වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





මම යන්නේ හිමින් ගමන්

මම යන්නේ හිමින් ගමන්

- ජීවන් හඳුන්නෙත්ති

ජීවන් හඳුන්නෙත්ති . . .

හැමදාමත් කලාව සමඟ ජීවත් වෙන්නෙක්. විටෙක ඔහු අපට සිනාසෙන්නට කියා දෙයි. දක්ෂ නළුවෙක් වගේම ගායකයෙක් වන ඔහු පද රචකයෙක්. අංග රචනා ශිල්පියෙක් විදිහටත් අපේ ජීවිතවලට සමීපයි.

සුපුරුදු හිනාවෙන්ම ඔහු අපිත් එක්ක කතාබහට එක් වුණා.

ඉතින් ජීවන් අයියේ කොහොමද? මොනවද මේ දවස්වල කරන්නේ?

හොඳින් ඉන්නවා. මම රංගනයෙන් දායක වුණ චිත්‍රපට තුනක් එන්න තියෙනවා. හෙක්ටර් කුමාරසිංහයන්ගේ අබිිනික්මන. ඒකේ මට තියෙන්නේ සීරියස් චරිතයක්.

මං එහෙම කිව්වේ මට ලැබුණ ගොඩාක් චරිත හාස්‍යට බරයි. එත් මේකේ එහෙම නෑ. ගමක ජීවත්වෙන දඟකාර, දඩබ්බර කොල්ලෙක්ගේ චරිතයක් මං නිරූපණය කරන්නේ.

ජයසේකර අපොන්සුගේ ‘සීතා මං ආවා’ චිත්‍රපටයටත් මම රංගනයෙන් දායක වුණා. ඒක වෙනස්ම චරිතයක්. ඒ වගේම දිනේෂ් ප්‍රියසාද්ගේ ‘ඇද්දා ලණුව දැම්මා කොඩිය’. මේ නිර්මාණ තුනෙන්ම මගේ රසිකයන්ට මාව ඉදිරියේදී බලා ගන්න පුළුවන්.

ඔබට ලැබුණු බොහෝ චරිත දිහා ආපසු හැරිලා බැලුවොත් බොහොමයක් හාස්‍ය ය චරිත නේද?

ඔව්, මං රඟපාපු ගොඩාක් චරිත හාස්‍යයට බර ඒවා. හැමෝටම හිනා වෙන්න පුළුවන් වුණාට තවත් කෙනෙක්ව හිනස්සවන්න බෑ නේද? ඉතිං මං ඒක කරනවා. එත් විකට චරිතවලට වගේම සීරියස් චරිතවලටත් කැමැතියි. ඒත් අධ්‍යක්ෂවරු ගොඩාක් මාව ගන්නේ විකට චරිතවලට. ඒත් මගේ ගැන දන්න කෙනෙක් ඒකෙන් මිදෙන්න චරිත දෙනවා.

ඔබේ රංගන දිවියට දශක තිහක්. කොහොමද ක්ෂේත්‍රයෙන් ලැබුණ අත්දැකීම්?

මම ආවේ හෙමින් ගමනක්. මට කඩාගෙන බිඳගෙන යන්න ඕන වුණේ නෑ. ලැබුණ හැම චරිතයකින්ම මගේ රංගන ජීවිතයට වගේම සැබෑ ජීවිතේටත් මොනව හරි දෙයක් ඉගෙන ගත්තා. මම විතරක් නෙමේ, ඒ කාලේ ක්ෂේත්‍රයට ආපු ගොඩාක් අය එහෙමයි.

ඉක්මනට ඇවිල්ලා ජනප්‍රිය වෙලා යනවට වැඩියෙන්, හෙමින් ගමනක් ඇවිල්ලා ජනතාවගේ හදවතේ හැමදාම ඉන්න එක හොඳයි.

ලැබුණ චරිත ගැන ඔබ තෘප්තිමත්ද?

මේ දශක තුන ඇතුළේ මං කරපු හැම චරිතයක් ගැනම මම තෘප්තිමත්.

ඔබ ආදරය කරන්නේ සිනමාවට. කොහොමද සිනමාවට අවතීර්ණය වෙන්නේ?

ඉර හඳ ඉල්ලා තමයි පළමු රංගනය. රන් කෙවිට, වැඩ බැරි ටාසන් I සහ II , වන් ෂොට් වන්, ලීඩර්, නුඹ නාඬන් අපට පිස්සු, දිය යට ගින්දර වාගේ චිත්‍රපට 25 කට විතර මම රංගනයෙන් දායක වෙලා තියෙනවා.

බොහෝ වෙලාවට රංගන ශිල්පීන් අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් ලෙස අපට හමු වෙනවා. ඔබේත් එහෙම බලාපොරොත්තුවක් නැද්ද?

බලාපොරොත්තුවක් නම් තියෙනවා. එත් මම කැමැති මගේ හැකියාවන්, දක්ෂතාවන් වැඩි දියුණු කරගෙන රංගනයෙන් ගමනක් යන්න.

දිගු ගමනක් එන්න කොහොමද ඔබේ පවුලෙන් ලැබුණු සහයෝගය?

මගේ බිරිඳ නිරෝෂණී හඳුන්නෙත්ති. ඇගේ ශක්තිය නැතිනම් කවදාවත් මට මෙතනට එන්න බෑ.

මගේ පුතා ශනිඳු හඳුන්නෙත්ති. එයා ඩ්‍රම්ස් ගහන්න ගොඩක් ආසයි. ඉදිරියේ කුමන හෝ කලා ක්ෂේත්‍රයකින් ඔහු ඉදිරියට ඒවි.

ඉතින් ආදරණීය කලාකරුවාණෙනි, ඔබේ මුවඟ රැඳි සිනා රැල්ල සදා එලෙසම රැඳේවා. සරසවිය අපේ ප්‍රාර්ථනය එයයි.