වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





සුජාතාගේ සුජානීය ගී හඬ යළිත් පැතිරේ

සුජාතාගේ සුජානීය ගී හඬ යළිත් පැතිරේ ‘ජීවන විල මැද’18 වැනිදා

ප්‍රසංගයදා සී ඩී පටයක්, මගේ ජීවන තොරතුරු ඇතුළත් පොතක් (ෆාස්ට් ප්‍රකාශනයක්) දොරට වඩිනවා. මුතු පොටකට මුතු ඇමිනෙන්නාක් සේ ඇයගේ කෝකිල නාදයෙන් පන්දහසකට අධික ගීතාවලියක් ලක් දෙරණේ වාතලයට මුසු විය. ඒ සුජාත වූ ගී හඬෙහි මිහිර විසි වසරකින් අපට අසන්නට නොලැබුණි.

සූරිය වංශයේ මේ සිංහල මාතාවට, සූරිය වංශයේ සිංහල පුතු අහිමි කළ එදවසේ ඇති වූ කම්පනය, හෙළ දීපයට වටිනාම හඬක් ද අහිමි වූ දිනය විය.

ත්‍රස්තවාදය අපෙන් උදුරා ගත් සුගායනීය හඬ යළිත් දේශයේ පිනෙන් ජීවය ලබා ඇත. රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් මවුබිම ගලවා ගත් පින්බර වෙසක් මස, දහ අට වැනිදා, නෙළුම් පොකුණේදී සවස 6.30 ට ජ්‍යෙෂ්ඨ, සම්මානනීය ගායන ශිල්පිනී සුජාතා අත්තනායකයන්ගේ හඬ අවදිවේ.

ඇයගේ ගී මිහිර ඇසීමේ සාපිපාසාවෙන් පුරා විසි වසරක් බලා සිටි සුවහසක් රසික ජනතාවට මේ නම් සුබම සුබ ආරංචියක්මැයි.

* විසි වසරක නිහැඬියාවකින් පසු ‘ජීවන විල මැද’ ප්‍රසංගයෙන් යළි ඔබ රසිකයන් අතරට එනවා. . .?

‘ඔව් මං ප්‍රසංගයක් පවත්වන බව කියන්නේ වසර තුනක් තිස්සෙයි. අවුරුදු විස්සක්ම ගීත නොකියා සිටීම රසිකයන්ට කළ අසාධාරණයක්. ඒ නිසා ස්ථිරවම ප්‍රසංගයක් කරන්න ඕන කියලා හිතුවා.

මේ ප්‍රසංගයට පවුලේ වැඩි දෙනෙක් සහභාගි වෙනවා. හේලි, සමින් පුතාලා, අයෝද්, තිසෙන්, සන්දේශා, තිසල් යන මුනුබුරු මිනිබිරියන්, මගේ නංගී රංජනී පෙරේරා, ඇයගේ පුතු ඉන්දික විජයබාහු, මල්ලිගේ ලකල, අමිල පුතාලා මේ හැමෝම එදාට ගී ගයනවා.

මගේ එකම මිනිබිරිය සන්දේශා කවරදා හෝ මං වගේම ගී ගයාවි.

ප්‍රසංගයේ සංගීතය මෙහෙය වන්නේ ජගත් වික්‍රමසිංහ.

* නැවත මවුබිම හැර දමා යනවාද?

දරුවා අහිමිවීමත් සමඟ 1993 දී අමෙරිකාවට ගියා. ඒත් නිතර ලංකාවට ආවා. දැන් ත්‍රස්තවාදයෙන් රට නිදහස් නිසා දිගටම ලංකාවේ ඉන්නවා. ඒ වගේම යළි ගායන ජීවිතයත් ආරම්භ කරනවා.

මගෙන් ඇති වුණු හිස් තැන තවමත් පිරවිලා නැහැ.

* නවකයන් ඔබේ ගී ගායනවාට විරුද්ධද?

කෙහෙත්ම නැහැ. ආධුනිකයන්ට තරගයකදී ගයන්න වෙන්නෙ ප්‍රවීණයකුගේ ගීත තමයි. ඒත් තරගයෙන් පසු ඒ ගී තමන්ගේම කර ගැනීම වැරැදියි.

රුක්මණී දේවියගේ ගීයක් මතකයේ රැඳිය යුත්තේ ඇයගේම හඬින්ම පමණයි. වෙන කෙනකු ඒ ගී ගයා තමා සතු කර ගත්තොත් මොන තරම් වැරැදිද?

* අලුත් පරපුර ගැන සතුටු විය හැකිද? සුපිරි තරු සංකල්පයෙන් ගීත ක්ෂේත්‍රයට වැඩක් වෙනවාද?

දිගටම ලංකාවේ නොසිටියත් නව පරපුර ගැන අවදියෙන් හිටියා. ඔවුන් තමයි අපේ අනාගතය. නවකයන් අතර දක්ෂයන් සිටිනවා. විශේෂයෙන්ම ගායකයන්ට වඩා හොඳ ගායිකාවන් සිටිනවා. ඒත් මේ අයට යන්න හරි පාරක් නැහැ. ඔවුන්ට නිසි මඟ පෙන්වන්න කෙනෙක් නැහැ.

විශාල නිර්මාණ බංකලොත්භාවයක් තියෙනවා.

තරග හොඳයි. හොඳ අයත් එනවා. එත් ඒ අයට විශාල ත්‍යාග දීලා සුපිරි තරුවක් ලෙසින් පමණට වැඩි ජනප්‍රියකමක් ලබා දුන් විට සිදු වන්නේ අපට වඩා කෙනෙක් නැහැ. අපම තමයි අංක එක කියා සිතීමයි. පොළොවේ පය ගහලා යන සැබෑ දක්ෂයන් බිහි කිරීමට අවශ්‍ය නම් කළ යුත්තේ ඔවුන්ට තරගයෙන් පසු සංගීත අධ්‍යාපනයක් ලබාදීමයි.

* තරගවලට ඔබේ ගී ගැයීම සමහරුන්ට ප්‍රශ්නයක්ලු නේද?

මගේ ගීත ආධුනිකයන් තෝරා ගත් විට ඇයි සුජාතාගේ ගී කියන්නෙ කියලා අහන අය ඉන්නවලු. මේ අයට දෙන්න තියනේනෙ එක පිළිතුරයි.

එදා තරුණ වයසේදී කැපිලි ආවා. දැන් මේ වයසටත් කැපිලි. කොච්චර කැපුවත් මං යන්න ඕන තලයට ගිහින් ඉවරයි.

* සුජාතා අත්තනායක කියන්නේ නර්තන ශිල්පිනියකුත් . . .?

සිරිමතී රසාදරී කලා ශිල්පිනියගෙන් කතක් නර්තනය හදාරා තිබෙනවා. වනමල, වැදිබිම, හෙට ප්‍රමාද වැඩියි, පිපෙන කුමුදු සිනමාපටවල නර්තන ජවනිකාවල පෙනී සිටියා.

* වැඩිම භාෂා ගණනක් දන්නා, ඉන්දියාවේ ප්‍රසංග පැවැත් වූ පළමු ගායිකාව ඔබයි?

ඔව්, හින්දි, උර්දු, බෙංගාලි, නේපාලි, මරාඨි, දමිළ යන භාෂාවලින් ගී ගැයීමේ හැකියාව තිබෙනවා. සිංහල චිත්‍රපට ගීත 350 කට අධික ගණනක් ගැයුවා.

දමිළ සිනමාපට 19 කට පසුබිම් ගී ගයා තිබෙනවා. සිංහල සහ දමිළ අංශයන්හි විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක්. ගැයූ දමිළ ගී ගණන දහසක් පමණ වෙනවා.

1989, 90 වසරවලදී ඉන්දියාවේ නාග්පූර් නගරයේදී ‘සුජාතා ස්වර සංගීත’ ප්‍රසංගය පැවැත්වූවා.

1976 දී ‘ස්වරම්’ නමින් බම්ලපිටියේ කදිරේෂන් ශාලාවේ පැවැත් වූ දමිළ ගීත ප්‍රසංගයත්, මරදාන ටවර් රඟහලේ පැවැත් වූ ‘ඉලම්පිරෙයි ගී කන්ගල්’ ප්‍රසංගයත් අමතක නොවන ප්‍රසංග දෙකක්.

විවිධ භාෂාවලින් වගේම විවිධ ශෛලියේ ගීත ද ගී ලොවට දායාද කළා.

බක් මහට, පුන් පෝ දිනට, නිදහස් දිනයට වාගේම මංගල දිනයටත් සුජාතාවන්ගේ සුමධුර නාදය අප සවනත සනසාලයි. ලාංකේය දේශය, ලාංකේය ජීවන රිද්මය සමඟ ඒකාබද්ධ වූ ඒ හඬ සදා වාසනාවන්!

මේ ජීවන විලෙන් තවත් විල් සහසක් තැනේවා! සරසවියේ පැතුම එයයි.