වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





ක්වායි ගඟේ පාලමෙන් සරසවියට

ක්වායි ගඟේ පාලමෙන් සරසවියට

50 ස්වර්ණ ජයන්තිය අබිමුව

එදා සරසවිය හැඩ කළ ඡායාරූප ශිල්පී රෙජී බුලත්සිංහල

මම ජීවන ගමනේ හැත්තෑ හත් වන කඩඉම අභිමුවට පැමිණ ඇත්තෙමි. කලා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා පල වන සරසවිය පුවත්පත පනස් වෙනි වසරේ අභිමුවට පැමිණ ඇත.

මගේ වයසට වඩා වසර ගණනකින් සරසවිය බාල වුණ ද මගේ ජීවන ගමනේ එක් කාල පරිච්ඡේදයක්ම ගෙවී ගියේ සරසවියත් සමඟය.

මා පත්තරවලට මුලින්ම සම්බන්ධ වූයේ 1951 දී පමණය. සිනමාවට සම්බන්ධ ඡායාරූප ගැනීම මගේ කාර්යය වුවත් ඒ වකවානුවේ සිනමාවට පමණක් කොටු වී සිටීමක් මා කළේ නැත. ලැබෙන හැම අවශ්‍යතාවයකදීම මගේ කැමරාව කා වෙනුවෙනුත් ක්‍රියාත්මක විය. මගේ මතකය හරි නම් මා මුලින්ම චිත්‍රපට රූපගත කිරීම් ඡායාරූප ගත කිරීම ඇරැඹියේ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටයෙනි. මෙම කාර්ය මා වෙත පැවරුණේ ද නොසිතූ මොහොතකය. එවක මාගේ නිවස අසල ඩෑන් දොරේරාජ් නැමැති චිත්‍රපට නිෂ්පාදන කළමනාකරුවකු නැවතී සිටියේය. මා ඡායාරූප ගන්නා බව ඔහු දැන සිටි හෙයින් දිනක් මට ඔහු චිත්‍රපටවල ඡායාරූප ගැනීමට ආරාධනා කළේය.

එවක ඔහු බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු වූ හෙයින් මට එහි පින්තූර ගැනීම බාර කළෙමි.

ඒ අයුරින් මගේ ඡායාරූප කලා ජීවිතය ඇරැඹියද චිත්‍රපට කරනු ලබන කොම්පැණි සඳහා ඒ චිත්‍රපටයේ ඡායාරූප රැගෙන දීම මේ ආකාරයෙන්ම දිගටම කරගෙන ආවෙමි. මේ ලෙස ගනු ලබන පින්තූර චිත්‍රපටයේ තිරගතවීමත් සමඟ පුවත්පත් සඳහා නිකුත් කිරීම චිත්‍රපට සමාගම් මඟින් කළ දෙයක් විය.

බොහෝ විට මා ගන්නා පින්තූර ඒ සමාගම් හරහා පුවත්පත්වලට ලැබී පළ විය. මා පිළිබඳ ක්ෂේත්‍රයේ කතාබහක් ඇති කළ වකවානුවක් ද විය. ඒ නිසාම මට වයස අවුරුදු දාහත පමණ කාලයේ සිට පුවත්පත්වල මගේ ඡායාරූප පළ විය.

සරසවිය පුවත්පතේ කතුවරයා වූ විමලසිරි පෙරේරා හඳුනා ගත්තේ ලේක්හවුස් ආවාට පසුවය. ඒත් අපි දෙදෙනා පාසල් අවධියේ පටන් දැක තිබූ පුද්ගලයන් දෙදෙනකු වුවද කතාබහක් කර නොතිබිණි. විමලසිරි ගියේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයටය. මම ගියේ ඒ අසලම ශාන්ත තෝමස් විද්‍යාලයටය. අපි දෙදෙනා හමු වී කතා නොකල ද මගේ මතකය හරිද යන්න ලේක්හවුස් එකේදී මේ බව ඔහුගෙන් විමසීමි. ඔහු ද එය සනාථ කළේය. ඒ කාලයේ විමලසිරි පෙරේරා වැඩ කළේ ජනතා පුවත් පතේය. ඔහු මට ළඟදීම අලුත් පත්තරයක් අරඹන බවත් එහි සේවයට මට ආරාධනයක් ද කළේය. ඔය වකවානුව වන විටත් මගේ පින්තූර ඔබ්සවර් පුවත්පතේ පළ වෙන වකවානුවක් විය.

පුණ්‍යා හීන්දෙනිය

නිලන්ති විජේසිංහ

පාසල් අවධියේ බොක්ස් කැමරාවක් මා සතු විය. ශාන්ත තෝමස් විද්‍යාලය හා ක්‍රිස්තියානි විදුහල අතර ක්‍රිකට් තරගයක් විය. මෙම ක්‍රිකට් තරගයේදී කණ්ඩායම් දෙකේ පින්තූර ගැනීම අභියෝගයක් විය. මේ සඳහා මටත් අවස්ථාවක් උදා විය. මා එය මගේ බොක්ස් කැමරාවෙන් ඡායාරූප ගත කළෙමි. එවක ඔබ්සවර් පුවත්පතේ සිටි කැමරා ශිල්පියකු වූ ඩග්ලස් ඩයස් පාසලට ඇවිත් ගත් මෙම කණ්ඩායම් දෙකේ පින්තූරය අවශය පරිදි නොවූ හෙයින් ඔහු මා ගත් පින්තූරය රැගෙන විත් පුවත්පතේ පළ කළේය. මා ලේක්හවුස් එකට සම්බන්ධ වූයේ නිදහස් ඡායාරූප ශිල්පියෙක් ලෙසිනි. ඒ ආකාරයෙන් සම්බන්ධ වීම මට මහත් වාසිදායක විය.

වොලී නානායක්කාර

ස්වර්ණා කහවිට

කළු සුදු ඡායාරූපයකට රුපියල් විසි පහකුත් වර්ණ ඡායාරූපයකට රුපියල් පනහකුත් ලැබිණි. පුවත්පත හැරුණු කොට චිත්‍රපටවල ගන්නා පින්තූර සඳහා ඒ ඒ චිත්‍රපට සමාගම්වලින්ද මුදලක් ලැබිණි. ස්ථිර රැකියාවට වඩා මේ නිදහස් රැකියාව මට හැම අතින්ම වාසි ගෙනාවේය. එවක සරසවියේ ප්‍රධාන ඡායාරූප කර්තෘවරයා වූයේ නිමල් පෙරේරා මහතාය.

ඩබ්ලිව්. ඒ. ලියනගේ, හෙක්ටර් සුමතිපාල, ක්‍රිස්ටි පෙරේරා ඡායාරූප සැපයීම සිදු කළේය. ඔය අතරට විසිතුර පත්තරයේ වැඩ කරමින් සිටි බන්දු එස්. කොඩිකාර ද එක් විය. සරසවිය වෙනුවෙන්ම පින්තූර ගැනීම සඳහා නිමල් පෙරේරා බන්දුවත් මාවත් ස්ථිරවම යොමු කළේය. අපි දෙදෙනා මාරුවෙන් මාරුවට කැමරාවයි අලුත් මුහුණයි සඳහා පින්තූර ගත්තේය.

විජිත මල්ලිකා, සන්ධ්‍යා කුමාරි, පුණ්‍යා හීන්දෙනිය, සෝබනී අමරසිංහ, නිලන්ති විජේසිංහ, ජීවරාණි, ජානකී, ශිරානි කුරුකුලසූරය, ගාමිණී ෆොන්සේකා, රොබින් ප්‍රනාන්දු, වොලීී නානායක්කාර, මාලිනී ෆොන්සේකා, රුක්මණී දේවි, ස්වර්ණා කහවිට ගීතා කුමාරසිංහ, සෝනියා දිසා, මේබල් බ්ලයිත්

ජෙමිනි කාන්තා, පර්ල් කුරේ, එඩී ජයමාන්න, ස්ටැන්ලි මල්ලවාරච්චි, ආනන්ද ජයරත්නමේ හැම කෙනකුගේම රුවෙන් සරසවිය සරසවන්න එවක මා හට හැකි විය.සාරවිට, ගැටවරයෝ, දෛවයෝගය චිත්‍රපට රූපගත කිරීම් කළ දර්ශන තලවලදී මා එහි රූප ඡායාරූප ගත කළේය. දෛවයෝගය රූපගත කිරීම් සඳහා මා හට ඉන්දියාවට යාමට ද අවස්ථාවක් උදා විය. ගාමිණී ෆොන්සේකා රජ ඇඳුමක් ඇඳ ගත් ඡායාරූපය මා සරසවිය වෙනුවෙන් එහිදී ගත්තේය. ඉන්දියාවට ගිය එම ගමන මගේ මුල්ම හා අවසන් විදෙස් සංචාරය ද විය.

එවක නළු නිළියන් හා අප අතර පැවතියේ පුදුම සහෝදර බැඳීමකි. සමහර නළු නිළියන්ට චරිත පවා තෝරා දුන්නේ අපය. ඒ තරමට එවක චිත්‍රපට නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු අපත් සමඟ සමීපව සිටියේය. මා සතුව රොලිකෝඩ් හා හසල්බ්ලඩ් නමින් කැමරා දෙකක් විය. රොලිකෝඩ් කැමරාවෙන් මා කැමරාවයි අලුත් මුහුණයි සඳහා පින්තූර ගතිමි. හසල් බ්ලඩ් කැමරාව මා වැඩිපුර පාවිච්චි කළේ චිත්‍රපට රූපගත කිරීම් ඡායාරූප ගත කිරීමටය.

නිළි රැජන මාලිනීට රංගනය සඳහා දොරටු විවර වූයේ මා ගත් ඇගේ ඡායාරූපයක් නිසාය. ඒ කාලයේ මාලිනීගේ සහෝදරියක වූ ශ්‍රියානි ෆොන්සේකා වේදිකා නාට්‍යවල ජනප්‍රිය නිළියකි. මා ඇයගේ පින්තූර ටිකක් කිරීම සඳහා ඈ පදිංචිව සිටි මාලිනීගේ මහ ගෙදර පිහිටි කැලණියට ගියෙමි. ඒ වන විට ශ්‍රියානි ගෙදර නොවීය. අද මෙන් එදා දුරකතන පහසුකකම් ද නොවීය. බොහෝ විට අප කළේ රූපගත කිරීම්ලදී හමු වී ඡායාරූප ගත කිරීමට වෙලාවක් වෙන් කර ගැනීමකි. එදා ශ්‍රියානි ගෙදර නැති බව කීමට ගෙදරින් එළියට බැස්සේ මාලිනීය. මට මාලිනී දැක්ක ගමන් පින්තූරයක් ගැනීමට සිත් විය. එදා මාලිනී හිටියේ රෙද්දක් හා හැට්ටයක් ඇඳලාය. මම ඇගෙන් පින්තූරයක් ගමුද කියා ඇසුවෙමි. කිසිදු චකිතයක් නැතිව ඇය ගමු යැයි කීවාය

ඉතිරි කොටස ලබන සතියේ

මනමාලයෝ

ඇමතිකම

ගැටවරයෝ

හන්තානේ කතාව