වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





රඟපාන්න ගිහින් ‘ගේම’ ඉල්ලලා

රඟපාන්න ගිහින් ‘ගේම’ ඉල්ලලා

එල්. එම්. ගේ බාල පුතු හරිඳු වරුණ ‘අමා’ ගැන කියයි 1992 සිට රංගනයේ යෙදුණ ද ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීප වූයේ ‘අමා’ ටෙලි සිත්තමේ ‘වරා’ නම් චණ්ඩියාගේ චරිතයෙන් බව ඔබට මතක ඇතැයි සිතමි. ඔහු වෘත්තීය නළුවකු පමණක් නොව රූපලාවන්‍ය ශිල්පියෙකි. මොහු වෙන කවුරුත් නොව විකට නළුවකු ලෙස ජනාදරයට පත් එල්. එම්. පෙරේරාගේ බාල පුත් හරිදු වරුණ පෙරේරායි.

එල්. එම්. ගේ බාල පුතා ද සිය පියාගේ අඩි පාරේ යමින් රංනයට, තිර රචනයට හා නිෂ්පාදනයට පිවිසිලා කිව්වොත්?

ඔව්. බුදු දහම ඇසුරින් ටෙලි නාට්‍යය පිටපතක් ලියල තිබෙන්නේ. නිෂ්පාදකයව රැකෙන වැඩ පිළිවෙලක් තිබෙනවා නම් මමත් නිෂ්පාදනයට ඉක්මනින් එන්න සූදානම්.

‘අමා’ සිත්තමේ රඟපාන්න ලැබීම ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

පොඩි කාලේ සිට තිබුණු සිහිනයක් සැබෑ වුණා. ඒ ගැන හරිම සතුටුයි.

‘අමා’ ටෙලි නාට්‍යයේ මගේ පුංචි චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

අමා’ ටෙලි නාට්‍යයට ඔබ එක් වුණේ කොහොමද?

මම නිෂ්පාදනයට සූදානම් වූ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණයට කෙනෙක් සොයන අතරේ මට හමු වුණා ටෙලි නාට්‍යය අධ්‍යක්ෂක ධම්මික පීරිස් මහතාව. එතුමා මට හඳුන්වලා දුන්නා ‘අමා’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ශාන්ත සොයිසා මහතාව. එතුමා නවකයන් බොහොමයකට අත දුන් කෙනෙක්. එතුමා මට ‘අමා’ නාට්‍යයේ චරිතයකට අවස්ථාව දුන්නා.

පිය උරුමයෙන් කලා ක්ෂේත්‍රයට පා තැබූ අයෙක් ලෙස හැඳුන්වුවහොත්?

තාත්ත මට කලා ක්ෂේත්‍රයේ බොහෝ අය හඳුන්වා දුන්නා. නමුත් ඒ අයගෙන් මට කිසිදු උපකාරයක් ලැබුණේ නැහැ. මට රඟපාන්න අවස්ථාව ලබා දුන්නේ ශාන්ත සොයිසා මහත්තයයි. ඒ එල්. එම්. ගේ බාල පුතා නිසා නෙමෙයි. දක්ෂතාව තියෙන බව එතුමාට අවබෝධ වුණු නිසයි.

ඔබට රඟපාන්න ලැබෙනවා නම් හොඳයි කියලා හිතෙන සිහින චරිතයක් තියෙනවාද?

ඔව්, අංග විකල ළමයෙක් ගේ චරිතයක්, තාත්වික සටන් ජවනිකා තිබෙන චරිත ලැබුණොත් කැමැතියි.

‘අමා’ ටෙලි සිත්තම රූගත කිරීම්වලදී අමතක නොවන සිද්ධි ඇති. ඒවා මතක් කළොත්?

මම චණ්ඩියෙක්ගේ ගෝලය විදිහට තවත් රංගන ශිල්පියෙකුගේ බෙල්ලට හිමින් ගහන්න. මම ඒ රඟපෑම ඒ විදිහටම කළා. නමුත් ඒ රංගන ශිල්පියාට තරහා ගිහින් සියලු දෙනාටම කෑ ගැසුවා. (කෙටියෙන් කියනවා නම් මගෙන් ගේම ඉල්ලුවා). දවස් ගාණක් කතා කළෙත් නැහැ.

ඇත්ත ජීවිතයේදීත් ඔබ එවැනි චරිතයක්ද?

අප්පෝ නැහැ. මම කරාතේ උපදේශකවරයෙක් වුණත් අද වෙනකම් කාටවත් ගහල නැහැ. ඉදිරියේදීත් ගහන්න බලාපොරොත්තුවකුත් නැහැ. අරක්කු, සිගරට්, මස් මාංශ කිසිවක් භාවිතයේ නැහැ. බුදු දහම අනුව සියලු පස් පවෙන් මිදිලා ජීවත් වෙනවා.

තව ටෙලි නාට්‍යයවලට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව උදා වුණේ නැද්ද?

ටෙලි නාට්‍යය හතරකට ආරාධනා ලැබී තිබෙනවා. කාල වේලාව අනුව ඒවට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ‘කෝපි කඩේ’ කොටස් කිහිපයකිනුත් ප්‍රේක්ෂක ඔබ අතරට එන්න අවස්ථාවක් උදා වෙයි.

හරිදු ඔබ වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පියෙක්. ඒ ගැන යමක් කිව්වොත්?

වසර 12 ක් පුරා රටවල් 11 ක වැඩ කර තිබෙනවා. අමෙරිකන් යුධ හමුදාවේ ඉරාකයේ බේස් 750 ක විතර ප්‍රධාන රූපලාවන්‍ය ශිල්පියෙකු ලෙස වැඩ කළා. මම වැඩ කරපු රටවල්වල රාජ්‍ය නායකයන් බොහොමයකගේ රූපලාවන්‍ය ශිල්පියා හැටියටත් වැඩ කළා . දැනට ජාඇල සැලුන් එකක් කරනවා. පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්ගේ සහ ප්‍රවීණ රංගන ශිල්පීන් බොහොමයකගේ රූපලාවන්‍ය කටයුතු කරන්නේ මම තමයි.

ඔබට මේ ගමන එන්නට අත දුන් අය ඇති. ඒ අයවත් මතක් කරමු නේද?

ඇමැති ෆීලික්ස් පෙරේරා, වින් කමාන්ඩ විමල් කරුණාරත්න, අතිගරු ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගනාත් අබේගුණවර්ධන, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් සිගේරා, ශාන්ත සොයිසා, ධම්මික පීරිස්, මහේෂ් රත්සර මද්දුම ආරච්චි, රොෂාන් පෙරේරා, තිලක් කුමාර රත්නායක, නිශාන්ත අබේවිත්‍රම, දීපාල් පෙරේරා, මහේෂ් උයන්වත්ත යන මහත්වරු ඉතා ගෞරවයෙන් මේ අවස්ථාවේදී මතක් කරනවා.

ඔබේ පවුල පිළිබඳ කිව්වොත්?

ඉන්දියානු සම්බවයක් ඇති කෙනෙක් තමයි මගේ බිරිඳ. ඇය නමින් සමීරා පෙරේරා. පුතා නිතිශ් පෙරේරා අවුරුදු 3 1/2 යි. මගේ රූපලාවන්‍ය කටයුතුවලට බිරිඳගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මට පුළුවන් වුණේ රංගනය පැත්තට යොමු වෙන්න.

ඉදිරි බලාපොරොත්තු?

රංගනයේ නියැලෙන ගමන් ටෙලි හා චිත්‍රපට නිෂ්පාදනය කරන්නත්, රූපලාවන්‍ය කටයුතු වැඩි දියුණු කර ඒ තුළින් අලුත් පරම්පරාවකට අත දෙන්න තමයි බලාපොරොත්තුව.

අවසාන වශයෙන් ඔබගේ ප්‍රේක්ෂකයන්ට කිවයුතු දෙයක් තිබේද?

මගේ රංගනයේ අඩුපාඩු පෙන්වා දෙනවා නම් මම හරි කැමැතියි. 0727300300 දුරකථනයට කතා කරලා ඔබේ අදහස් මට කියන්න.