වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





Feedback

විජය නැති තැන හරිම පාළුයි

ලාංකේය සිනමාවේ ජනතා හදවත් තුළ සදා ජීවමාන විජය කුමාරතුංග වසර හයක්ම ජනප්‍රිය රංගන ශිල්පියා ලෙස කිරුළු පැළැඳීය.

ක්‍රියාකාරී දේශපාලනය තුළ එඩිතර බව, ආත්ම ගරුත්වය, වීරත්වය හරහා අසීමිත ජනාදරයට පත් වූ ඔහුව නිතර මතක් වනුයේ විජයගේ මානව හිතවාදී ගුණය නිසාමය. ඔබ නැති තැන අද සුවිශාල අඩුවකි.

සිරිසේන ලොරෙන්සුහේවා මහවීදිය, වැලිගම.

බොරුවට කන බොන එක හරිම අස්වාභාවිකයි

බොහෝ විට ටෙලි නාට්‍යවලදී ආහාර හෝ බීමට යමක් ගන්නා දර්ශනයක කෑම බීම කිසිදු දෙයක් නොමැතිව රංගන ශිල්පියා හෝ ශිල්පිනිය බොරුවට කන බොන ආකාරයක් පෙන්වයි. එය හරිම අස්වාභාවිකයි. එම දර්ශන මීට වඩා තාත්ත්වික වන්නේ නම් හොඳයි.

කටුවාපිටිය වතුයායේ - නාලිනී ද ලිවේරා - ක්ලෝඩ් ද ලිවේරා

මොරිස් ඇයි නිහඬ

හැටේ දශකයේදී ඔන්න ඕලු මලක්, නිල් දිය මත පාවෙලා, මෙත්මල් පිබිදේවා වැනි ගුවන් විදුලියේ දිනපතාම වාගේ ප්‍රචාරය වූ ගීත ගැයූ මොරිස් දහනායක වත්මන තුළ එතරම්ම කැපී පෙනුණේ නැත. ගායනයට මෙන්ම රංගනයට ද හපන් ඔහු නැවතත් ක්ෂේත්‍රයට එනවා නම් හොඳයි.

ජයම්පති නවරත්න - මාතලේ.

සිනමා සංරක්ෂණයට ජනපති අවධානය යොමු වේවා

කලකට පෙර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉල්ලූ සිනමා සංරක්ෂණාගාරයේ පැතුම ද ඉටු කිරීම එතුමාට කරන ගෞරවයකි. කලාවට අත හිත දෙන දැනට රන් මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය සහ කොළඹ නෙළුම් පොකුණ රඟහළ දැයට ලබා දුන් අප රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවධානය මෙම කර්තව්‍යට යොමු වේවා.

මොරටුව, කටුබැද්දේ- ඩඩ්ලි ගෝමස්

දුලීකා ‘ඩිංගිරි වෙද හාමිනේ’ චරිතය විශිෂ්ටයි

දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන ‘මලී’ ටෙලි සිතුවමේ රඟන ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපන නම් රංගන ශිල්පිනිය ගැන අපට කියන්නට වචන නැති තරම්ය. ඩිංගිරි වෙද හාමිනේගේ චරිතයට ප්‍රවිශ්ඨව ඈ කරන විශ්මිත වූ රඟපෑම අතිශයින්ම ප්‍රබලය.

අතීතයේ වෙද පරම්පරාව නැවත සිහි ගන්වමින් ඈ එහි පෙනී සිටින්නේ ඩිංගිරි වෙද හාමිනේ ලෙසින් මිස දුලීකා මාරපන නම් රංගන ශිල්පිනිය ලෙසින් නම් නොවේ.ඇයටත් මලී ටෙලි සිතුවමේ සෙසු නළු නිළියන් ඇතුළු සියලු දෙනාටම අපගේ ප්‍රණාමය.

කරුණාදාස දොඩන්ගොඩගේ

කලවාන පාර, අලුත් මාවත, මොරපිටිය.

තිසරි යුවනිකාට

සවීණා හි ඔබ රඟපෑ සවීණාගේ චරිතය අප සිත් ප්‍රබෝධමත් කරනවා. මුහුණින් පෙන්වන විවිධ හැඟීම් ඉතාම හොඳයි. ඔබට මින් ඉදිරියටත් එවැනි චරිතම ලැබේවා. ඔබගේ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

මීටියාගොඩ,

මරදානවත්තේ

එච්. එල්. තිලකසිරි ද සිල්වා

ශෝභනීගේ රංගනය කිසිදා අමතක කළ නොහැක

සාරවිට, ගැටවරයෝ, චිත්‍රපටවල ශෝභනී අමරසිංහ රඟපෑ චරිත අපට කිසිදාක අමතක නොවේ. නැවත වරක් රඟපෑමට අවතීර්ණ වන්න. එය අපගේ එකම ප්‍රාර්ථනයයි.

හිලරි සිරිලාල් ද අල්මේදා - මොරටුවැල්ල, මොරටුව.

ශ්‍රියා දේවි හොඳයි

අරුන්දති ටෙලි නාට්‍යයේ ශ්‍රියාදේවි චරිතය රඟන චමිලා පීරිස් ඉතා මැනැවින් ඒ චරිතය තේරුම් ගෙන රඟන අයුරු ඉතාම ප්‍රශංසනීයයි.

විල්ෆ‍්‍රඩ් පෙරේරා

රත්මලාන.

අප අතරින් සමුගත් කලාකරුවන්ට උත්තමාචාරය

නොයෙක් බාධක කම්කටොලු අභියෝග ජය ගනිමින් හෙළ සිනමාව මේ භූමිය තුළ වසර හැට පහක් අඛණ්ඩව ගෙන ඒමට මග එළි පෙහෙළි කළ කලාකරුවන් බොහොමයක් අප අතරින් සමු ගෙන ගොස් ඇත. අද සිනමාව පවතින්නේ ඔවුන් හෙලූ දා බිඳු නිසාය.
 

එවන් උදාර මෙහෙවරක් කළ කලාකරුවන්ට මාගේ උත්තමාචාරය.

ඉහළ තල්දූවේ- ආනන්ද වික්‍රමආරච්චි

මුතු පිහාටු හරිම හොඳයි

සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම සවස 6.30 ට ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන මුතු පිහාටු ළමා නාට්‍යය විශිෂ්ටයි. එහි රඟපාන නළු නිළියන්ගේද රංගනය හොඳ මට්ටමක තියනවා. අපගේ කුඩා කාලය සිහිපත් කිරීමට මෙම නාට්‍යය සමත් වී ඇත. මුතු පිහාටු ළමා මනස පෝෂණය කරන නාට්‍යයකි.

මනහර මහින්ද - බෙළිගල.
 


S.M.S. මේ කෙටි පණිවුඩ මගින් ප්‍රතිචාර තීරයට ලැබුණු අදහස්ය.

සමාධි රඟපානවා හොඳයි

සමාධි අරුණිඡායා ඉතාමත් දක්ෂ ලෙස මලී නාට්‍යයෙහි රඟපානවා.

යූ. සී. රණසිංහ

කරන්දෙණිය.

විජය කුවේණි චිත්‍රපටයට

සුගත් සමරකෝන්ගේ විජය කුවේණි චිත්‍රපටය දෙබස්, කැමරාකරණය, පසුබිම් නිර්මාණය, රංගනය අතින් අනෙක් චිත්‍රපට අභිබවා යන බව මට හැඟේ.

තරිඳු මධුරංග - කඩුවෙල.

පූජා ඔබේ අත ගන්නේ කවුද?

පූජා උමාශංකර්ගේ අත ගන්නා වාසනාවන්තයා කවුදැයි දැන ගැනීමට අපි ආසාවෙන් පසුවෙමු.

කමල් ලසන්ත

බලංගොඩ.

නිර්මාණ පෙරළියක් ඕනෑ

සන්ෆ්ලවර් නායක නීල් වර්ණකුලසූරියටයි මේ ඇමතුම.

ඔබ සංගීත කණ්ඩායම සංගීත ලොව මහත් පෙරළියක් කළා. එවැනි ආන්දෝලනාත්මක වෙනසකින් යුතු නිර්මාණයන් එනතුරු අප බලාගෙන ඉන්නවා.

දමයන්ති - හොරණ.

අයිරාංගනී සේරසිංහට
 

දීර්ඝායුෂ ලැබේවා

දශක හයකට ආසන්න කාලයක් විශිෂ්ට රංගනයෙන් සිනමාව, පුංචි තිරය පෝෂණය කළ අයිරාංගනී සේරසිංහ රංගනවේදියණි, ඔබට දීර්ඝායුෂ පතමි.

කවිඳු දිලජෙන්

කුරුණෑගල

ඇන්ජලා අපි ඔබ සමඟයි

ඇන්ජලා, ඔබ පසුගිය දිනවල මුහුණ දුන් සිදුවීම් ගැන අපි බොහොමත්ම කණගාටු වන අතර, සැම විටම ඔබ සමඟ අපි සිටින බවත් මතක් කරමු.

මහරගම ශාන් ඇතුළු මිතුරු කැල

 

 

 

 

 

 

ඔබේ ප්‍රතිචාර සටහන් නොපමාව අප වෙත එවන්න,

සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10
යන ලිපිනයට.

ඒ සටහන් පැහැදිලි අත් අකුරින් ලියා එවන්නත් මතක තබා ගත යුතුයි.
0757413731 දුරකතන
අංකයට ඔබේ ප්‍රතිචාර එස් එම් එස් මගින් ක්ෂණිකව එවිය හැකිය.