වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





රන්බීර් යකා වෙලා

රන්බීර් යකා වෙලා

තිරයේ ආදරණීයම, අහිංසකම, ආකර්ෂණීයම ප්‍රේමවන්තයා හිටි හැටියේම දුෂ්ටයකු වන්න තීරණය කරලා.

ඔහු රන්බීර් කපූර්. විවිධ චරිත නිරූපණය කිරීමට කවදත් කැමැති රන්බීර්ට මේ සතුට උතුරා යන අත්දැකීමක්ලු. හොලිවුඩයේ රොබට් පැට්සන් රැඟූ ‘ට්ව්ලයිට්’ සිනමාපටයේ චරිතය රන්බීර් නිරූපණය කරනවා. ‘ට්ව්ලයිට්’ බොලිවුඩයේ නිර්මාණය වන්නේ ‘බ්ලඩ් වීර්’ නමින්. මේ රුධිරය උරා බොන්නෙකුගේ චරිතයක්.

අක්කලා මල්ලිලා රිදී තිරයට ඇවිත්

හොඳම අධ්‍යක්ෂණයට සම්මාන මල්ලක්ම දෝතින් දරා සිටින සෝයා අක්තාර්, ‘සින්දගී නා මිලේගි දොබරා’ට පසු තවත් රසවත් වෙනසකට සූදානම් වෙනවා. මේ වෙනස ඇය කරන්නේ බොලිවුඩයේ සුපිරි සහෝදර නළු නිළි එකතුවකින්. කරීනා කපූර් – රන්බීර් කපූර් මේ ඥාති සොයුරු සුසංයෝගයයි.

තිරයේදීවත් පෙම්වතුන් වීම නෑකමට එරෙහි වීමක් නිසා ඔවුන් මෙහි පෙම්වතුන් ලෙස රඟපාන්නේ නැහැ. ඔවුන් සිනමාපටයේ ද සොයුරු සොයුරියන් ලෙස රඟනවා.

කරීනා - රන්බීර් එකට රඟ නොපාන්නේ ඇයිදැයි කියා රසිකයන්ගෙන් යොමු වුණු පැනයට මෙය කදිම පිළිතුරක්. සිනමාපටය නම් වසර නිම වීමට පෙර තිරගත වීමට නියමිතයි. මෑතකදී ‘හවුස්ෆුල් 2’ හි රන්බීර්ගේ පියා රිෂි කපූර් සහ කරීනාගේ පියා රන්ධීර් ද පළමුවරට තිරයේදී එකට රඟපෑවා. ඒ නිසා මේ වසර කපූර් පවුලට සුවිශේෂී වසරක්.

කරීනා ගොළු වෙලා

තිරගත වීමට පෙර ‘හෙරොයින්’ තරමට කතාබහට ලක් වූ, පුවත් මැවූ සිනමාපටයක් නැති තරම්. මෑතකදී ‘හෙරොයින්’ දර්ශන තලයෙන් ලැබෙන්නේ එතරම් සුබ ආරංචි නොවෙයි.

සිනමාපටය රූගත කිරීමේදී කතා නායිකාව, කරීනා කපූර්ට කටහඬ අහිමි වූ බව ලැබෙන අලුත්ම නරක ආරංචියයි. මේ අකරතැබ්බය සිදු වී ඇත්තේ රඟපෑමේදී චරිතයට අවශ්‍ය ආකාරයට උස් හඬින් කතා කිරීමට යාම නිසයි.

කරීනා ග්ලසරීන් භාවිත කිරීම වැනි සිනමා උපක්‍රම භාවිත නොකර, ස්වභාවිකවම චරිතය නිරූපණය කරන්නියක්. සිනමාපටයේදී ඇයට නළු අර්ජුන් රාම්පාල්ට සහ රන්දීප් හූඩාට උස් හඬින් කෑ ගැසීමට සිදු වෙලා. කරීනා කෙතරම් උස් හඬින් කෑ ගැසුවා ද කිවහොත් ඇයගේ උගුරට කතා කර ගැනීමට බැරි තරමටම හානි සිදු වෙලා. අධ්‍යක්ෂ මධූර් භන්දර්කර්, බෙබෝගේ (කරීනාගේ) සෞඛ්‍ය තත්ත්වය ගැන බොහොම හිත කරදර කර ගත්තාලු. එහෙත් වාසනාවකට මේ අනතුර, රූගත කිරීමේ දිනවලට ප්‍රශ්නයක් වෙලා නම් නැහැ.

මේ අතර කරීනා කපූර් මෙනවිය, කරීනා ඛාන් වීමට ඇත්තේ තවත් මාස කිහිපයක් පමණයි. සායිෆ් අලි ඛාන්ගේ මව, ප්‍රවීණ නිළි ෂර්මිලා තාගෝර් දෙදෙනාගේ විවාහය මෝසම් සමයට පසු ස්ථිරවම සිදුවන බව සනාතකර තිබෙනවා.

ෂර්මිලා, කරීනාට හරිම ආදරෙයි. ‘ඇය වැනි බිරියක් ලැබීමට සායිෆ් පින් කරලා තියෙනවා. මේ ෂර්මිලා නිතරම කියන කතාවක්.

වෙන් වෙලා නොවෙයි එක් වෙලා

අක්ෂේ කුමාර්, ට්වින්කල් ඛන්නා යුවළ එකට ගමන් බිමන් නොයාම අන් අයට කෙතරම් ප්‍රශ්නයක් වූවා ද කිවහොත්, සමහරුන් මේ කසාදයට දික්කසාද ලියවිලිත් සූදානම් කළා.

බත ඉදෙන තුරු පමණක් පවතින දෙන්නා දෙමහල්ලන්ගේ දබර ගැන ලෝකයා ගන්නා තීරණ මොන තරම් වැරැදිද? අක්ෂේ - ට්වින්කල් ගැන දීමට සූදානම් වූ තීරණය ඊට හොඳම උදාහරණයක්. ඔවුන් එකට ගමන් නොගියේ ඊට වඩා සොඳුරු රස රහසක් නිසා බව පසුගියදා හෙළි වුණා.

ට්වින්කල් බාහිර ලෝකයෙන් දුරස් වී සිට ඇත්තේ ඔවුන්ගේ ලෝකයේදී ඔවුනොවුන් වඩාත් සමීප වී ඇති නිසයි. ලබන සැප්තැම්බරයේදි ට්වින්කල් දෙවෙනි වරට මවු පදවිය ලබනවලු.

දෙදෙනාගේ වැඩිමල් දරුවාගේ නම ආරව්. ඔහු දැන් එකොළොස් හැවිරිදි දඟකාර කොලු පැංචෙක්.

මුල් මාස තුනේදී ඇය නිවෙසින් පිටතට නොගියේ වෛද්‍ය උපදෙස් නිසයි.

දැන් ඇය ගෙවන්නේ ගර්භණී සමයේ දෙවැනි කාර්තුවයි. දැන් පිටතට යාමට වෛද්‍යවරුන් ඇයට අවසර ලබා දී තිබෙනවා. ඒ නිසා මැයි 25 වැනිදා පැවැත්වෙන කරන් ජොහාර්ගේ උපන් දින සාදයට ට්වින්කල්, අක්ෂේ සමඟ සහභාගිවීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

ට්වින්කල්ව රැක බලා ගැනීමට මව, ඩිම්පල් කපාඩියාත් අක්ෂේ – ට්වින්කල් කැදැල්ලට පැමිණිලා. හිටපු සුපිරි නළු රාජේශ් ඛන්නා හා නිළි ඩිම්පල් දෙවන වරටත් මුනුබුරකුගේ හෝ මිනිබිරියකගේ සුරතල් බැලීමට මඟ බලා සිටිනවා. කෙතරම් කාර්යබහුල වුණත් අවසාන මාස කිහිපයේදී ට්වින්කල් වෙනුවෙන් කාලය වැය කිරීමට අක්ෂේ බලාපොරොත්තුවෙන් සිටිනවා.

අක්ෂේ බොලිවුඩයේ අනෙක් සුපිරි නළු සැමියන්ට වඩා වෙනස්. රාත්‍රී සාදවලට සහ ඝෝෂාකාරී සංගීතයට අකැමැති ඔහු රාත්‍රී 9.00 – 9.30 වන විටම නින්දට යනවා. පාන්දර 4.30 ට අවදි වෙනවා. ට්වින්කල් ද රාත්‍රී 8.45 වන විට නින්දට යනවාලු. ට්වින්කල් හා මා අතරේ පවතින එකම සමානකම වේලාසනින් නින්දට යාම කියා වරක් අක්ෂේ පවසා තිබුණා.

වසර 2001 දී විවාහවීමෙන් පසු, ට්වින්කල් රංගනයෙන් ඈත් වුණා. දැන් ඇය මුලු කාලයම වැය කරන්නේ ගෘහ අලංකරණයටයි. තිස් හත් හැවිරිදි ට්වින්කල්ට හතළිස් හතර හැවිරිදි අක්ෂේ කුමාර්ට දෙන්නා තුන් දෙනා වූ පසුත් නිදා ගන්නා කාල සටහන ඒ අයුරින්ම පවත්වාගෙන යාමට හැකි වේවිද යන්න නම් සැක සහිතයි. කෙසේ වෙතත් මේ වසරත් බොලිවුඩය කිරි සුවඳින් නැහැවෙන වසරක්.

ශිල්පා මැයි මාසය නිම වීමට පෙර කුලුඳුල් දරුවා බිහි කිරීමට නියමිතයි. නිළි අම්රිතා අරෝරා ද සිය දෙවැනි දරුවා ලැබීමට සිටිනවා. අම්රිතා දෙහැවිරිදි පුතකුගේ මවක්. දැන් ඇය සිඟිති දූ කුමරියකගේ කිරි සිනහවක් බලන්න පැතුම් පුරනවලු.