වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





වටලප්පම් සහ පලතුරු

වටලප්පම් සහ පලතුරු

උමයංගනා වික්‍රමසිංහට විවාහ මංගල උත්සව සඳහා බොහෝ ඇරැයුම් ලැබෙන කාලයක් මේ. මොන වැඩ තිබුණත් මේ මංගල උත්සව වලට සහභාගි වීමට උමයංගනා අමතක කරන්නෙම නැහැ.

මේ ළඟකදී අපේ හිතවතකුගේ මංගල සාදයක් තිබුණා.

ඇය මේ උත්සවයට සහභාගී වුණත් කෑම කන බවක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ. මේ බව දුටුව මනාල මහතා උමයංගනා ළඟට ඇවිත් කෑම කන්න ආරාධනා කළා.

මම පළතුරුයි වටලප්පන් විතරයි කන්නේ.

ඈ කීවේ සිනාසෙමින්. ඇය සහභගී වෙන හැම මංගල සාදයකදීම වටලප්පන් හා පළතුරු පමණක් ආහාරයට ගන්න බව දැන් ප්‍රසිද්ධ රහසක්.

හේතුව විදියට බොහෝ අය කියන්නේ උමයංගනාට තව ලස්සන වෙන්න ඕනේ වෙලා කියලා.

හැබැයි මොන දේ තිබුණත් වටලප්පන් නැතිනම් උමයංගනාගේ මුහුණ ඇඹුල් වෙනවා කියලත් ආරංචියි.


රොඩ්නිට ලණුවක්

සාමාන්‍යයෙන් රොඩ්නි වර්ණකුල ලණු දෙන්න දක්ෂ වුණාට ලණු කන්න එතරම් ප්‍රසිද්ධ නැහැ. නමුත් ඉන්දික රත්නායක හා නිරෝෂන් ඉලේපෙරුම පසුගිය දවසක රොඩ්නිට දිරවන්න අමාරු ලණුවක් දුන්නා. කතාව මෙහෙමයි.

රොඩ්නි, ඉන්දික, නිරෝෂන්, නදී චන්ද්‍රසේකර ඇතුළු නඩයක් අනුරාධපුර පැත්තේ වැඩකට ගිහින් එන අතරෙයි මෙය සිදු වුණේ. ඉන්දික හා නිරෝෂන් තම අලුත් මොබයිල් ෆෝන් අංකයෙන් කලාකරුවන්ට ලණු දෙමින් වාඩි වී සිටියේ වාහනයේ පිටුපසයි. රියැදුරු අසුන ළඟ රොඩ්නි වාඩි වී සිටියා.

එක පාරටම රොඩ්නිගේ ෆෝන් එකට කෝල් එකක් ආවා.

‘හෙලෝ මේ රොඩ්නි මහත්තයද?’

‘ඔව්’

‘මහත්තයා ගෙදර වැඩට ළමයෙක් ඉල්ලුවද?’

‘නැහැ’

‘නැති වෙන්න බැහැ. අපි මේ ක්ලිනින් සර්විස් ආයතනයකින්’

‘නැහැ , නැහැ මම ඉල්ලුවේ නැහැ’

‘වෙන්න බැහැ මහත්තයෝ . .

. මේ රොඩ්නි වර්ණකුල මහත්තය නේ . . .

‘ඔව් . . . ඒ වුණාට මම ඉල්ලුවේ නැහැ’ කියා

රොඩ්නි ෆෝන් එක කට් කළා.

ටික වේලාවකින් නැවත රොඩ්නිට ඒ අංකයෙන්ම කෝල් එක ආවා.

ඔහු එකවරම රෝන් නම්බර් කියා ෆෝන් එක කට් කළා.

දිගින් දිගටම දුරකතනය නාද වෙන නිසා රොඩ්නි තම දුරකතනය නිවා දැම්මා.

ටික වේලාවකින් තමයි රොඩ්නි දැන ගත්තේ පිටුපස සීට් එකේ සිටින ඉන්දිකගේ වැඩක් කියලා.

එදා ඉඳන් රොඩ්නි හමුවන තැනදී හැමෝම අහන්නේ ‘සර්වන්ට් කෙනෙක් ඉල්ලුවද’ කියලාලු.


සමන් අලුත් වැඩක

සඳගලතැන්න, සඳගිරිපව්ව, රන්තලිය වලව්ව ආදී ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් නිර්මාණය කළ සමන් කුමාර ලියනගේ මේ දිනවල අලුත් වැඩකට අත ගහලා. ඒ මේනක රාජපක්ෂ හා ෂේරිල් ඩෙකර් ප්‍රධාන චරිත රඟපාන අලුත් ටෙලි නාට්‍යයක්.

මෙගා ටෙලි නාට්‍යයෙන් ඔබ්බට ගිය හරවත් ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමට පිපාසාවෙන් සිටි ඔහු 1930 ගණන්වල මෙරට සිදු වූ සිද්ධියක් ඇසුරු කරගෙන මෙම ටෙලි නාට්‍ය නිිර්මාණය කෙරෙනවා. අනෙක් කරුණ නම් මේ නාට්‍යයට පාදක වෙන්නේ සමරවීර විජේසිංහ ලියූ ‘වැස්ස වලාහක’ නවකතාවටලු.

ඒකාකාරී ටෙලි නාට්‍ය නරඹා විඩාබර වී සිටින ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් මෙම ටෙලි නාට්‍ය තුළින් ගෙන එන්නට බලාපොරොත්තු වන බව සමන් පවසනවා.


ලීලසේනට අනතුරක්

සමන් හේමරත්න කියන්නේ අපිට සිටින දක්ෂ හාස්‍යයෝත් පාදක නළුවෙක්.

පසුගිය දවසක ‘බල්ලොක් එක්ක බෑ’ නාට්‍යයේ දර්ශනයකින් පසු ඔහු රාත්‍රියේම නුගේගොඩ ආවා. ඒ ආ අතරතුරදී අනතුරකට භාජනය වෙලා. දැන් ඔහු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා කියා ආරංචියි. සමන්ට ඉක්මනට සුව වෙන්න කියලත් සරසවිය අපි ප්‍රාර්ථනා කරනවා.


සිංදුව නෙමෙයි ඇඳුම

පසුගියදා ලේක්හවුස් අනුග්‍රහයෙන් අමාදහර වෙසක් කලාපය පැවැත් වූවා. එහි බැති ගී සරණියට ලංකාවේ බොහෝමයක් කලාකරුවන් සහභාගී වුණා.

මේ සිද්ධිය වූයේ අපේ තිස්ස ජයවර්ධනට. කිරි පාටට සුදට සුදේ බබලන ඇඳුමකින් සැරසී තමයි තිස්ස එදා බැති ගී ප්‍රසංගයට එක් වුණේ. රෝහණ ධර්මකීර්ති ප්‍රමුඛ වාදක මණ්ඩලයේ සංගීතයට තිස්ස ලයාන්විතව බැති ගී ගැයුවා. ඊට පසු ඔහු වේදිකාවෙන් බැස විත් අසල තිබූ පුටුවක වාඩි වූවා.

මේ සියල්ල දෙස විමසිල්ලෙන් බලා සිටිය යුවතියක් තිස්ස ළඟට ආවා.

‘අයියේ ලස්සනයි’

තැන්ක් යූ නංගි, මට මේ දවස්වල ටිකක් සෙම හරියට සිංදු කියන්නත් බැහැ.

නෑ නෑ අයියේ සිංදුව නෙමෙයි?

එහෙනම්,

ඔයාගේ ඇඳුම.

මේ කතාව බොරු නම් තිස්සගෙන්ම අහන්නකෝ . . . 0725307308.