වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





රොහාන් වැලිවිටගෙන් මහීල් පෙරේරාට අභියෝගයක්

රොහාන් වැලිවිටගෙන් මහීල් පෙරේරාට අභියෝගයක්

2012 මැයි 10 වනි සිකුරාදා නම වන පිටුවේ පළ වූ මහීල් ආර්. පෙරේරාගෙන් රොහාන් වැලිවිටට පිළිතුරක් ලිපියට රොහාන් වැලිවිට මහතා විසින් පිළිතුරක් එවා ඇත.

එම ලිපියේ සඳහන් පරිදි අධි තාක්ෂණ චිත්‍රපට මි මි 35 පිටපත් කරනු ලබන්නේ ඉන්දියාවේ වුවද එය ඉන්දියානු තාක්ෂණය භාවිත කිරීමක් නොවේ. මි මි 35 පිටපත් මුද්‍රණය කරනු ලබන යන්ත්‍ර ‘සිනෙවටා’ නමින් හඳුන්වන අතර එය මෝර්වේ රටේ නිපදන වන ලද මුද්‍රණ යන්ත්‍රයකි.

මෙවැනි යන්ත්‍රයක් අද දිනය වන තෙක් නිපදවා ඇත්තේ නෝර්වේ රට පමණි. එම යන්ත්‍රය ඉන්දියාවේ Film Lab හිමි සංජය පටෙල් මහතා විසින් මිලදී ගෙන ඇත. මුදල් තිබේ නම් ශ්‍රී ලංකාවේ ඕනෑම අයෙකුට මෙම යන්ත්‍රය මිලදී ගත හැක. මහීල් මහතා සඳහන් කොට තිබෙන ඔහුගේ යන්ත්‍රය පිළිබඳ මා නොදනිමි. නමුත් එම ක්‍රියාවලිය සිදු කළ හැකි උපකරණ ඇත්තේ ලෝකයේ තුන් වර්ගයකි. එනම් Arri Leser, Definity, Cinevator පමණි.

එවැනි යන්ත්‍රයක් මෙතුමා විසින් නිර්මාණය කර තිබේ නම් එය ශ්‍රීී ලංකාවට ඉතාම ගෞරවයකි. නමුත් එතුමාගේ යන්ත්‍රයේ මුද්‍රණය කරන ලද එක් චිත්‍රපටයක වැරැදුන පිටපත අප ආයතනය විසින් නිවැරැදි කර මුද්‍රණය කරන ලදී. වැරැදුන පිටපතට රු: 1175000.00 ක් අය කර තිබෙන අතර නිවැරැදි පිටපතට අප විසින් අය කළ මුදල වන්නේ රු: 190000.00 ක් පමණි. එම පිටපත් දෙකේ වෙනස කැමැති ඕනෑම කෙනෙකුට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ හැක. සිනමා පටයක් වර්ණ නිවැරැදි කිරිම (Colour Correction) සහ වර්ණ සංයෝජනය (Colour Grading-DI) දෙකකි. මෙම දෙකෙන් වර්ණ සංයෝජනය කටයුත්ත කළ හැක්කේ ශ්‍රී ලංකාව තුළ ෆයින් විෂන් ආයතනයේ පමණි. එය සිදු කරනු ලබන්නේ Davinci Resol යන්ත්‍රයෙනි. මෙම කටයුත්ත මහිල් මහතා ඉටු කරන යන්ත්‍රය පෙන්වන ලෙස අභියෝග කරමි.

එසේම අප ආයතනය සතු උපකරණ 2008 වසරේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේත් 2010 වසරේ රාජගිරියේ සවරින් හෝටලයේත්, 2011 වසරේ රූපවාහිනී අභ්‍යාස ආයතනයේත් මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කොට ඇත. මහීල් මහතා සතු උපකරණ ප්‍රදර්ශනය කරන ලෙසද අභියෝග කරමි. එසේම අධි තාක්ෂණ සංස්කරණය සහ වර්ණ සංයෝජන උපකරණ කොළඹ 05, විජය කුමාරතුංග මාවතේ අංක 122 දරණ ස්ථානයේත් අනෙකුත් අධිතාක්ෂණ උපකරණ කොළඹ 05, ඇවරිහේන පාර, පොල්හේන්ගොඩ, කොළඹ 05 ලිපිනයේදීත් ඕනෑම අයකුට ඕනෑම වේලාවක ප්‍රදර්ශනය කිරීමට සහ ක්‍රියා කර පෙන්වීම කළ හැක.

මහීල් මහතා ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා යැයි කියන රෙඩ් කැමරාවේ සංස්කරණ කටයුතු කළ හැක්කේ අප ආයතනයේ පමණි. එම මෘදුකාංග මහීල් මහතා සතුව තිබේ නම් පෙන්වන ලෙස අභියෝග කරමි. සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රය සම්බන්ධ හෝ පිටස්තර ඕනෑම අයකුට මෙම උපකරණ සහ අපගේ සේවාවන් දැක ගැනීමට අවශ්‍ය වන්නේ නම් 0773831849 යන අංකයෙන් මා අමතක ලෙස ඉල්ලා සිටිමි.