප්‍රකට රංගවේදියා මා හඳුනා ගත්තේ එහිදීය. දයා ඒ කාලයේ සරච්චන්ද්‍රයන් හට සංගීතය සපයමින් සිටියේය.

සෙනසුරාදා දිනය පුරාත් ඉරිදා සවස 3 වනතුරු ද අපි පුහුණුවීම් කළෙමු. නාට්‍යයේ පෙළ මතක් කර දුන්නේ මා විසිනි. ලලිතා සරච්චන්ද්‍ර අපට උපරිම ආගන්තුක සත්කාර කළාය. ඇතැම් සිකුරාදාවක එහි යන අපට මහාචාර්ය සරච්චන්ද්‍රයන් හදිසියේ කොළඹ පැමිණ ඇති බව දැනගන්ට ලැබෙයි.

'ඩොක්ටර් ගෙදර නැති දවසක අපි එහෙ නවතින එක හොඳ මදි' කිංස්ලි කීවේය.

'ඔව්, මාත් ඒක අනුමත කරනවා' සමන් කීය.

'ඇයි? ලලිතා ඉන්නේ, දරුවෝ ඉන්නේ, ඩොක්ටර් දන්නවනේ සිකුරාදා අපි එනවා කියලා. ඒක වරදක් කියලා මම හිතන්නේ නෑ' සයිමන් තර්ක කළේය.

'හොඳයි, අද රෑ අපි ගත කරන්නේ කොහොමද?' සමන් ඇසීය.

'මම දන්න හොඳ යාළුවෙක් ඉන්නවා කැන්ඩි ටවුන් එකේ. හැබැයි පහසුකම් අඩුයි. අද රෑ එළිය කර ගන්න හොඳටම ඇති' මම කීවෙමි.

එකල චිත්‍රපට නළු අමරසිරි කලංසූරිය මහනුවර ටවුමේ රෙදි කඩයක් පවත්වාගෙන ගියේය. රෙදි කිව්වට එය බේල් කඩයකි. අපි ගමන් මලු ද රැගෙන කලං සොයා ගියෙමු.

'අම්මෝ රංජියෝ උඹ දැකපු කල්'. වරෙන් වරෙන් ඇතුළට. මම කඩේ වහන්න හැදුවේ. ඇවිල්ලා ඉන්නේ අපේ යාළුවනේ' කලං උණුසුම්ව අපි පිළිග්ත්තේය. අපි ආ කාරණය කීවෙමු.

'මචං උඹලට මගේ කඩේ දෙන්න සැප පහසුකම් නෑ. බේල් කලිසමක් දෙකට තුනට නවලා කොට්ටයක් කර ගම්මු. මේ හඩු සුද්දෝ ඇදපු සෙකන්ඩ් හෑන්ඩ් කලිසම් නෙවෙයි' කලං සිනාසෙමින් කිවේය.

'අපිට මේ පහසුකම් හොඳටම ඇති' කිංස්ලි කීය.

අපි අසල රාත්‍රී ආප්ප කඩේකට ගෙන ගොස් කලං බිත්තර ආප්ප, සීනි සම්බෝල සහිත ආප්ප සාදයක් පිළිගැන්වීය.

කවදත් කලං හිත හොඳ, බොරු පූචානම් නැති අවංක මිතුරෙකි. ඔහු වෙලාවේ හැටියට කළ උදව්ව අපට අමතක නොවේ.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නිවස අපට ප්‍රියමනාප එකක් විය. එතුමාගේ කුඩා දියණිය කිසාගෝතමී මගේ පුංචි මිතුරිය වූවාය. ඇයට එකල හොඳට චිත්‍ර ඇඳීමට පුළුවන.

'මේ රංජිත් මාමටත් හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. අපි මාමට කියලා ඔයාගේ චිත්‍ර අඳින පින්තූර ටිකක් සරසවිය පත්තරේ දාගමු' ලලිතා කීවාය.

ඊළඟ සතියේ සරසවියේ ඡායාරූප ශිල්පී රෙජී බුලත්සිංහල අපි සමඟ පේරාදෙණියට ගියේ නාට්‍යයේ පින්තූර ගැනීම මෙන්ම කිසා චිත්‍ර අඳින පින්තූර ටිකක් ගැනීමටය.

පින්තූර දුටු මිස්ටර් නිමල් පෙරේරා එහි පින්තූර පිටුවක්ම තුන්වන පිටේ පළ කිරීමට අපට උපදෙස් දුන්නේය.

නාට්‍යයේ පුහුණුවීම් කොට උදේ සිට හෙම්බත්ව සිටි අපට සරච්චන්ද්‍රයන් ඇතැම් හවසක පේරාදෙණියේ ෆැකල්ට් ක්ලබ් එකට ගෙන ගොස් කූල් බියර්වලින් සංග්‍රහ කරයි. එක්තරා ඉරිදාවක සුපුරුදු ලෙස කොළඹ ඒමට අපි සූදානම් වන විට ඔහු මා වෙත පැමිණ මෙසේ ඇසුවේය.

'රංජිත් අද කොළඹ යන්නම ඕනෑද?'

'ඇයි සර්?'

'මට අලුත් පොතකට කවරයක් ඇඳගන්න ඕනෑ. පොතේ නම 'වෙස් මුහුණුද? සැබෑ මුහුණුද?' කවරය ගැන කතා කරගන්න තියෙනවා.

'හොඳයි සර්, මම නවතින්නම්'

මම කිංස්ලි අත තාත්තාට අද නොඑන බව දන්වා පේරාදෙණියේ නතර වීමි.

සරච්චන්ද්‍රයන් අපට කෑම සුදානම් කරන්නැයි ලලිතාට කියා මා සමඟ ඔහුගේ ෆොක්ස්වැගන් රථයෙන් ෆැකල්ටි ක්ලබ් එක බලා පිටත් වූයේය. අපි බීර බොමින් අලුත ලියූ පොත ගැන කතා කළෙමු. එය 'සරසවිය' පුවතපතට අලුත් ප්‍රවෘත්තියකි. ඇතැම් විට ඔහු 'යසෝධරාවතේ' කවි කියයි. මම නිසොල්මනේ අසා සිටිමි. කොතරම් සුන්දර රාත්‍රියක්ද? කොතරම් උගතෙකු වුව ද එතුමා කොතරම් නිහතමානීද? මෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ කියෙන් කී දෙනාටද? එදා අප කළ කතාබහ ඇසුරින් මම 'සරසවිය'ට ලිපියක් ලීවෙමි.