වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





අර්ජුන්ගෙන් අහන්න

 අර්ජුන්ගෙන් අහන්න

සිනමා, කලා පිළිබඳ ගැටලු විමසන්නට ඔන්න නැවතත් අවස්ථාව එළැඹිලා. ඔබ කළ යුත්තේ ඔබේ ගැටලු තැපැල් පත් මගින් අර්ජුන්ගෙන් පැන විසඳුම් සරසවිය, ලේක්හවුස්,කොළඹ ලිපිනයට එවීමයි.

‘කළු දිය දහර’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුරුන්ද? එහි රංගනයෙන් දායක වන්නේ කවුරුද?

ජයලත් – ගම්පහ

එහි අධ්‍යක්ෂණය මනික් සන්ද්‍රසාගරගෙන්.

ජෝ අබේවික්‍රම, රවීන්ද්‍ර රන්දෙනිය, ඉන්දිරා ජෝන්ක්ලාස්, මනෝ බෙකන්රිජ්, වින්සන්ට් සේරසිංහ, මානෙල් වානගුරු, ජී. ආර්. පෙරේරා යන නළු නිළියන් රඟපෑවා.

හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ මියගිය ‘ලී වෑන් ක්ලිෆ්’ පිළිබඳ තොරතුරු දන්වන්න.

ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූව

බටහිර ගොපලු චිත්‍රපටවලට නැතුවම බැරි නළුවකු වු ලී වෑන් ක්ලිෆ් ඇමරිකානු නාවික හමුදාවේ සෙබලකු වශයෙනුත් දෙවැනි ලෝක සංග්‍රාමයේදී කටයුතු කළා. ‘ද ගුඩ්, ද බෑඩ් ඇන්ඩ් ද අග්ලි, හයි නූන්, ද මූන් හූ ෂෝට් ලිබර්ටි වැලන්ස්, ෆො අ ෆිව් ඩොලර්ස් මෝර්’ වැනි චිත්‍රපටවල රඟපෑ ඔහු සිනමාවට පිවිසෙන්නේ බ්‍රෝඩ්වේ නාට්‍යයන් හරහායි.

ක්ලැරන්ස් ලිරෝයි වෑන් ක්ලිෆ් නමින් 1925 ජනවාරි නව වැනිදා ඇමරිකාවේ නිව් ජර්සි හිදී උපත ලද ඔහු මිය ගියේ 1989 ඔක්: 16 වැනිදා. ලී වෑන් ක්ලිෆ් තෙවරක් විවාහ වූ අයෙකි.

කුරුළු බැද්ද චිත්‍රපටයේ ලතා වල්පොල, ධර්මදාස වල්පොල යුවල ගායනා කරන ‘ඔය බැල්ම, ඔය කැල්ම නිළුපුල් නෙතේ’ යන ගීතය රචනා කරන ලද්දේ කවුරුන්ද?

එම්. එල්. තිලකසිරි ද සිල්වා - මරදානවත්ත, මීටියාගොඩ

කරුණාරත්න අබේසේකර විසින්.

සරසවිය පුවත්පතේ වැඩිම කාලයක් ප්‍රධාන කර්තෘ ධූරය දැරුවේ කවුද?

අජිලත් ලක්මාල් - කට්ටුව, මීගමුව

විමලසිරි පෙරේරා මහතා.

ප්‍රවීණ දේශපාලනඥ එම්. එච්. මොහොමඩ් සිංහල චිත්‍රපට නිපදවා තිබේද?

විමල් රණසිංහ – කොළඹ 14

ඔව්, ශාන්ති, රහස් කුමන්ත්‍රණය වැනි චිත්‍රපට.

අප රටේ සිනමා කෞතුකාගාරයක් පිහිට වූවොත් ඉතා හොඳයි නේද?

කපිල ජයලාල් - කුලියාපිටිය

හොඳයි තමයි ඉතින්.

බුද්ධාකාලීන කතා පුවතක් ඇසුරෙන් විමලනාත් දිසානායක අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ නම කුමක්ද?

වීරක්කොඩියානේ - සුනිල් ශාන්ත දිසානායක

කුණ්ඩලකේශී හා පටාචාරා යන චිත්‍රපට බුද්ධකාලීන කතා පුවත්.

වීර පුතා චිත්‍රපටය සිංහල දෙබස් කැවූ චිත්‍රපටයක්ද?

හිලරි සිරිලාල් ද සිල්වා, බ්‍රිජට් සිල්වා - මොරටුවැල්ල

ඔව්නේ.

පරසතු මල්. ගම්පෙරළිය, නිධානය වැනි චිත්‍රපට ටෙලි නාට්‍යට නැඟීම ඔබට දැනෙන්නේ කොහොමද?

ඉසඩ් සිරිවර්ධන - දොඩංගොඩ

එහි වරදක් නැහැ. ඕනෑම කෘතියක් ප්‍රති නිර්මාණය කිරීමට හැකියාව තිබෙනවා. එහෙත් පළමු නිර්මාණය අභිබවා යෑමට හැකියාවක් නැති එක ගැන දුකයි. ඒත් ක්‍රමයේ වැරැද්දක් මා දකින්නේ නැහැ. වැරැද්ද තියෙන්නේ පළමු නිර්මාණ තරම් හොඳට නිමවා නොතිබීමයි.

‘කුස පබා’ චිත්‍රපටයේ පූජා උමාශංකර් (පබා) ‘මාතා’ චිත්‍රපටයෙත්, යශෝධා රාධ ක්‍රිෂ්ණන්ගේත් රඟපෑම් ගැන යමක් කියන්න.

එස්.අලහකෝන් – මුල්ලේරියාව

කියල වැඩක් නැහැ.

පරසතු මල්, මල්දෙණියේ සිමියොන්, නිධානය, වැලිකතර, චණ්ඩියා, කුරුළු බැද්ද චිත්‍රපටවල සී. ඩී. ලබා ගත හැකිද?

ඩබ්. දසනායක – දැරණියගල

පරසතු මල් ඩී. වී. ඩී නම් තිබෙනවා. අනිත් පිටපත් ගැන නම් මා දන්නේ නැහැ.

කාන්ති ගුණතුංග, හර්බි සෙනෙවිරත්න රඟපෑ වන මෝහිනී චිත්‍රපටය කැමරාගත කොට ඇත්තේ ලංකාවේද?

කේ. පී. පියසේන – මිනුවන්ගොඩ

ඉන්දියාවේ, මොඩර්න් චිත්‍රාගාරයේ.

ඔබ දන්නා පරිදි 1983 දී ගිනිබත් කළ විනාශ වූ සිංහල චිත්‍රපට කොපමණද?

ජයන්ත විජේසූරිය, වටපුළුව - මහනුවර

සංඛ්‍යාත්මකව හරියටම කියන්න අපහසුයි. චණ්ඩියා, ආත්ම පූජා චිත්‍රපට ඒ අතර තිබෙන බව ආරංචියි.

‘පතිවත’ නමින් සිංහල දෙබස් කවා ඇත්තේ කුමන චිත්‍රපටයටද?

තිලකරත්න විල්වල, මැණිකේ විල්වල – කෑගල්ල

දෙවතා හින්දි චිත්‍රපටයට.

‘නීල බිගු කැල – කාම රස පෙළ’ මෙම ගීය රචකයා හා ගායකයා කවුද?

සුනිල් චන්ද්‍රසේකර - කොටුගොඩ

රචකයා - කේ. ඩී. කේ. ධර්මවර්ධන

ගායකයා - ආචර්ය වික්ටර් රත්නායක

කාන්ති ගුණතුංග රඟපෑ චිත්‍රපට මොනවාද?

වියානි ගුණවර්ධන, නිලන්ති ගුණවර්ධන, ශීලා වැන්ඩවෝලින් - වෙන්නප්පුව

සූරයා, වන මෝහිනී, සන්දේශය ඇතුළු චිත්‍රපට කිහිපයක්.

ජැකී චෑන්ගේ විස්තරයක් පල කරන්න.

මලිත්ත විතානගේ – රුවන්වැල්ල

ජෑන් කොන් ෂැන්ග් නමින් හොංකොංහී 1954 අප්‍රේල් හත වැනිදා උපත ලද ජැකී චෑන් බෘස්ලී විසින් ලොවට හඳුන්වා දුන් සටන් ක්‍රියාදාම චිත්‍රපට කලාව නව මඟකට යොමු කළ නළුවෙක්. ඒ වගේම ඔහු දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. වර්තමානයේ හොලිවුඩයේ තැනෙන ඇතැම් ත්‍රිමාණ පරිගණක චිත්‍රපටවලට ඔහු හඬ කැවීමෙනුත් දායක වෙනවා.

හොංකොංහි ඉපැදුන ජැකී පසුව ඕස්ට්‍රේලියාවට ගියේ තම පියා එහි ඇමරිකානු තානාපති කාර්යාලයේ අරක්කැමියකු ලෙස සේවය කළ නිසයි.

එම නිසාම පීකිං ඔපෙරා පාසලේ ඉගෙනුම ලැබූ ඔහු එහි පළමු වේදිකා නාට්‍යයේද රඟපෑවා.

පසු කලෙක ජනප්‍රිය සටන් නළුවන් වූ සමෝ හුං හා යුඑන් බිෆෝ සමඟ එකට ඉගෙන ගත් ඔහු 1962 දී ‘බිග් ඇන්ඩ් ලිට්ල් වොන්ග් ටින්ග් බාර්’ නම් චිත්‍රපටයේ ළමා චරිතයක් රඟපෑවා.

පසු කලෙක ඔහු වඩා ජනප්‍රිය වන්න පටන් ගත්තේ ’හැන්ඩ් ඔෆ් ඩෙත් චිත්‍රපටයේ රඟපෑමත් සමඟයි. ‘ස්නේක් ඉන් ද ඊගල් ෂැඩෝ’ චිත්‍රපටය ඔහු ලෝ වටා ජනප්‍රිය නළුවෙක් බවට පත් කළා. 1980 දී පමණ හොලිවුඩ් සිනමාවට දායක වූ ඔහු එහි ද අතිශය ජනප්‍රිය වන්නට ගත්තා.

විශේෂයෙන්ම අතිශය ත්‍රාසජනක අවස්ථාවලදී ඔහු විසින්ම පෙනී සිටීමෙන් කළ බිහිසුණු සටන් ජවනිකා මෙන්ම හාස්‍යජනක ජවනිකා කිසි කලෙක ප්‍රේක්ෂකයන්ට අමතක නොවන්නේය. ජැකී බෞද්ධයෙකි.

එමෙන්ම එක් දරු පියෙකි.

ද ටෙන් කමාන්ඩ්මන්ට්ස් චිත්‍රපටය හා එහි රඟපෑ යුල් බ්‍රයිනර් ගැන යමක් දැන ගැනීමට කැමැතියි.

කමලා සෙනෙවිරත්න - හෝකන්දර

බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ එන ‘ටෙන් කමාන්ඩ්මන්ට්ස් හෙවත් දස පනත’ පාදක කරගෙන චිත්‍රපට කිහිපයක්ම තැනුණා. ඉන් පමුවැන්න 1923 දී තැනුණ නිහඬ චිත්‍රපටයයි. එම චිත්‍රපටය මෙන්ම 1956 දී තැනුණ චිත්‍රපටයත් නිර්මාණය කළේ සිසිල් බී. ද මෙල්.

මෙම චිත්‍රපටය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිනමාවේ වීර කාව්‍යයක්. වසර පනහක් ගතවීත් අදටත් මේ චිත්‍රපටය කිසිදු කම්මැලිකමකින් තොරව පැය තුන හමාරකට අධික කාලයක් නැරැඹිය හැකි චිත්‍රපටයක්.

එමෙන්ම ලෝකයේ වැඩියෙන්ම නරඹන චිත්‍රපට අතර ඉහළින්ම නම තැබූවක්. එහි යූල් බයිනර් දෙවැනි රමේෂ් පාරාවෝ චරිතය රඟපෑවා. රුසියානු ජාතිකයකු වූ ඔහුගේ නියම නම යුලෙරි බ්‍රොස්විතා බ්‍රයිනර්. ඔහු ඔස්කාර් සම්මාන දිනූ නළුවෙක් වගේම ඔහුගේ තට්ට හිස නිසා තවත් කැපී පෙනුණා.

ඔහු උපන්නේ 1920 ජූලි 11 වැනිදා. ව්‍රැඩි බොස්ට්‍රෙස්් (රුසියාවේ) දීයි. බයිනර් ළමා වියේදීම ඇමරිකාවට පැමිණියා. ඔහු පළමුවෙන්ම නිරුවත් පිංතූර කිහිපයකට පෙනී සිටි කෙනෙක්. මේ අවධියේදී රඟපෑ හොර්ට් ඔෆ් නිව්යෝර්ක්, ඔහුගේ ස්වාභාවික කොණ්ඩය තිබූ එකම චිත්‍රපටයයි.

ඔහු වඩාත් ජනප්‍රිය වූයේ ‘ද කිංග් ඇන්ඩ් අයි’ චිත්‍රපටයේ රඟපාමිනි. ඊට පසු ඔහු රඟපෑ මැග්නිෆිසන්ට් සෙවන්, බ්‍රදර්ස් කර්මසෝ වැනි චිත්‍රපට හරහා අතිශය ජනප්‍රිය වූවා. 1985 ඔක්: 10 වැනිදා මිය ගියේ හදවත් පිළිකාවක් හේතුවෙනි. ඔහුගේ අමුතුම ගති පැවැතුම් නිසා සිනමා කර්මාන්තයේ වඩාත් කතාබහට ලක්වුණා.