වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





කොස්තාපල් පුඤ්ඤසෝම වැඩ ඇරැඹෙයි

කොස්තාපල් පුඤ්ඤසෝම වැඩ ඇරැඹෙයි

ශ්‍රීනාත් යළිත් රිදී තිරයට

මහේන්ද්‍රට ප්‍රධාන චරිතය

මහේන්ද්‍ර පෙරේරාට වෙනස්ම චරිතයක් බාර දෙමින් ජනප්‍රිය රැල්ලේ සිනමාකරුවකු වන උදයකාන්ත වර්ණසූරිය සිය දහඅට වැනි සිනමා නිර්මාණයෙහි වැඩ කටයුතු ඉකුත් දා ඇරැඹීය.

කොස්තාපල් පුඤ්ඤසෝම නම් වූ එහි මුහුරත් උළෙල කිරුලපන ඔහුගේ නිවසේදී පවත්වන ලදී.

බහුරූ චිත්‍රපට වෙනුවෙන් සුනිල් ටී. ප්‍රනාන්දු සමඟ යොහාන් ප්‍රේමරත්න සම නිෂ්පාදකවරුන් වන මෙය උදයකාන්තගේම නිෂ්පාදනයකි.

විදෙස්ගතව සිටින ශ්‍රීනාත් මද්දුමගේ මෙයට දායක වෙමින් කලකට පසු රිදී තිරයට අවතීර්ණ වීම විශේෂත්වයකි. ශ්‍රියන්ත මෙන්ඩිස්, ගාමිණී හෙට්ටිආරච්චි, දුලීකා මාරපන, රවීන්ද්‍ර යසස්, ජනක රණසිංහ, සිසිර කුමාරතුංග, රොනී ලීච්, ආනන්ද අතුකෝරාල, චතුර පෙරේරා, විරාජ් ජයසිරි, මැණික් විජේවර්ධන, ලසන්ත උඩුකුඹුර, ආර්. ජී. සිරිවර්ධන ආදීහු සෙසු චරිත මවති.

අයේෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂණය කරන මෙහි ශබ්ද සැළසුකරණය සහ සංස්කරණය ප්‍රවීන් ජයරත්නගෙනි.

වසන්ත විට්ටච්චි අංග රචනයෙන් දායක වන අතර ඩොනල්ඩ් ජයන්ත අධ්‍යක්ෂණයට සහය වෙයි. නිෂ්පාදන කළමනාකරණය අශෝක ආරියරත්නගෙනි. මනෝජ් ප්‍රියන්ත සහාය අධ්‍යක්ෂවරයාය.

භාතිය, සන්තුෂ් සහ ලන්ත්‍රා පෙරේරා කොස්තාපල් පුඤ්ඤසෝම හී සංගීත අධ්‍යක්ෂවරුන්ය. නලින් පෙරේරා, ලන්ත්‍රා පෙරේරා, භාතිය ජයකොඩි ගී ගැයුමෙන් එක්වේ. ආරියසිංහ පෙරේරා සමඟ ෂෙහාන් ගලහිටියාව ගී පදවලින් චිත්‍රපටයට දායක වී තිබේ. තම රාජකාරිය හොඳින් ඉටු කිරීමට උත්සාහ දරන අවංක පොලිස් නිලධාරියකු සහ මැර කල්ලියක් අතර ඇතිවන ගැටුමත් ඔස්සේ උදයකාන්ත මෙහි තිර පිටපත සකස් කොට තිබේ.

කොස්තාපල් පුඤ්ඥසෝම හි මුහුරත් උළෙලදා එහි පිරිවර සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරුයි මේ.