වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





නමක් නැති මිනිසාගේ නිමක් නැති පෙම් කතා -06

නමක් නැති මිනිසාගේ නිමක් නැති පෙම් කතා -06

සොර අඹුව සමඟ ධවල මන්දිරයට

ජේස්ලින් රීව්ස් සමඟ ක්ලින්ට් පවත්වාගෙන ගිය සබඳතාව කාලයක් යන තුරුම සොන්ඩ්‍රා ලොක්ට රහසක් වූයේය. ජේස්ලින් ඔහුට දාව ස්කොට් යන නමින් පුතකු ද කැතී යන නමින් දියණියක ද මෙලොවට බිහි කළාය. ඒත් මේ දරුවන්ට ක්ලින්ට්ගේ වාසගම ලබා නොදුන් අතර ඔවුන් භාවිත කළේ මවගේ වාසගම වූ රීව්ස් යන්නය.

ක්ලින්ට් හට මුලින්ම ජේස්ලින් හමු වී ඇත්තේ ‘පේල් රයිඩර්’ චිත්‍රපටයේ මංගල දර්ශනය දා ය. පුතු ස්කොට් රීව්ස් 1986 මාර්තු 21 දා උපන් අතර දියණිය කැතරින් රීව්ස් උපන්නේ1988 පෙබරවාරි 2 දා ය. දරුවන් දෙදෙනා ගැන වසර ගණනාවක් ගතවන තුරුම කිසිම තොරතුරක් හෙළිදරව් වූයේ නැත.

2005 වසරේදී ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ ‘මිස් ගෝල්ඩන් ග්ලෝබ්’ ලෙස කැතරින් කටයුතු කළ අතර එම වසරේ ක්ලින්ට්ගේ ‘මිලියන් ඩොලර් බේබි’ චිත්‍රපටය සඳහා ක්ලින්ට් හට සම්මාන පිරිනැමුණේ කැතරින් අතිනි. මේ වන විට ක්ලින්ට්, ස්කොට් හා කැතරින් තම දරුවන් බව ප්‍රසිද්ධියේ පිළිගෙන තිබිණි.

1986 දී ක්ලින්ට් කැලිෆෝර්නියා ප්‍රාන්තයේ කාර්මෙල් හි නගරාධිපතිවරයා වශයෙන් තේරී පත් වූයේය. එක් නිල කාලයක් පමණක් නගරාධිපති ධූරය දැරූ ක්ලින්ට් ඊට වැඩිදුරක් දේශපාලන ක්ෂේත්‍රයේ ගමන් කළේ නැත. එහෙත් කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ස්ටේට් පාර්ක් ප්‍රතිසංස්කරණ කොමිසමේ සාමාජිකයකු ලෙස ඔහු පසු කලෙක කටයුතු කළේය.

සොන්ඩ‍්‍රා ලොක් ප්‍රතිමා නිර්මාණ ශිල්පියකු වූ ගෝර්ඩන් ඇන්ඩර්සන් හා විවාහ වූයේ 1967 සැප්තැම්බර් 25 දාය. සොන්ඩ‍්‍රාගේ චරිතාපදානයේ හා අධිකරණ වෙත ඉදිරිපත් වූ ලිපි ලේඛනවල සඳහන්ව ඇත්තේ ඇන්ඩර්සන් සම ලිංගිකයකු වූ නිසා කිසි දිනෙක ඔහු සහ සොන්ඩ්‍රා අතර ලිංගික සබඳතාවක් ඇති වූයේ නැත කියාය. ඇන්ඩර්සන් සොන්ඩ්‍රාට ඇලුම් කිරීමට ප්‍රබල හේතුවක් තිබිණි. සමකාලීනව සොන්ඩ්‍රා නිතරම ඇන්දේ පැලැන්දේ දඟකාර යෞවනයකු මෙනි.

ක්ලින්ට් සහ ජේස්ලින්

1975 දී සොන්ඩ්‍රා ක්ලින්ට් හට මුණ ගැසෙන විට ද සොන්ඩ්‍රා ඇන්දේ පැලැන්දේ ඒ ආකාරයටමය. ක්ලින්ට් ඇයට මුල්කාලීනව ලබා දුන් සිනමා චරිතවලට ඇය පෙනී සිටියේ ද දඟකාර යෞවනයකු මෙන් ඇඳ පැලඳගෙනය.

‘ඔයාගේ පෙනුම හරියට කොල්ලකුගේ වගේ. ඇත්තටම ඔයා කොල්ලෙක් ද කෙල්ලෙක් ද කියලා මම බලන්නම ඕනෙ.’

ක්ලින්ට් ඇය හමු වූ මුල් දිනයේම ඇය හා ලිංගිකව ඇසුරු කිිරීමට පෙර පැවසූ බව පසු කලෙක සොන්ඩ්‍රා සඳහන් කළාය.

වසර දහයක් තිස්සේ ක්ලින්ට් හා සොන්ඩ්‍රා එකිනෙකාට ප්‍රේම කළ අතර, එක්ව චිත්‍රපට ද නිර්මාණය කළහ. මේ කාලයේ හොලිවුඩයේ පැවැති උත්සවවලට පමණක් නොව ධවල මන්දිරයේ පැවැති සාදවලට පවා ක්ලින්ට් ඊස්ට්වුඩ් සහභාගි වූයේ සොන්ඩ්‍රා සමඟිනි. සොන්ඩ්‍රා සෑම සාදයකදීමත් උත්සව අවස්ථාවකදීමත් ක්ලින්ට්ගේ සුරතේ එල්ලීීගෙන සිටියාය.

රිචඩ් බර්ට්න් සමඟ ‘වෙයා ඊගල්ස් ඩෙයා’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වූ කාලයේ රිචඩ් සමඟ එක්ව බ්‍රිතාන්‍ය අවන්හලකට ගොස් මත්පැන් පානය කළ ක්ලින්ට්ගේ සිතේ එකල පැලපැදියම් වූ ආසාවක් වූයේ බ්‍රිතාන්‍ය පන්නයේ අවන්හලක් අමෙරිකාවේ ආරම්භ කිරීමය.

‘හොග්ස් බ්‍රෙත්’ යන නමින් ඔහු 80 දශකය මුලදී කාර්මෙල් නගරයේ අවන්හලක් ඇරඹූ අතර එහි කොටස්කරුවකු වූයේ පෝල් ලිප්මන්ය.

එම අවන්හලට නිතරම සංචාරකයෝ සහ යුවතියෝ පැමිණියහ. ලිප්මන්, ක්ලින්ට්ගේ දීර්ඝකාලීන හා සමීප මිතුරකු වූ අතර බොහෝ රාත්‍රීන්හිදී දෙදෙනා අවන්හලට වී යුවතියන් දඩයමේ යෙදුණාහ. දඩයම් සාර්ථක වූ රාත්‍රීන් ගෙවී උදාවන උදෑසන කාලයන්හිදී දෙදෙනා එක්ව ගත වූ රාත්‍රියේ ලැබූ අත්දැකීම් ගැන කතාබහ කිරීම ද පුරුද්දක් වූයේය.

‘ක්ලින්ට්ට පුදුම විදියට යුවතියන් ආකර්ෂණය වුණා. ඒකට ක්ලින්ට් ගේ වයස බලපෑවේ නැහැ. සමහර විට ඔහුගේ පෞරුෂයට කතා විලාසයට යුවතියන් මෝහනය වෙන්න ඇති’ බෙල් - එයාර් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පසු කලෙක ලිප්මන් පවසා තිබිණි. ‘ඒත් ක්ලින්ට් තමන්ට ආකර්ෂණය වූ හැම ස්ත්‍රියකම ආශ්‍රය කළේ නැහැ.

එයා ආසා කළේ පුංචි, සිහින් සිරුරැති සොන්ඩ්‍රා ගේ පෙනුමට සමාන යුවතියන්ට.’ 1989 වන විට සොන්ඩ්‍රාගෙන් කෙසේ හෝ ඈත් වීමට ක්ලින්ට් තීරණය කරගෙන සිටියේය. සමහර විට දස වසරකට වැඩි කාලයක් ඇය හා පැවැත් වූ ඇසුරෙන් ක්ලින්ට් වෙහෙසට පත්ව සිටින්නට ඇත. බෙවර්ලි හිල්ස් හි නිවෙසේ දොර අගුළු සඳහා ගැළපෙන යතුරු ක්ලින්ට් අත මෙන්ම සොන්ඩ්‍රා අත ද තිබිණි.

මේ වන විට ක්ලින්ට් තමා මඟ හරිමින් සිටින බව සොන්ඩ්‍රා අවබෝධ කරගෙන සිටියාය. 1989 වසරේ දිනෙක බෙවර්ලි හිල්ස් නිවෙසට ආ සොන්ඩ්‍රා දොර ඇරගෙන ඊට ඇතුළු වීමට උත්සාහ කළාය. දශකයකට වැඩි කාලයක් තිස්සේ දෙදෙනා බෙදා හදාගත් නිවහනට එසේ සොන්ඩ්‍රා ඇතුළු වීමේ වෙනසක් ද නොතිබිණි.

සොන්ඩ්‍රා

කෙසේ වෙතත් අත් බෑගයෙන් යතුර අතට ගෙන දොර විවෘත කිරීමට සූදානම් වූ සොන්ඩ්‍රා වටහා ගත්තේ ක්ලින්ට් ඇයට සදහටම ඔහුගේ නිවසේ දොර වසා ඇති බවය. ක්ලින්ට් දොර අගුළු සියල්ල වෙනස් කොට අලුතින් සවි කරවා තිබූ අතර එම අගුළුවලට සොන්ඩ්‍රා අත වූ යතුරු ගැළපුණේ නැත. එම සිද්ධියෙන් අනතුරුව තීරණයකට බැස ගත් සොන්ඩ්‍රා අධිකරණය හමුවට ගියේ ක්ලින්ට් තමාව රැවටුවේය යන චෝදනාව නඟමිනි.

තමාට නිවෙසට ඇතුළු වීම අවහිර කළ ක්ලින්ට් නිවෙස ඇතුළත තිබූ තමාගේ බඩු භාණ්ඩ සියල්ල නිවෙසින් පිටත ගබඩාවක ගොඩ ගසා තිබූ බව ද ඇය අධිකරණයට කීවාය. වහා කාරණය අධිකරණයෙන් පිටත දී බේරා ගන්නට ක්ලින්ට් යුහුසුළු වූයේය.

තමාට එරෙහිව නඟන චෝදනා ඉවත් කර ගන්නේ නම් ඇයට වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට නිෂ්පාදන සමාගමේ චිත්‍රපට අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබා දෙන බවට ඔහු පොරොන්දු වූයේය. සොන්ඩ්‍රා නඩුව ඉල්ලා අස් කර ගත්තාය.

එහෙත් වෝනර් බ්‍රදර්ස් සමාගම ඇයට කිසි විටෙක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ අවස්ථාව ලබා දුන්නේ නැත. ඇය චිත්‍රපට විස්සකට වැඩි ප්‍රමාණයක් සඳහා යෝජනා සහ ව්‍යෘපෘති ඉදිරිපත් කළ නමුත් වෝනර් සමාගම ඒ සියල්ලක් ප්‍රතික්ෂේප කළේය.

1996 දී සොන්ඩ්‍රා ක්ලින්ට්ට නඩු පැවරූයේ තමාට වංචා කළේය හා පොරොන්දු බිඳ දැමුවේය යන චෝදනා නඟමිනි. මෙම චෝදනා ද කිසි විටෙක අධිකරණය හමුවේ විභාග වූයේ නැත. ඒ එවර අධිකරණයෙන් පිටතදී මෙතෙක් හෙළිදරව් වී නැති විශාල මුදලක් සොන්ඩ්‍රාට ලබා දීමට ක්ලින්ට් කැමති වූ නිසාය.

1990 දී සොයා ගැනුණේ සොන්ඩ්‍රා පියයුරු පිළිකාවකින් පෙළෙන බවය. තමාට ප්‍රතිකාර කළ වෛද්‍ය ස්කොට් කුනීන් හා ඇය පෙමින් වෙළිණි. එහෙත් එම සම්බන්ධය වසරකට දෙකකට වඩා පැවතුණේ නැත. 1997 දී ඇය තම චරිතාපදානය ලියා පළ කළ අතර ඊට ලබා දී තිබුණේ ‘ද ගුඩ් ද බෑඩ් ඇන්ඩ් ද වෙරි අග්ලි’ (හොද, නරක හා බොහෝ අවලස්සන) යන්නයි. නමක් නැති මිනිසා ලෙස ක්ලින්ට් රඟපෑ චිත්‍රපට ත්‍රිත්වයෙන් එකක නම වූයේ ‘ද ගුඩ් ද බෑඩ් ඇන්ඩ් ද අග්ලි’ යන්නයි.

ලබන සතියේ

බ්‍රිතාන්‍ය නිළි ෆ‍්‍රාන්සෙස් ෆිෂර් ක්ලින්ට් ගේ වසඟයට