වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





මේ තරුවලට ඉතිං කාගේ පිහිටද . . .?

මේ තරුවලට ඉතිං කාගේ පිහිටද . . .?

ඉන්ද්‍රචාප

මේ ගමන හොඳයි – මන්දගාමියි, දිගුයි

ඉන්ද්‍රචාප ලියනගේ
(හඳුන්වාදීම අනවශ්‍යයි).

පසුගිය කාලයේ ඔබ අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්. මේකට හේතුව කළකිරීමක්ද? කාර්ය බහුලත්වයක්ද නැත්නම් පෞද්ගලික කාරණාවක් ද?

මේ කාරණා ත්‍රිත්වයම නෙවෙයි. මම පසුගිය කාලේ කටයුතු කිහිපයක් වෙනුවෙන් කාලය වැය කළා. පළමුවැන්න මගේ උපාධිය. දෙවැන්න අලුත් ව්‍යාපෘතිය. මම අලුත් ආකාරයේ සංගීත සංයෝජන කටයුතු අධ්‍යනය වෙනුවෙන් කාලය වැය කරමිනුයි ඉන්නේ. ඒ සංගීත රටා ඇසුරෙන් නිර්මාණ කිහිපයකුත් බිහි කළා. නමුත් ඒ නව නිර්මාණ එක පාරටම එළියට එන්නේ නැහැ. මෙවැනි දේවල් ගැන කතා බහක්, පිළිගැනීමක් ඇති වෙන්න කලක් ගත වෙනවා.

මේ සංගීත රටා අලුත් කිව්වම වැරැදි මතයක් ගොඩ නඟා ගන්නට පුළුවන්. මේ විධි ක්‍රමය අපේ රටට අලුත්. රොක් ශෛලිය උපයෝගී කොට ගනිමින් ඒ ගැන අධ්‍යනය කරමින් තමයි මා නිර්මාණ කළේ. මට හිතෙනවා පසුගිය වසර මගේ අලුත් ව්‍යාපෘතියට සාර්ථක වසරක් කියලා.

දෙරණ මියුසික් අවෝඩ් හි මට සම්මාන 20 ක් විතර ලැබුණා. අපි කරන සංගීතය ලාභ උපයන එකක් නොවන නිසා ප්‍රචලිත වන්නේ ඉතා සෙමින්.

මීට කලකට පෙර මේ ගමන පැමිණියේ ඔබ තවත් කෙනෙකුත් සමඟ. ඒ කසුන්. ඔබ දෙදෙනාට දෙදෙනාම ආලෝකයක් වූ යුගයක් තිබුණා. මොකද මේ සුසංයෝගයට අතරමඟදී සිද්ධ වුණේ?

ඇත්තටම මගෙයි කසුන්ගෙයි එදා ඉඳලම තිබුණේ විවේචනාත්මක සබඳතාවයක්. අපි හොඳ මිත්‍රයෝ. නමුත් අපේ අදහස් දෙආකාරයි. අපි හොඳ ගමනක් පැමිණියා. එක් සන්ධිස්ථානයකදී මම සහ කසුන් දෙදෙනාම තීරණය කරනවා මාවත් දෙකක යන්න. ඉතිං අපි ඒ මං මාවත්වල ගමන අරඹනවා.

අදටත් අප එකට වැඩ කරන අවස්ථා නැතුවාම නොවෙයි. මේ සබඳතාව බිඳෙන්නේ නිර්මාණවලදී මිසක් පෞද්ගලික ජීවිතේ නෙවෙයි. අපි තවමත් විවේචන කර ගන්නවා. නිර්මාණ පිළිබඳ කතා කරනවා. නමුත් අපේ ගමන දෙආකාරයි.

ආයෙමත් කසුන් - ඉන්ද්‍රචාප එකතු වෙන එකක් නැද්ද තව මංසන්ධියකදී?

ඒක නිශ්චිතවම කිව නොහැකිය. අපි ගමන් කරන පාරවල් කොතරම් දුරද, රළු ද, පළල ද කියලා තවමත් අධ්‍යනකයි ඉන්නේ. ඕනෑම දෙයක් වෙන්නටත් පුළුවනි, නොවෙන්නටත් පුළුවනි.

ඔබට තිබෙන පවුල් පරිසරයත් එක්ක නළුවෙක් වුණා නම් මිට වඩා හොඳයි කියලා දැන්වත් හිතෙන්නේ නැද්ද?

ඒ කාලේ කසුන්, කෞශල්‍ය කුමාරසිංහ, ගසලක, සමනලී ෆොන්සේකා, චාමර ගුරුගේ, විදර්ශන වගේ දැන් ක්ෂේත්‍රයේ ඉන්න අය අතරේ මාව ජනප්‍රිය වෙලා තිබුණේ නළුවෙක් විදියට. ඒ කාලේ ආනන්දෙ ඇතුළෙත් මං නළුවෙක්. නමුත් මං ඒ පැත්තට යොමු වුණේ නැහැ. මට ලක්ෂයක් ඉදිරියේ ගීත ගයන්න පුළුවන්. දාහක් ඉදිරියේ මට රඟපාන්න හැකි වේවි ද කියන චකිතය තියෙනවා. විශ්වාසයක් නැති දේවල් කරන්න මගේ හෘද සාක්ෂිය ඉඩ දෙන්නේ නැහැ.

අනෙක නළුවෙක් වුණානං අපේ ගෙදරත් නළුවො දෙන්නෙක් ඉන්න නිසා මට ගොඩක් දුර යන්න තිබුණා. තාත්තා හා අයියාගේ සබඳතා අනියම් වශයෙන් හෝ මගේ ගමනට බලපාන්න ඉඩ තිබුණා.

නමුත් අද මගේ ගමන ස්වාධීනයි. මියුසික් තමයි මගේ වැඩේ. කරන්න පුළුවන් දේ හරියට කරන එක හොඳයි කියලා මට හිතෙනවා. ඒ අතරතුර උදය ධර්මවර්ධනගේ චිත්‍රපටයකට මං දායක වුණා. ඒ වගේම ඉනෝකා සත්‍යාංගනී ගේ චිත්‍රපටයකත් රංගනයෙන් දායක වුණා.

අද අපේ රටේ ඉන්න බහුතර දෙනා තරු.

ඔව්. මේක හරිම විශ්වකර්ම වැඩක්. මේ ප්‍රශ්නයට වගකිව යුත්තේ මාධ්‍යය. මාධ්‍ය තමයි මේ තරු හදන්නේ.

කොහේ හරි ඉන්න කොල්ලො, කෙල්ලො ටිකක් ගෙනල්ල උන් ටික මොඩ් කරලා මාධ්‍ය තරු හදනවා. මේ තරු ජනප්‍රිය කරවල කොම්පැණිවලට විකුණල මාධ්‍ය සල්ලි හොයනවා. දැන් මේ කාරණා දිහා ආයේ හැරිලා බැලුවම අද මේ හදන්නේ තරු ද? නෑ. කිරි පිටි, බීම, කේක්, චොකලට් විකුණන සේල්ස් රෙෆ්ල. මේ තරුවලට ඉතිං කාගෙ පිහිටද? මේ අය තමයි සමාජය ආර්ටිස්ල කියල පිළිගන්නෙ. මෙහෙම ගියොත් වැඩේ ඉවර වෙන්න ගත වෙන්නෙ තව ටික කලයි.

වැඩේ කියල ඔබ අදහස් කළේ කලාවද?

නෑ, නෑ, කලාව තියෙන්නේ වෙන තැනක. මේක තියෙන්නේ වෙන තැනක. මං කියන්නේ මෙහෙම ගියොත් රස වින්දනය ඉවරයි කියලයි.

ඔබත් පසුගියදා රියැලිටි වැඩ සටහනක මා දුටුවා.

ඔව් . . . මගේ අලුත් නිර්මාණ කටයුත්ත ජනතාවට ගෙන යන්නට මාවතක් තිබිය යුතුයි. ඊට හොඳ වේදිකාවක් ලැබුණොත් මං භාර ගන්නවා. ඒ වැඩ සටහන්වලදී ජනතාව දකින්නේ සැබෑ ඉන්ද්‍රචාප මිස නාලිකාවේ ඕනෑ එපාකම් වෙනුවෙන් කඩේ යන ඉත්තෙක් නෙවෙයි. අපි හරියට වැඩ කරනවා නම් කොයි වේදිකාවේත් හොඳින් ඉන්න පුළුවන්.

මං කියන්නේ අපි කොලිටි දේවල් විකුණමු. මේ වැදගැම්මක් නැති බාල බඩු හදන වෙලාවේ හොඳ දේ විකුණන්න පුරුදු වෙමු.

ඔබ ඔය කියන ව්‍යාපාතිය අලුත්ම සංගීත අත්දැකීමක්ද?

නෑ . . . නෑ . . . මං මීට පෙරත් කිව්වා අලුත් අපේ රටට විතරයි කියලා. තවමත් කාටවත් අලුත්ම දෙයක් කරන්න බැහැ. විවිධ සොයා ගැනීම් කළ විද්‍යාඥයන් අවසානයේ ජයග්‍රහණය කළේ කාලාන්තරයක, කිහිප දෙනකු කළ පර්යේෂණවල ප්‍රතිඵල. ඒ වගේ මේ සංගීත රටාව වෙනස්. මගේ අත්හදා බැලීම තුළ තිබෙන්නේ කොපි කිරීමේ ජනප්‍රිය කලාව නෙවෙයි. මා ලෝක සංගීත සම්ප්‍රදායන් ඇසුරින් මට අවශ්‍ය දේ මගේ විදිහට ගන්නවා.

මේ සංධර්භය අලුත්. මම මාව තේරුම් ගැනීම තුළ තමයි මේ ව්‍යාපෘතිය අලුත් වෙන්නේ.

අද බොහෝ ගායක ගායිකාවන් ස්වයං අධ්‍යනයක යෙදෙනනවා කියන කතාව අසන්නට ලැබෙන්නේ කලාතුරකින්?

කලාතුරකින්වත් එහෙම අහන්න ලැබෙන්නේ නැහැ. අද බොහෝ ගායිකාවන් ලංකාවේ සිට ලොව පුරා තිබෙන සාරි සාප්පු, මාල මුදු කඩ, සපත්තු කඩ ඔක්කොම ගැන හොඳ ස්වයං අධ්‍යනයක් කරනවා.

ඒත් ඔවුන් නොසොයන එකම දේ සංගීතයයි. පිරිමිත් එහෙමයි. අද තියෙන්නේ මොනව හරි කියල ගාන කඩාගන්න න්‍යායක්.

ඒ නිසා අපේ ගායිකාවනට වඩා මට බ්‍රිට්නිල හොඳයි. කියන දේවල් නෙවෙයි. ඒ අයගේ අධ්‍යනය නියමයි. අපේ අය ගීත ගයන්නේ වේදිකාවේ විතරයි. තමන් දැනුමෙන්, ශිල්පයෙන් පෝෂණය වන්නට ඒ අයට වෙලාවක් නැහැ.

අද ඇතැම් දෙනා වේදිකාවේ කට සොලවන ගායකයෝ?

ඔව් . . . මේක හරිම ඛේදජනකයි. ගෙදර නනා ඉන්න කොට දුව සින්දුවක් කිව්වම ස්ටාර් තරගයට දුව යවනවා.

කොල්ලො එකතු වෙච්ච පාර්ටියකදී එකෙක් සින්දුවක් කිව්වම පහුවදා මේ තරුණයා ස්ටාර් තරගයට යවන්නේ යාළුවෝ. ‘උඹ හරියට ජෝති වගෙයි’ කියලා මේ කොල්ල අන්දනවා. ඊට පස්සේ නාලිතාක් මේ අය අන්දනවා. ඊට පස්සේ ස්ටාර්ල. කොහෙන් හරි පත්තු වුණ පළියට ගීත ගයන්න බැහැ. ඒ වගේ අයට වෙලා තියෙන්නේ වේදිකාවේ රෙකෝඩින්වලට කට හොලවන්න.

අද ගීතය රිනිග් ටෝන් වෙච්ච යුගයක්?

ඔව් . . . මං දවසකට කෝල් හයක් හතක් ගන්නවා. මට කවදාවත් රිනිග් ටෝන්වල මගේ ගීතයක් තමාගේ දුරකතනයේ දමාගෙන ඉන්න කෙනෙක් හමුවෙලා නැහැ.

ඒක මට සතුටක්. මොකද මගේ ගීත අහන අයට තමන්ගේ රිගින් ටෝන් එකට දාලා මගේ ගීත අහන්න අවශ්‍ය අය නෙවෙයි. මගේ ගීත අහන්නේ මොලේ තියෙන පිරිසක් කියල හිතල මං සතුටු වෙනවා.

සින්දුවක් කරල රිගින් ටෝන් දාල දැන් පත්තු වෙයි දැන් පත්තු වෙයි කියලා බලන් ඉන්න ගායක ගායිකාවෝ අද ඕනෑ තරම් ඉන්නවා.

මේ ගමන ගැන තෘප්තිමත්ද?

මගේ ද . . . සංගීතයේද?

ඔබේ . . .?

ඔව්, මේ රටේ කලාව තියෙන තැන තියෙන්නේ රික්තකයක්. ඒ රික්තකය ඇතුළෙ හොඳ වැඩ කරන අයට අවස්ථාව තියෙනවා. මං ප්‍රධාන ප්‍රවාහයේ කෙනෙක් නොවෙයි. විකල්ප ප්‍රවාහයේ කෙනෙක්. ඒ නිසා මං කතා කරන්නේ වෙනම පිරිසකට. මේ ගමන හොඳයි . . . මන්දගාමියි . . . දිගුයි . . .