වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





රංජිත් එදිරිසිංහගේ පුතු යුග දිවියට

රංජිත් එදිරිසිංහගේ පුතු යුග දිවියට

භාරත ගී වින්දන වැඩසටහන සමඟ අතිශය ජනප්‍රිය වූ ජනාධිපති සම්මානලාභී රංජිත් එදිරිසිංහගේ ආදරණීය පුතු හර්ෂ එදිරිසිංහගේ විවාහ මංගල්ලය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සිදු විණ.

ඔහුගේ අතගත් වාසනාවන්තිය වූයේ කෝකිලා විජේසූරියයි. කෝකිලා ජනප්‍රිය නළු, නිවේදක කැළුම් විජේසූරියගේ වැඩිමහල් සොයුරු නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පති ආනන්ද විජේසූරිය මහතාගේ දියණියයි.

මෙම විවාහයට අත්සන් තැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසිනි. මනාල යුවළ , මව් පියන් සමඟ ජනාධිපතිතුමන්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය ජීවන් කුමාරතුංග , යන මහත්වරුන් හා සේයාරුවකට පෙනී සිටි අන්දමයි මේ. ඡාය ා - සමන් ශ්‍රී වෙදගේ

ඉනිඅවන් කාන් යයි

අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ‘ඉනිඅවන්’ මෙවර කාන්ස් සිනමා උළෙල සඳහා ස්වාධීන සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය (ACID) විසින් ඉදිරිපත් කරන චිත්‍රපට නවය සඳහා තෝරා ගෙන ඇත.

මැයි මස 16 – 26 දක්වා පැවැත්වෙන කාන්ස් සිනමා උළෙලෙහි ප්‍රදර්ශනයෙන් අනතුරුව මෙම තෝරා ගත් චිත්‍රපට ප්‍රංශයෙත් ලොව පුරා චිත්‍රපට උළෙල හතළිහකත්, එක්සත් ජනපදයේ මියාමි නගරයේත් ප්‍රදර්ශනය කෙරෙනු ඇත. ඊට අමතරව 2012 සරත් සමයේ පැරිසිය සහ අවට සිනමාහල් තිහක මෙම චිත්‍රපට එකතුව ප්‍රදර්ශනය කෙරෙයි. ප්‍රංශයේ හෙලියෝටොෆ් චිත්‍රපට විසින් ඉනිඅවන් ප්‍රංශයේ බෙදා හැරීමට නියමිතයි.

ඉනිඅවන් හි ප්‍රධාන භූමිකා දර්ශන් ධර්මරාජ්, සුභාෂිණී බාලසුබ‍්‍රමනියම්, නිරාණි ශන්මුගරාජා, රාජා ගනේෂන්, මැල්කම් මචාඩෝ සහ කිංග් රත්නම් විසින් නිරූපණය කරයි. කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිිය, සංගීතය කපිල පූගලආරච්චි, සංස්කරණය අජිත් රාමනායක, හඬ පරිපාලනය කලුආරච්චි සහ කලා අධ්‍යක්ෂණය සුනිල් විජේරත්න හැඩගැන් වූ ඉනිඅවන් ඊ. කල්චර් ප්‍රඩක්ෂන් වෙනුවෙන් ජගත් වැල්ලවත්ත සහ අනුර ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.

ඉනිඅවන් පසුගියදා කොරියාවේ ජොන්සු උළෙල ද නියෝජනය කළේය.

රෝයිගේ ඉංග්‍රීසි චිත්‍රපටයට මැජස්ටික් ශාලාවේ උණුසුම් ප්‍රතිචාර

ලංකාවේ නිර්මාණය කළ චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයක් කොළඹ ඉංග්‍රීසි චිත්‍රපට සඳහාම වෙන් වූ මැජස්ටික් සිනගමාහල් සංකීර්ණ ශාලාවේදී ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර ලැබෙන බව වාර්තා වෙයි. චිත්‍රපටය තිරගත වනුයේ කවදාදැයි දැන ගැනීමට ප්‍රෙක්ෂකයන් නිතරම විමසුම් කරන බව ද වාර්තා වෙයි.

ඒ රෝයි ද සිල්වා ඉංග්‍රීසි බසින් නිර්මාණය කළ ‘ ඉට්ස් අ මැටර් ඔෆ් ලව්’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයයි. එය මේ දිනවල මැජෙස්ටික් සිටි සිනමා සංකීර්ණයේ සෑම සිනමා ශාලාවක ප්‍රදර්ශනය වෙයි.

ළඟදීම තිරගතවීමට ඇති ඉට්ස් අ මැටර් ඔෆ් ලව් සුමනා අමරසිංහගේ නිෂ්පාදනයකි. ලංකාවේ මුල් වරට ඉංග්‍රීසි චිත්‍රපටයක දෙවන කොටස නිර්මාණය කරමින් රෝයි තවත් වාර්තාවක් තබනුයේ මේ චිත්‍රපටය සමඟිනි. මෙහි මුල් චිත්‍රපටය ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් නමින් ඉහතදී තිරගත විණ.